Print this Article


ජීවිතයක අගය ගුණධර්ම පිරි තරමට ය

ජීවිතයක අගය ගුණධර්ම පිරි තරමට ය

බුදු දහමට අනුව මිනිසාගේ අගය රඳා පවතින්නේ ගුණ ධර්ම මත ය. බාහිර ආටෝපවලින් නොවේ. සරලබව, අනතිමානී බව, එනම් අධික මානයක් නැති බව, ලද දෙයින් සතුටුවීම බෞද්ධයා තුළ තිබිය යුතු උදාර ගති ලක්ෂණයන් ය. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ යනු මේ උදාර ගති ලක්ෂණ පෙන්නුම් කළ විශිෂ්ට චරිතාපදානයකි.

මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ශාරීරික ලක්ෂණයන්ගෙන් බොහෝ විට බුදුරදුන්ට සමාන වූ හ. සමහර අයට බුදුරදුන් හා මහාකාශ්‍යප හිමියන් වෙන් වෙන්ව හඳුනා ගැනීමට පවා දුෂ්කර විය. ඇතැම් අවස්ථාවල බුදුරදුන් යැයි සිතා මහා කාශ්‍යප හිමියන්ට ද, මහා කාශ්‍යප හිමියන් යැයි සිතා බුදුරදුන්ට ද පිණ්ඩපාතය පිළිගැන් වූ අවස්ථා බුද්ධ චරිතය තුළින් දැකගත හැකි ය. මෙවැනි සිද්ධීන් නිසාම බුදුරදුන්ට අගෞරවයක් වේ යැයි සිතා මහාකාශ්‍යප හිමි බොහෝ කාලයක් මහා සඟ පිරිසෙන් වෙන් ව වනගතව වාසය කර ඇත.

පිප්ඵලී කුමාරයා නමින් ගිහි ජීවිතය ගත කරමින් දෙමාපියන්ගේ ඉල්ලීම මත විවාහ ජීවිතයට පත්වුව ද මව්පියන්ගේ ඇවෑමෙන් තම භාර්යාවත් සමඟ ගිහිගෙයින් නික්ම පැවිදි වූ හ. පැවිදි වීමට බුදුරදුන් වෙත පැමිණි විට බුදු රදහු කරුණු තුනක් පිප්ඵලී කුමරුගේ අවධානයට ලක්කළහ. ඒවා නම්,

1. ස්ථවිර, නවක, මධ්‍යම යන සියලු භික්ෂූන් වහන්සේලා කෙරෙහි ගෞරවය හා ආචාරශීලීත්වය ඇතිව හැසිරිය යුතු ය.

2. ධර්මය අසනවිට තමන්ට වැඩදායක යැයි සිතා මුළු සිතින් ම කන් යොමා ඇසිය යුතු ය.

3. කය අනුව සිත පිහිටුවාගෙන (කායගතා සතිය) ශරීරයෙහි නිසරු බව මෙනෙහි කළ යුතු ය.

මෙවැනි කරුණු තුනක් දෙස අවධානය යොමු කළේ පිප්ඵලී කුමරු බ්‍රාහ්මණ ජාතිකයෙකු වූ බැවින් කුල මාන්නය දුරු කරණු පිණිසත්, බහුශ්‍රැත භාවයෙන් ඇතිවිය හැකි අහංකාරය දුරුකරලීමටත්, ශාරීරික ස්වභාවය නිසා ඇතිවිය හැකි මමත්වය දුරු කරනු පිණිසත් ය. මේ කරුණු කෙරෙහි අවධානය යොමු කළ පිප්ඵලී කුමරු එම කරුණු නිහතමානී ව පිළිගත්හ. මේ අනුව පැවිද්දත්, උපසම්පදාවත් ලබා මහා කාශ්‍යප හිමි නමින් ප්‍රසිද්ධ වූ හ.

වරක් උන්වහන්සේට පට රෙදිවලින් කළ අගනා සිවුරක් ලැබිණි. එය බුදුරදුන්ට පූජා කිරීමට සිතූ උන්වහන්සේ බුදුරදුන් පොරවාගෙන සිටි පාංශුකූල චීවරය ඉල්ලා සිටියහ.

