Print this Article


 බෝසත් දරුවන්ට: යහගුණැති නුවණැත්තකු වන්න

යහගුණැති නුවණැත්තකු වන්න

අද මම පින්වත් දරුවන්ට කියලා දෙන්නේ නුවණ වර්ධනය කරගන්නා ආකාරය පිළිබඳව යි. දැනුම, ඉගෙනීම, දන්නා බව ආදී මේ සියල්ලම වෙන වෙනම තේරුම් ගන්නට ඕනෑ.

පුද්ගලයෙකු සතු වටිනාම දෙය තමයි ප්‍රඥාව. බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව දියුණු කරගත හැකි කරුණු සතරක් දේශනාකොට වදාළා.

‘චත්තාරො මෙ භික්ඛවෙ ධම්මා
පඤ්ඤා බුද්ධියා සංවස්සති
කතමෙ චත්තාරො සප්පුරිස සංවාසො,
සද්ධම්ම සවණං, යෝනිසො මනසිකාරො,
ධම්මානු ධම්ම පටිපත්ති’

මේ කරුණු සඳහන් වන්නේ අංගුත්තර නිකායේ. මාර්ගඵල අතර සෝවාණ වීම සඳහා හේතු වන්නේත් මේ කරුණු සතරමයි. පින්වත් දරුවනේ, දුකෙන් නිදහස්වීමට නම් නිවන් දකින්න ඕනෑ. නිවන් අවබෝධ කරගන්නට නම්, ප්‍රඥාව තිබෙන්නට ඕනෑ. නිවන පිළිබඳව මුලින් ම හඳුනා ගන්නේ සෝවාන් වූ පුද්ගලයා යි. සම්පූර්ණයෙන් ම නිවන හඳුනා ගන්නේ රහතන් වහන්සේ. ආර්යන් වහන්සේ කියන්නේ උන්වහන්සේලාට යි.

ප්‍රඥාවේ වැදගත්කම කුමක් ද? වර්තමානයේ, ප්‍රඥාව නුවණ ලෙසත් හඳුන්වනවා. අසා ඉගෙන ගැනීම උගත්කම යි. බුදු දහම ඒ උගත්කමට කියන්නේ බහුශ්‍රැත බව කියල යි. ප්‍රඥාව සහ බහුශ්‍රැත බව කියන්නේ කරුණු දෙකක්. දරුවනේ, පැරැණි කාලයේ දැනුම ලබා ගන්නට මේ වගේ පොත පත තිබුණේ නෑ. පහසුකම් තිබුණේ නෑ. ධර්මය ඉගෙන ගත්තේ කටපාඩමින්. ගුරුවරයකුගෙන් අසා දැන ගැනීමෙන් ‘ශ්‍රැත’ කියන්නේ අහනවාට යි. බොහෝ දේ ඇසූ තැනැත්තා බහුශ්‍රැත යි. බුදුදහම බහුශ්‍රැතබව අනුමත කර තිබෙනවා.

බුදුදහමට අනුව නම් මොන තරම් පොතපත කියෙව්වත් නිවන් දකින්නේ නෑ. මම පුංචි උදාහරණයක් කියන්නම්. බුද්ධ ශාසනයේ මුලින් ම නිවන් අවබෝධ කළේ කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ. ඒ අපූර්ව සිදුවීම වූයේ අද වගේ ඇසළ පුර පසළොස්වක පොහෝ දිනක බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනාවේ දී යි. ධම්මචක්කප්පවත්වන සූත්‍ර දේශනාවේ දී. එක ධර්ම දේශනය යි, එක සූත්‍රය යි. කොණ්ඩඤ්ඤ හාමුදුරුවන්ට පළමු වතාවේ ම ධර්මය තේරුම් ගන්නට හැකි වුණා. පස්වග තවුසන් අතරින් අනෙක් සිව් දෙනාට වෙන වෙනම ධර්මය දේශනා කරලයි සෝවාන් ඵලයට පත් වුණේ. ඉන්පසු පස් නමම අනත්තලක්ඛණ සූත්‍ර දේශනාව අසා රහත් බවට පත්වුණා. එතකොට උන්වහන්සේලා දැන සිටියේ සූත්‍ර දේශනාවන් දෙකයි. ඉන්පසුව දේශනා කළ සූත්‍රයන්හි එකතුව පහළොස් දහසකටත් වඩා වැඩියි. එම සූත්‍ර දේශනා සියල්ලම ඉගෙන ගත් අයත් ලංකාව, බුරුමය, තායිලන්තය වගේ රටවල සිටිනවා. එයට කියන්නේ බහුශ්‍රැත බව කියල යි. ඒත් දරුවනේ, ප්‍රඥාවන්තයා කියන්නේ එකම ගාථාවක් හෝ නුවණින් හඳුනාගත් පුද්ගලයා යි. අවබෝධ කරගත් පුද්ගලයා යි.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය හරියට මහා සාගරය වගෙයි. මම මේ විදියට කියලා දෙන්නම්. මහ සයුර ගැන පොත්පත්වල බොහෝ තොරතුරු තිබෙනවා. ඒවා කියවීමෙන් මහ සයුර ගැන දැනුමක් ඇති කරගන්න පුළුවන්. ඒත් රසය නම් හඳුනාගත නොහැකියි. ‘ලුණු’ රසයි කීවත් මොනතරම් ප්‍රමාණයක් ලුණු රස ද කියලා කියවීමෙන් පමණක් දැනෙන්නේ නෑ. සුළු ප්‍රමාණයක් හෝ දිවෙන් රස බැලුවොත් මුළු මුහුදේ ම රස තේරෙනවා. ප්‍රඥාවත් ඒ වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙම නම් දැන උගත්කම, ඉගෙනීම, බහුශ්‍රැත බව ආදී මේ සියල්ලටම වඩා වැදගත් ප්‍රඥාව බව තේරෙනවා නේ ද?

