Print this Article


ඇසළ උදාවේ අසිරිය

ඇසළ උදාවේ අසිරිය

ඇසළ පොහොය ලැබීමත් සමඟ ම නිතැතින් ම අපේ සිහියට එන්නේ බුදුරජාණන් වහන්සේගේ පළමු දම් දෙසුම වන දම්සක් පැවතුම් සූත්‍රදේශනාව යි. මේ තමා සාවුරුදු දුෂ්කර ක්‍රියාවෙන් පසු, මැදුම් පිළිවෙතට වැටුණු සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව, තමන් වහන්සේ විසින් ම අවබෝධ කරගත් ඒ නවතම දහම, මැදුම් පිළිවෙත එහෙම නැත්නම් අවබෝධ කරගත් ධර්මය ලොවට පහදා දුන් දවස. අපේ බුදුහාමුදුරුවෝ ලොව පහළ වූ දිනය ලෙස එදා අප මේ 2019 වර්ෂයට සැමරුවේ පසුගිය මැයි මාසයේ 19 වැනි දා යි.

ඉතින් එදා ඒ දිනය මේ රටේ බෞද්ධයන් හැටියට අප ගත කළේ වෙන දා තරම් ප්‍රබෝධයකින් නම් නො වෙයි. අප්‍රේල් මාසයේ 21 වැනි පාස්කු ඉරිදා සිදු වූ දරුණු ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය හමුවේ අපේ ම රටවැසි 250කට අධික ලොකු කුඩා අහිංසක ජන කොටසක් කතෝලික ආගමේ එන වත් සිරිත් අනුව ඔවුන්ගේ උතුම් පූජාවකට යාඥාවකට සහභාගි වෙමින් සිටිය වෙලාවෙයි මේ නොමිනිස් ප්‍රහාරය එල්ල වුණේ. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ අපට ඉගැන් වූ ඒ දහම් මග අනුව තවත් කෙනෙකුට සිදු වූ මේ මහා විපත නිසා අප කවුරුත් මහත් සංවේගයකට පත් වුණා. ඉතින් 21 දා සිට ඒ දින කීපය ගෙවී ගෙන යනවිට මාසයක් ඇතුළත තමා අපේ බුදුරජාණන් වහන්සේ සිදුහත් බෝසත් උතුමන් ලෙස මේ ලෝකයේ උපත ලැබූ, බුදුබව ලැබූ, පිරිනිවන් පෑ දින වූ වෙසක් පොහොය දිනය එළඹුණේ. ඉතින් මේ අවුරුද්දේ අප වෙසක් දිනය ආමිෂයට වඩා හැකි තරම් ප්‍රතිපත්තියට මුල් තැන දෙන දවසක් බවට පත් කර ගත්තා. වෙනත් වසරවල, නගරවල දැල් වුණු වෙසක් තොරණ දක්නට ලැබුණේ හරි ම කලාතුරකින් තමා. අපේ බොදු ජනකොටස් අනෙකුත් කතෝලික, හින්දු හා ඉස්ලාම් බැතිමතුන් හා එක් වෙලා හිංසාව තරයේ ම පිටු දකින වෙසක් සැරසිලිවලින් හැම ගමක් ම වාගේ සරසාලන්නට දැක්වූ උනන්දුව මෙවර කැපී පෙනුණා. එතන දී දකින්නට ලැබුණේ හිංසාවට එරෙහි ජනකොටස්වල එකතුවක් කියලයි සිතෙන්නේ. ඉතින් ඒ අපේ උතුම් බුදුරජාණන් වහන්සේ පහළ වූ දවස අප යම් පමණකට මෙසේ චකිතයකින් බිය මුසුව ගත කළත්, අපට ඒ උතුම් බෞද්ධ හැදියාවෙන් උරුම වූ අනෙකාගේ දුකට පිළිසරණ විම, මිනිස් වූ අප හැම දෙනාම සමාන සිතින් එක්ව වාසය කිරිම, පැමිණි ඒ මහා දුක පක්ෂ, පාට හා ජති, ආගම් කිසිදු බේදයකින් තොරව බෙදා හදා ගෙන ජිවත් විම යන මේ උතුම් මානුෂික ගුණ සමුදායකින් අපේ ජිවිත ඒ වෙසක් සමය තුළ සරසා ගත්තා. ඉතින් බුදුරදුන් පහළ වූ ඒ දිනය ඉකුත් වෙලා තවත් දින තිහකින් පසුගිය දා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී ලංකාගමනය අපේ සිතට නැඟෙන්නට වුණා.

