ජීවිතයක් නැති ජීවිතවල ජුගුප්සාව
කැලණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
මහාචාර්ය
මකුරුප්පේ ධම්මානන්ද
හිමි
බොරුව, වංචාව, මුළාව ලොවට වසන් කරමින් ජීවිතය ගෙවන්නන් ව්‍යාජ මිනිසුන් බව අපි
දනිමු. ශාසන බ්‍රහ්මචරියාව තුළ ව්‍යාජත්වයෙන් කල් ගෙවීම පිළිකුල් කටයුතු ක්‍රියාවක්
ලෙස සලකා ඇත්තේ එයින් ජීවිතය තුළ කිසිදු ගුණයක් නොවැඩෙන හෙයිනි. අනෙක් අතින් එය
සමාජ අපරාධයක පදනමක් වන හෙයිනි.
බුදුදහම වූ කලී සපුරාම විවෘත දහමකි. තථාගත ධර්මය විවෘත වන්නට, විවෘත වන්නට වඩාත්
ශෝභමාන වන බව බුදුන් වහන්සේ ම වදාළහ. එබැවින් බුදුදහම තුළ සැඟවීමට දෙයක් නැත. එසේම
යමෙක් බුද්ධවචනය අනුව ජීවත් වන්නේ නම් ඔහු තුළ දැකිය හැකි මූලික ලක්ෂණයක් වන්නේ
අව්‍යාජ බවයි. ඔබට, ඔබ සිතන කියන හා කරන දේ ලෝකයාගෙන් සඟවා ගෙන සිටිය හැකි ය. එහෙත්
එය ඔබගේ හෘදය සාක්ෂියෙන් වසන් කොට මෙහොතක්වත් සිටිය නො හැකි ය. කුමක් නිසාද යත්
හදවත යනු මිනිස් ජීවිතයේ දත්ත ගබඩාවක් වන බැවිනි. එම දත්ත ගබඩාව නිරතුරුව ම සිදු
කරනුයේ මොළයට, බුද්ධියට නැත්නම් මනසට දත්ත සම්ප්‍රේෂණය කිරීම යි. මේ නිසා ව්‍යාජ බව
සහ අව්‍යාජ බව ඔබට බලපාන ආකාරය පිළිබඳව විමසිලිමත් වීම අත්‍යවශ්‍ය කාරණයකි.
සැකයෙන් සිහිකළ යුතු ආචාර සමාචාර ඇත්තෝ බුදුන් දවස ද බෙහෙවින් විසූහ. ඔවහු තමන්
නිවැරැදි ජීවිතයක් නො ගෙවමින් අනුන්ට තම ජීවිත ප්‍රතිපදාව නිවැරදි ලෙස පෙන්වීමට
මහත් වෙහෙසක් දැරූහ. එවැන්නන්ගෙන් විවිධ ආගම්වල ඉතිහාසයන් හිස් නැත. ආගමික සන්දර්භ
තුළ ව්‍යාජ චරිත මවාගෙන බොහෝ පුද්ගලයන් ජීවත්වූයේ ප්‍රධාන වශයෙන් ඔවුන් කිසියම්
අධිගමයක් ලබා ඇතැයි සමාජයට පෙන්වීම සඳහා ය. පැරැණි බණ කතාවකට අනුව බුදුරදුන් ජීවත්
වූ කාලයේ එක් නිවසක අවාසනාවන්ත දරුවෙකු උපන්නේ ය. ඔහු වඩාත් රුචි කළේ පිඵණු ඉඳුල්
ආහාර අනුභව කිරීමට ය. ඇතැම්විට ඔහු මව්පියන්ට ද රහසින් අශුචි පවා අනුභව කළේ ය. මෙය
නැවැත්වීමට අපොහොසත් වූ මව්පියෝ ඔහු ආජීවකාරාමයකට බාර කළේ ය. ආජීවකයෝ ද මොහුගේ
පිළිකුල් හැසීරීම ගැන අපැහැදී ආරාමවලින් පළවා හැරියහ. ඉන්පසු හුදකලා ජීවිතයකට
ප්‍රවිෂ්ට වූ ඔහු කඳු මුදුනක අශූචි බැහැරලන තැනක් සමීපයේ අශූචි බුදිමින් දිවි
ගෙවුයේ ය. කිසිවෙකු දුටුවහොත් වන විනාශය දැනගත් ඔහු ආජීවකයෙකු ලෙස ව්‍යාජ ජීවිතයක්
ගෙවීමට කල්පනා කළේ ය. අශූචි බුදින ඔහු කවරෙක් හෝ එදෙසට එන බව දුටු කල්හි ඔහු සුළං
බුදින සේ මුඛය විවෘත කොටගෙන, තනි කකුලෙන් සිටගෙන සිටියේ ය. ඊට හේතු කවරේ දැයි යමෙක්
විමසූ විට තමා සුළං අනුභව කරමින් ව්‍රතයක් රකිමින් සිටින බව පැවසීමට ඔහු වගබලා ගති.