ප්‍රඥාව වර්ධනය කර ගන්නේ කොහොම ද? අපේ සිතේ ඇතිවන සිතිවිලිවලට කියන්නේ චෛතසික කියල යි. චෛතසික පනස් දෙකක් තිබෙනවා. ඉන් එකක් තමයි ප්‍රඥාව.

මහා වනාන්තරයක මොන තරම් සත්තු ඉන්නවා ද? ඒත්, ඒ සතුන් අතරින් ප්‍රධානියා ලෙස අප තෝරා ගන්නේ සිංහයා. ඒ වගේ මේ චෛතසික පනස් දෙක අතර ඉහළින් ම තිබෙන්නේ ප්‍රඥා චෛතසිකය යි. ප්‍රඥාව ප්‍රධාන, බල සම්පන්න චෛතසිකයක්. එහෙමනම් දරුවනේ, ලෝකය ගැන පොත පතින් ඉගෙන ගත්තාට හරියටම ලෝකය ගැන තේරෙන්නේ නෑ. ඒ සිතේ තිබෙන කුමක් හෝ අඩුවක් නිස යි. ඒ නිසා සිත හොඳින් දියුණු කර ගන්නට ඕනෑ. සිත දියුණු කරගන්නට නම්, භාවනා කළ යුතු යි. භාවනා ක්‍රම බොහෝ තිබෙනවානේ. බණ අසනවිට, ලිපියක් කියවන විට, ධර්ම සාකච්ඡා කරන විටත් සිත දියුණු වෙනවා. මල් පහන් පූජා කිරීමෙන්, පින්කම් කිරීමෙන් සිත දියුණු වෙනවා. සිත දියුණුවීමේ එක් ලක්ෂණයක් වන්නේ ප්‍රඥාව යි.

ප්‍රඥාව දියුණුවන කරුණු සතරක් තිබෙනවා. සත් පුරුෂ ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසො මනසිකාරය සහ ධම්මානු ධම්ම ප්‍රතිපත්තිය යනුවෙන්. අද අපි සත්පුරුෂ ඇසුර ගැන ඉගෙන ගනිමු.

සත්පුරුෂයන් කියන්නේ කාට ද? ජීවිතයේ දී අපට බොහෝ අය මුණ ගැසෙනවා. ඒ අයගෙන් ඇසුරු කළ යුතු අය කවුද කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. ඒ ඇසුර අනුවයි අපගේ දියුණුව හෝ පරිහානිය සිදුවන්නේ.

බුද්ධිමත්, සිල්වත් අය ඇසුරු කළාම අපේ නුවණ වර්ධනය වෙනවා. හිතන්න දරුවනේ, පිරිසුදු රෙදි කඩක සමන් පිච්චමල් ටිකක් දමා තිබීමෙන් ඒ රෙදි කැබැල්ලෙනුත් මල් සුවඳ හමනවා නේ ද? ගුණවත් අය ඇසුරු කළාමත් ඒ වගෙයි. ගුණ යහපත් වෙනවා. ඒ වගේ ම ඒ රෙදි කැබැල්ලෙන් හාල්මැස්සන් ඔතා තිබුණොත් මොකද වෙන්නේ? දුර්ගන්ධය හමනවා නේද? අයහපත් පුද්ගලයන් ඇසුරු කළොත් වෙන්නේ ඒ දෙයම තමයි. ඒ නිසා අප පරිස්සම් වෙන්න ඕනෑ.

සමහර අය කියනවා හිත හොඳනම් කවුරු ඇසුරු කළත් කමක් නෑ කියලා. ඒත් දරුවන් දන්නවා ද? කරන කියන දේ නිතර ඇසෙන පෙනෙන නිසා ඒවා ඉබේම සිත් තුළට කා වදිනවා.