ඉතින් ඒ වෙනකොට අපේ සිත්වලින් ක්‍රමයෙන් බිය සැක යම් පමණකට දුරු වෙමින් පැවතුණා. පොසොන් සමය තුළ වඩ වඩාත් ජනගඟක් මිහින්තලා අඩවිය මෙවර යම් පමණකට සුදුවතින් සැරසුණු සිල්වතුන්ගෙන් පිරී යන්නටත් පටන් ගත්තා.

දැන් එතන ඉඳලත් දින විසිනවයක්, තිහක් විතර ඉක්මෙන දවස තමා ඇසළ පෝයට යෙදෙන්නේ. ඒ පෝයට කියන්නේ ඇසළ පෝය කියල යි. ඉතින් මේ පෝය කෙරෙහි අපේ රටේ පමණක් නොව ලක්වැසි හැම ජනකොටසක්මත්, ලෝකවාසි බෞද්ධ ජනතාවත් විශේෂ උනන්දුවක් දක්වා ක්‍රියා කරනවා මේ දිනය පිළිබඳව.

එයට ප්‍රධාන හේතුව තමා බුද්ධ චරිතය සම්බන්ධයෙනුත්, බුද්ධ ධර්මය සම්බන්ධයෙනුත්, ශාසන ඉතිහාසය සම්බන්ධයෙනුත්, දැනට බෞද්ධ ජනතාව හුරුපුරුදු වී ඇති බෞද්ධ වත්සිරිත් සම්බන්ධයෙනුත්, ශ්‍රී ලංකාවාසි බෞද්ධ ජනතාව වගේම සමස්ත ලෝකවාසි බෞද්ධ ජනතාව අතිමහත් ගෞරවයෙන් සිහිපත් කරන ශ්‍රීමත් දළදා වහන්සේ හා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සම්බන්ධවත් මෙම දිනය ඓතිහාසික සිදුවීම්

රාශියකින් ද උද්දීප්තියට පත්ව ඇති නිසා. ඒ නිසා දැන් අප මේ දිනයේ විශේෂත්වය පිළිබඳව එනිනෙක කරුණුගෙන විමසා බැලීමක් සිදු කරමු.

මෙහි දී පළමුවෙන් ම අපේ අවධානය යොමු කරන්නේ අපේ බුදුරජාණන්වහන්සේගේ චරිත කථාව සම්බන්ධයෙන් මේ දිනයේ ඇති සුවිශේෂත්වය යි.

එහි දී අපේ සිහියට නැගෙන්නේ එදා සිදුහත් බොසත් කුමරුගේ මාතෘත්වයට පත් වූ සුද්ධෝදන මහරජතුමාගේ අගමෙහෙසිය වූ මහාමායා දේවියගේ කුසෙහි සිදුහත් බෝසතාණන්ගේ

පිළිසිඳගැනීමේ සිද්ධිය යි. වෙසතුරු අත්බැවින් මිදුණු මහබෝසතුන් එතැන් සිට සන්තුසිත දිව්‍ය ලෝකයේ තුසිත නම් දිව්‍යරාජ ව පහළ වී පස්මහ බැලුම් බලා තුසිත දෙව්ලොවින් චුත ව, මේ මනුලොව මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තා. දඹදිව මධ්‍ය දේශයෙහි රජ පත් සුද්ධෝදන මහරජුගේ අග මෙහෙසිය වූ මහාමායා දේවිය එදා ඇසළ පුරපසළොස්වක පුන් පොහෝදින පෙහෙවෙස් සමාදන් ව රාත්‍රී නින්දට ගිය පසු දුටු සිහිනය වූයේ සුදු ඇත් පැටියෙක් සුදු නෙළුම් මලක් සිය සොඬෙන් රැගෙන අවුත් දේවියගේ කුසයේ දකුණැලයෙන් සිය කුසට ඇතුළු වූවාක් මෙන් දේවියට දැනුණු බව කියවුණු සිහිනය යි. මෙය බෝසත් කුමරුගේ මවුකුස පිළිසිඳ ගැනීමේ අවස්ථාව ලෙස යි සැලකෙන්නේ. මෙය සිදු වූයේ ඇසළ පුර පසළොස්වක දාක ය.