මෙය ඇසූ බොහෝ මිනිසුන් මොහු රහතෙකැයි සිතා දන් පැන් රැගෙන ආහ. එහිදී එක් වරදක් වසන්
කිරීමට උත්සාහ කළ ඔහු තවත් බොහෝ වංචනික දේ කළ අයුරු බණ පොතෙහි විස්තර වේ.
ඉහත කථාවෙන් පැහැදිලි වන පරිදි ඔහු තුළ පැවති ව්‍යාජ මනෝභාවය නිසා ඔහුම ඉමහත් දුකක්
විඳී අයුරු පෙනේ. ජීවිත කාලයක් තුළ මුව හයාගෙන සිටීම හා තනි කකුලෙන් සිටීමාදියෙන්
ඔහු කෙ තරම් දුකක් , වේදනාවක් හා දොම්නසක් විඳීන්නට ඇද්දැයි ඔබට සිතා ගත හැකි ය.
අනෙක් අතින් එහිදී සිය දහස් ගණන් මිනිසුන් නොමඟට හැරවීමක් සිදුකර ඇත. එය එක්තරා
විධියකින් නියම ආගමික සම්ප්‍රදාය ආරක්ෂා කළවුන්ට කරන ලද අවමානයක් හා බාධකයකි. මේ
නිසා එබඳු ව්‍යාජ ක්‍රියා කිරීම සාමාජික වශයෙන් බරපතළ වරදක් වේ.
කෙනෙකු ව්‍යාජ බවින් මුදවා අව්‍යාජ මිනිසෙකු බවට පත් කිරීම පහසු නැත. තථාගත
බුදුරජාණන් වහන්සේ දවස විසූ ආළාරකාලාම උද්දකරාම වැන්නන් රහත් නොවී රහත් යැයි
ප්‍රතිඥා කරමින් සිටි ප්‍රධාන තලයේ ආගමික ශාස්තෘවරු ය. ඔවුහු අධ්‍යාත්මික වශයෙන්
තමා ද මුළාවෙහි සිටිමින් , අන්‍යයන් ද මුළාවට පත් කරමින් සිටින බව බුදුන් වහන්සේ
දැනගත්හ. එහෙයින් ඔහු දමනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේට ඍද්ධි ප්‍රාතිහාර්ය
එක්දහස් දෙසිය පණහක් පෑමට සිදුවිය. එයින් තහවුරු වන්නේ වංචනික හා ව්‍යාජ පුද්ගලයන්ට
විවෘත මානසිකත්වයෙන් ජීවිතය දෙස බැලීමට පුරුදු පුහුණු කිරීමේ අපහසුතාවයි.
කෙසේ වෙතත් බුදුරදුන්ගේ දේශනය තුළ ව්‍යාජත්වයට කිසිදු වටිනාකමක් දී නැත. ව්‍යාජත්වය
හෝ වංචනික බව සමඟ ගුණාත්මක බවක් පිහිටිය හැකි නොවේ. වෙනත් විධියකින් කිවහොත් ව්‍යාජ
මනෝභාවයකින් යුක්ත පුද්ගලයෙකුට ශික්ෂාපද රැකිය නොහැකි ය. නිදසුනක් ලෙස අදත්තාදාන
ශික්ෂාපදයෙන් නියමාකාරයෙන් වැළකුණු පුද්ගලයා යනු කවරෙක් දැයි සූත්‍රාන්ත දේශනාවල
පෙන්වා දී ඇති අයුරින් තේරුම් ගත හැකි ය. අදින්නාදාන ශික්ෂාපදය ආරක්ෂා කිරීම යනු
නොදුන් දේ ගැනීමෙන් වැළකීමේ ශික්ෂාපදය යි. කෙනෙකු නො දුන් දෙය නො ගැනීමෙන්ම
සර්වප්‍රකාරයෙන් එම ශික්ෂා පදය ආරක්ෂා කරන්නෙකු බවට පත් නොවේ. ඇතැම් අවස්ථාවල දී
දුන්දෙය ගැනීමෙන් ද මෙම ශික්ෂාපදය කැඩේ. අල්ලස් ගැනීම නිදසුනකි. එහිදී සිදුවන්නේ
දුන් දේ ගැනීමකි. අල්ලස් ගන්නා පුද්ගලයෙකු මා විසින් ගන්නා ලද්දේ දුන් දේ පමණක් වන
නිසා එය අදින්නාදාන, ශික්ෂාපදය කඩ කිරීමක් නොවේ යැයි කිව නො හැකි ය. බුදුන් වහන්සේ
වදාළ පරිදි නියමාකාරයෙන් අදින්නාදානා ශික්ෂාපදය රකින්නේ නම් ඔහු නොදුන් දේ නො
ගන්නෙක් මෙන්ම, දුන් දෙය පමණක් ගන්නෙක් විය යුතු ය. දුන් දේ ගැනීමට කැමැති වන්නෙක්
විය යුතුය.