කාශ්‍යප, මා පොරවා, පරණ වූ, හණ නූලෙන් කළ මගේ මේ පාංශුකූල චීවරය ඔබ පොරොවන්නට කැමැති ද? මහා කාශ්‍යප හිමියෝ එයට කැමැත්ත පළ කළහ. ඒ අනුව බුදුරදුන් පෙර වූ සිවුර මහා කාශ්‍යප හිමි භාරගෙන, තමන් පෙර වූ සිවුර බුදුරදුන්ට පිළිගැන්වූහ. තවත් අවස්ථාවක මහාකාශ්‍යප හිමි බුදුරදුන් හමුවට පැමිණිවිට බුදුරදුහු කාශ්‍යප, දැන් ඔබ ඉතා මහලුයි. මා පොරවා ඉවත්කළ පාංශුකූල චීවරය දැන් ඔබට බර වැඩියි. ඒ නිසා දුහුල් සිවුරක් පොරවන්න. පිඬුසිඟා යාම නවතා නිවෙස්වල දානය වැළඳීමට ආරාධනා භාරගන්න. මා සමඟ මෙහි වාසය කරන්න.

මෙසේ බුදුරදුන් කළ ඉල්ලීමට මහාකාශ්‍යප හිමියෝ ස්වාමීනි, මම බොහෝ කලක් ආරණ්‍යයෙහි වාසය කෙළෙමි. බොහෝ දීර්ඝ කාලයක් පිණ්ඩපාතයෙන් යැපෙමි. පාංශුකූල චීවරය දරමි. සැහැල්ලු ජීවිතයක් ගත කරමි. මේ පැවැත්මට මම රුචිකරමි. යනුවෙන් පැවසූහ. මෙයට සවන්දුන් බුදුරදුහු මහාකාශ්‍යප හිමිට ප්‍රශංසා කොට, උන්වහන්සේ ධුතංග ධාරීන් අතරින් අග්‍රස්ථානයට පත් කළහ.

බුද්ධ පරිනිර්වාණය වන විට සැරියුත් මුගලන් දෙනම පරිනිර්වාණයට පත්ව සිටි බැවින් තුන්වන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ ලෙසින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ක්‍රියා කළහ. පිරිනිවන් පෑ බුදුරදුන්ගේ ශ්‍රී දේහයට ගිනි දැල්වූව ද ගිනි නොගත් බවත්, මහා කාශ්‍යප හිමියන් එතනට වැඩම කොට බුදුරදුන්ගේ ශ්‍රී දේහයට අත තැබීමත් සමග ඉබේම ගිනි දැල්වුණු බවත් මහා පරිනිර්වාණ සූත්‍රය අපට පෙන්වා දෙයි.

බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකට පසුව පැවැති ප්‍රථම ධර්ම සංගායනාව මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති බවත්, එය ශාසනයේ චිර පැවැත්ම සඳහා මහත් ශක්තියක් වූ බවත් අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.

මහාකාශ්‍යප මහරහතතන් වහන්සේගේ උදාර චරිතය වත්මන් සමාජයට මහඟු ආදර්ශයක් ලබා දෙයි. අනතිමානය, ලද දෙයින් සතුටට පත්වීම හා සැහැල්ලු ජීවන ගමන වැනි උදාර ගුණ දහම් පිළිබඳව අපේ අවධානය යොමු විය යුතුව ඇත.

අහසේ සිටින කුරුල්ලෙකුට ඇත්තේ පියාපත් බර පමණි. භික්ෂූන් වහන්සේ ද කුරුල්ලෙකු මෙන් සැහැල්ලු විය යුතු ය. භික්ෂුව පහසුවෙන් පෝෂණය කළ හැකි අයෙකු විය යුතුව ඇත. ධර්මයෙහි ‘සුභරො ගුණය’ ලෙස දක්වා ඇත්තේ මෙයයි. දායකයින් පිරිනමන ප්‍රණීත හෝ නීරස හෝ යම් ආහාරයකින් සෑහීමට පත්විය හැකිනම්, පහසුවෙන් පෝෂණය කළ හැකි නම් උන්වහන්සේ සුභර ගුණයෙන් යුක්ත ය. භික්ෂුව බහුභාණ්ඩික නම්, බොහෝ දේ පරිහරණය කරන කෙනෙක් නම් සුභර ගුණයෙන් තොර ය. එය නිර්වාණ ගාමී ප්‍රතිපදාවට බාධාවකි.