ඉන් පසුව එලඹුණු වෙසක් පොහෝ දින මනුලොව උපන් සිද්ධාර්ථ නම් ඒ බෝසතාණෝ සොළොස්වන වියේ දී කපිලවස්තු නුවර රජ පැමිණ යශෝධරාව සිය අගමෙහෙසිය කර ගත්තා. එතැන් සිට වසර දහතුනක් ශරීරයට අපමණ ලෞකික සුවපහසුකම් ලබා දෙමින් සිට සතර පෙර නිමිති දැක ගිහි ජීවිතය ගැන ද අපමණ කළකිරීමට පත් වුණා. එදින රාත්‍රී නින්දට ගොස් මහරෑ අවදි වුණු කල්හි නිළියන්ගේ විකාර රූ දැක සිත කළකිරීමට පත් කරගත් බෝසතාණන් වහන්සේ මේ මහ රෑ ගිහිගෙය අත්හැර අභිනිෂ්ක්‍රමණය කළෙත් ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයෙයි.

එමෙන් ම අප සිතට ගත යුතු තවත් වැදගත් කරුණක් වන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ චරිත කථාව පිළිබඳ ඉතා වැදගත් සිදුවිම් දාමයකට සම්බන්ධ වන බෝසත් සිදුහත් රජතුමාගේ පුත්කුමරු වූ රාහුල කුමාරයාගේ උපත සිදු වුයේ ද මේ ඇසළ පුරපසළොස්වක දිනක විම. එදා උයන් ක්‍රීඩාවට ගොස් මංගල අශ්ව රථයෙන් ආපසු මාළිගාව දිහාවට පැමිණෙන අතරමග දී සතර පෙරනිමිති දුටු බෝසතාණන් වහන්සේ සසර යම් පමණකට කළකිරීමෙන් තමා ආපසු එමින් සිටියේ. ඉතින් මේ සිදු විම් මෙසේ පෙළගැහෙන කොට තවත් රාජපුරුෂයෙක් බෝසත් සිදුහත් රජතුමා වෙත වේගයෙන් දිව අවුත් ප්‍රකාශ කළේ නම් රජතුමා අතිශයින් සතුටට පත් වෙන පුවතක් තමා කියා සිතාගෙන යි. ඒ පුවත තමා රජතුමාගේ අගබිසවට එනම් යශෝධරාවට පුතෙක් උපන්නා කියන මේ සුබආරංචිය. එහෙම සිතලා මේ උණුසුම් පුවත බෝසත් රජතුමාට දැනුම් දෙන කොට රජතුමා කල්පනා කළේ තවත් බැම්මක් ඇති වුණා කියන එකයි. ඉතින් රජතුමා මේ පුවත අසනවාත් සමඟ ම මුවින් පිටවූයේ , රාහුලො ජාතො බන්ධනං ජාතො., රාහුලයෙක් හට ගත්තා. බන්ධනයක් ඇති වුණා කියන මේ අදහස යි එයින් ප්‍රකාශ වුණේ.

එදා ම තවුස් වෙස් ගත් මහ බෝසතාණන් වහන්සේ එතැන් සිට සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කර වයස අවුරුදු 35 ට එළඹෙද්දී ඇසතු බෝරුක මුල චතුරංග සමන්නාගත විර්යයෙන් ආනාපානසති භාවනාව වඩමින් ත්‍රිවිද්‍යා හා අෂ්ඨවිද්‍යා පහළ කර ගනිමින් සවාසනා සකලක්ලේශ ධර්මයන් ප්‍රහාණය කර වෙසක් පුර පසළොස්වක දින උතුම් සම්මා සම්බුද්ධත්වයට ද පත් වුණා. උන්වහන්සේ එතැන් සිට දින 49 ක් මුළුල්ලෙහි තමන්වහන්සේට බුදුබව ලැබුමට සෙවණ දුන් ඒ සිත්පිත් නැති ඇසතු බෝ සෙවණ ඇසුරෙහි කල්යැවුවා.

- මෙම ලිපියේ ඉතිරි කොටස ඇසළ අව අටවක ( ජූලි 25) පත්‍රයේ පළවේ.