නොසොර වූ පිරිසුදු වූ සිතින් වාසය කරන්නෙක් විය යුතු ය. මේ නිසා අල්ලස් ගැනීම වැනි
ක්‍රියාවලදී සොර සිත හා පිරිසුදු සිතින් ජීවත්වීම යන කාරණා දෙකෙන් නිදහස්විය නො
හැකි ය. මේ නිසා ව්‍යාජ සිතිවිල්ල සමඟ සැබෑ බෞද්ධයෙකුගේ ජීවිතයක් ගොඩ නැගේ.
ශාසන බ්‍රහ්මචර්යාවේ දී භික්ෂූන් වහන්සේලාට පණවා ඇති සියලුම ශික්ෂාපද මෙකී
අව්‍යාජත්වය සමඟ සබැඳී ඇත. සිත රවටා රැකිය හැකි බ්‍රහ්මචරියාවක් නැත. මේ නිසා
බුදුන් දවස සිට අද දක්වාම වැඩසිටි උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේලා කිසිදු අයුරකින්
තම සිත රවටා ජීවත්වීමට සිහිනයකිනුදු ප්‍රාර්ථනා නො කළහ. ඒ උතුම් බුද්ධ පුත්‍රයන්
වහන්සේලාට නමස්කාර වේවා. එතෙකුදු වුවත් මිහිරි අඹ ඵලයෙහි වුවද පණුවන් වෙසෙන්නාක්
මෙන් මෙම සසුන ඇතුළෙහිම කවදත් ව්‍යාජ ආත්ම පරිහරණය කරන්නෝ ද වරින්වර වූහ.
වත්මන් කාලයෙහි ද ඇත්තාහ. අනාගතයෙහි ද වන්නාහ. අහසින් යාම, පොළොවෙහි කිමිදීම, දිය
මත ගමන් කිරීම ආදී ඍද්ධි ප්‍රාතිහාර්ය පෑමෙහි අසමත් වන්නාවූ ඔවුහු කීමෙහි බිණීමෙහි
නිපුණව කටමැත දොඩවන හෙයින් අපි දේශනා ප්‍රාතිහාර්යය දක්වන්නෝ වම්හයි කියති. තම
පෞද්ගලික ලාභ, කීර්ති ප්‍රශංසා හේතුවෙන් තමා රහත් නොවුණ ද රහත්යැයි ලොවට පෙන්වූහ.
බුද්ධ වචනය වැරැදි ලෙස අරුත් ගන්වමින් සංඝයා භේද කරවමින් විවිධ නිකාය බිහි කළහ. තම
දැනුම හා තර්ක බුද්ධිය පෙන්වමින් තමා අසහාය බුද්ධිමත් යැයි හඬගා කීහ. තමා ම සත්‍යය
හා නිවැරැදි ය, අන්‍යයෝ අසත්‍යය හා වැරැදි යැයි කීහ. අනුගාමිකයෝ ද බෙදී ගියහ.
ඇතැම්විට නිවන් මග අවුරා ගත්හ. ශාසන ඉතිහාසයේ විවිධ නිකාය හා ගුරුකල බිහිවී ඇති
අයුරු පරීක්ෂා කොට බලන කළ මෙම සත්‍යය තවදුරටත් තහවුරු වේ. ෙ ම් නිසා භික්ෂුවක තුළ
ව්‍යාජත්වය නමැති මනෝභාවයක් ඇතිවීම අතිශය භයංකර වේ. ගිහි ජීවිතයට ද මෙය යථාර්ථයකි.
මෙම ලිපියේ ඉතිරි කොටස
ඇසළ අව අටවක ( ජූලි 25) පත්‍රයේ පළවේ. |