දරුවනේ, බුද්ධ මන්දිරයකට ගියාම, සුවඳ දුම් දල්වා ඇති තැනකට ගියාම අපට ඒ සුවඳ දැනෙනවා. ඒ වගේමයි අනික් පැත්ත. අපිරිසුදු තැනකට ගියාම මුළු පරිසරයෙන් ම ඒ දුර්ගන්ධය දැනෙනවා.

දරුවනේ, මේ හිත කියන්නේ හේතුප්‍රත්‍ය නිසා හටගත් දෙයක්. ‘මගේ හිත’ යැයි ගත යුතු දෙයක් නෑ. ඒ නිසා මට ඕන විදියට හිත තියා ගන්නවා කීම බොරුවක්. ඕනෑම කෙනෙකුගේ සිත සැලෙන සුළුයි. සෙලවෙනවා. ඒ කියන්නේ සිත චපලයි. පෙරළි, පෙරළී එක එක විදියේ අරමුණු එනවා. හොඳ අරමුණු එනවා. නරක අරමුණු එනවා. සිතේ දියුණුව සංවර්ධනය කර ගැනීමට තමන්ට ඕනෑකම තිබුණාට මදි. පරිසරයත් හැදෙන්න ඕනෑ. දවසක් ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් අසනවා, ‘බුදුරජාණන් වහන්ස, මේ ශාසනයේ අඩක් ම පවතින්නේ කල්‍යාණ මිතුරන් නිසා නේ ද?” කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. “ආනන්ද ඔබ වැනි කෙනෙක් එසේ කියන්නට එපා. බාගයක් නොවෙයි. මේ ශාසනය තිබෙන්නේ, සම්පූර්ණයෙන්ම කලණ මිතුරන් නිසයි.”

දරුවනේ, අද අප මේ දහම් ලිපිය කියවා යහපත් දරුවන් වෙනවා. ඒ ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වූ නිසානේ. නැතිනම් ධර්ම දේශනාවක් කියලා දෙයක් ඇත්තේ ම නෑ. පැහැදිලියි නේද? කලණ මිතුරු ඇසුර නිසා අපේ බුද්ධිය වැඩෙනවා. සිල්වත්, ගුණවත් අය ඇසුරෙන් ප්‍රඥාව දියුණුවෙනවා. සිල්වත් අය නරක වචන කියන්නේ නෑ. නරක ක්‍රියා කරන්නේ නෑ. එහෙම නම් තමන්ට වඩා කරුණා මෛත්‍රීය ගුණයෙන් වැඩි අය ඇසුරු කරන්න ඕනෑ. එහෙම අය නැතිනම් අඩුම තරමේ තමන්ට සමාන අය ඇසුරු කළ යුතු යි. එහෙම අය නැතිනම් තනිවම සිටීමයි වඩා හොඳ. කිසිවෙක් ඇසුරු නො කරනවා යන්න නොවෙයි.

එහි අදහස ඇසුරු කරන්න එපා කියන්නේ සිතිවිලි ගන්නට එපා කියලයි. සමහර අයට උදව් කරනවිට ගැඹුරු ළිඳක් දෙස බලන විදිහට, ගැඹුරු ප්‍රපාතයක් දෙස බලන ලෙස උදව් කරන්න කියා, බුදුරජාණන් වහන්සේ දේශනාකර තිබෙනවා. ළිඳකට එබී බලන විට අප බොහොම ආරක්ෂාකාරී වෙනවා. හිස විතරයි ඒ දෙසට නැමෙන්නේ. ශරීරයම යොමු කරන්නේ නෑ. ළිඳට වැටෙන්න පුළුවන්. ඒ විදිහටයි ඇතැම් අයට උදව් කරන්නට ඕනෑ. එසේ නැතිනම් සඳ වගේ උදව් කරන්න. සඳ ඈත අහසේ, උඩින් ම පායාගෙන යනවා. ආලෝකය පමණයි මිහිමතට වැටෙන්නේ. ඒ වගේ උදව් කරන්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එසේ නම්, යහපත්, නුවණැති, ගුණ ඇති පුද්ගලයන් නිතර ඇසුරු කරන්න. ඒ අය කියා දෙන්නේ යහපත් දේ පමණයි. රැගෙන යන්නේ යහපත් තැනකට පමණයි.

එවිට අප හොඳ වැඩ කරන්න පුරුදු වෙනවා. ඒ වගේම හොඳ පුද්ගලයන් ඇසුරෙන් අපගේ බුද්ධිය වර්ධනය වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුද්ධිය වැඩෙන පළමු ක්‍රමය ඒ අනුව සත්පුරුෂ ඇසුරයි. ඉදිරි ලිපි වලින් අපි අනෙකුත් ක්‍රම ගැන ඉගෙන ගනිමු.