ගිහි ජීවිතයට ද සුභර ගුණය ඉතා වදැගත් ය. චාම් ජීවිතයක් ගෙවන පුද්ගලයාට ජීවිතයේ නැති බැරි අවස්ථාවන් හි මුහුණ දෙන්නට සිදුවන අඩුපාඩුවලට පහසුවෙන් ඔරොත්තු දීමේ හැකියාව ලැබෙනු ඇත.

සමහර අයට සුඛෝපභෝගී ගේ දොර, යාන වාහන, ඉස්තරම් ඇඳුම් පැළඳුම් අවශ්‍ය ම ය. ඒවායින් තොර ජීවිතයක් ගැන සිතන්නට බැරි තරම් ය. ඔරොත්තු නොදෙන මේ ජීවන ගමන නිසා සමහර විවාහ ජීවිත ආරම්භයේ දී ම බිඳ වැටී ඇත. පහසුවෙන් පෝෂණය කළ නොහැකි වීම කෙළවරක් නැති අඬ දබරවලට හේතු වන්නට පුළුවන. ජීවිතයේ නැඟීම් මෙන් ම, බැසීම් ද සිදු වේ. අද ධනවතා හෙට දුප්පතෙකු විය හැකි ය. නොසිතූ මොහොතක සියල්ල විනාශ වී යාමට ද ඉඩ ඇත. ලෝ දහමේ ස්වභාවය එයයි. නායයාම්, සුළි සුළං, ගංවතුර වැනි පීඩා සිදුවන්නේ පෙර දැනුම් දීමකින් නොවේ. නොසිතන මොහොතක නොසිතූ විදියේ ලෙඩ දුක් ඇතිවන්නට පුළුවන. උපයාගත් සියල්ල ඒ වෙනුවෙන් විය පැහැදම් කරන්නට සිදුවනු ඇත. එවැනි අවස්ථාවක සුඛෝපභෝගී ආහාර සහ වෙනත් දේ බලාපොරොත්තු විය නොහැකි ය. සියල්ලටම මැදිහත් සිතින් මුහුණ දිය යුතු ය. පහසුවෙන් පෝෂණය කළ හැකි පුද්ගලයෙකු නොවූයේ නම් මේ ආපදාවන්ට, කරදරවලට ඔරොත්තු දීමේ හැකියාව නැත. මානසිකව කඩා වැටුණු පුද්ගලයෙකු බවට පත් වේ.

ඇතැම් මව්පියන් දරුවන් ඉල්ලන සියල්ල ලබා දී තමන් කුසගින්නේ සිට හෝ , අවශ්‍යතා කැප කර හෝ දරුවන්ට සතුට ලබා දෙන්නට උත්සාහ ගනිති. එවිට දරුවන්ට දුක නොතේරේ. නැති බැරිකම නොතේරේ. අපහසු අවස්ථාවක පවා දරුවන් පහසුවෙන් පෝෂණය කළ හැකි නොවේ. දකින දේ ඉල්ලීම දරුවන්ගේ ස්වභාවයයි. ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කළ යුතු ය. එහෙත් ප්‍රමාණය ඉක්මවීමෙන් නොවේ.

අනෙක් අතට අප ජීවත් විය යුත්තේ අනුන්ට පෙනෙන්නට නොවේ. ඇති බව, හැකියාව අනුන්ට පෙන්වීමට ද නොවේ. එය හිතට අනවශ්‍ය බරකි. හිසරදයකි. පහසුවෙන් පෝෂණය කළ හැකි ජීවිතය ඕනෑම කරදරයකට, දුකකට ඔරොත්තු දෙයි. එය තමන්ටත් අනුන්ටත් සුවදායක වනු ඇත.