Print this Article


ජීවිත අවදානමවත් නොතකා මත් උවදුර මර්දනයට නායකත්වය දෙන්නේ මතු පරපුර වෙනුවෙන් - ජනාධිපති

ජීවිත අවදානමවත් නොතකා මත් උවදුර මර්දනයට නායකත්වය දෙන්නේ මතු පරපුර වෙනුවෙන් - ජනාධිපති

ජීවිත අවදානම නොතකා තමා මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළට නායකත්වය ලබා දෙන්නේ ජාතිය සහ මතු පරපුර වෙනුවෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

 

රටත්, ජාතියත් විනාශ කරමින් තිබෙන නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට ඉකුත් සිව්වසර පුරා තමා ගෙන ගිය දැවැන්ත වැඩපිළිවෙළට අබපියල්ලක සහයක් ලබා නොදුන් පිරිස් අද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දැඩි නීති ක්‍රියාත්මක කිරීමට ගත් පියවර හමුවේ තමා වැරැදිකරුවෙකු ලෙස රටට පෙන්වීමට උත්සාහ දරමින් සිටින බව ද, මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වූ ලක්ෂ 3 ක තරුණ ජීවිත බේරා ගැනීමට හෝ එම පවුල්වල සාමාජිකයන් දුකින් මුදා ගැනීමට බලයේ සිටිය දී හෝ විපක්ෂයේ සිටිය දී ඔවුන් ඉටු කළ කාර්යය කුමක් දැයි තමා එම සියලු දෙනාගෙන් ප්‍රශ්න කරන බවද ඒ මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ, සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී ඉකුත්දා (1) පැවැති ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ සමාප්ත සමුළුව සහ බස්නාහිර පළාත් සමුළුව සඳහා එක් වෙමිනි. මතින් නිදහස් රටක් ගොඩනැගීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක කර ඇති මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරමින් පසුගිය 23 දා ආරම්භ කළ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය පසුගියදා අවසන් විය.

එහිදී අදහස් පළ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේ ජීවිත අවදානම නොතකා තමා මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළට නායකත්වය ලබා දෙන්නේ ජාතිය සහ මතු පරපුර වෙනුවෙන් බවත්, ජාතියක් විනාශ කිරීමට හැකි පහසුම දේ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම බවත් ය. උතුම් ශ්‍රී ලංකා මාතෘ භූමිය තවත් මෙක්සිකෝවක් වීමට ඉඩ නොතබා මතින් නිදහස් රටක් සංකල්පය ප්‍රවර්ධනයටත්, ව්‍යාප්තියටත් කටයුතු කරමින් රටත්, ජාතියත් ගලවා ගැනීමට දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරින්, පාසල් සිසුන් ඇතුළු සියලු පුරවැසියන් තම වගකීම් ඉටුකළ යුතු බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ගත් තීරණය හමුවේ ඇතැම් ජාත්‍යන්තර සංවිධාන අද ශී‍්‍ර ලංකාවට තර්ජන එල්ල කරමින් සිටින අතර , රටේ ආර්ථික සංවර්ධනයට ජාත්‍යන්තර සංවිධානවල සහාය අවශ්‍ය නමුත්, රටේ ස්වාධීනත්වයට අත ගැසීමට හෝ එම ස්වාධීනත්වයට තර්ජනයක් එල්ල කිරීමට එම කිසිවකුට අයිතියක් නොමැති බවද ජනාධිපතිවරයා කියා සිටියේ ය. නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලනඥයන් පිළිබඳ තොරතුරු ද මේ වන විට රහසක් නොවන අතර මත්ද්‍රව්‍ය උවදුරෙන් රට බේරාගැනීමට දේශපාලනඥයන් කී දෙනෙකු තම වගකීම ඉටුකරනවාදැයි අද ප්‍රශ්න සහගත බවද ඒ මහතා සඳහන් කළේ ය.

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලය සහ ජාත්‍යන්තර ත්‍රස්තවාදය අතර සම්බන්ධතාව ද පැහැදිලි කළ ජනාධිපතිවරයා පසුගිය අපේ‍්‍රල් 21 වනදා ත්‍රස්ත ප්‍රහාරයට ද ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ සම්බන්ධතාවක් තිබෙන බව පෙන්වා දුන්නේය. මේ අතර මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය හා ශ්‍රී ලංකා පොලිසිය එක්ව පිළියෙළ කළ මත්ද්‍රව්‍ය භාවිතයේ ව්‍යාප්තිය පිළිබඳ ජාතික සමීක්ෂණ වාර්තාව ද මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්විණි.

මෙතෙක් රටේ පහළ වූ කිසිදු නායකයකු ඉටු නොකළ කාර්යභාරයක් ඉටුකරමින් මත්ද්‍රව්‍ය උවදුරෙන් ජාතිය ගලවා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉටුකරන මෙහෙවර මෙහිදී මහා සංඝරත්නය, මැති ඇමතිවරු ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ දැඩි ඇගැයීමට සහ උපහාරයට ලක්විය.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න, පළාත් ආණ්ඩුකාරවරුන් වන සරත් ඒකනායක ,ආචාර්ය සුරේන් රාගවන්, ඒ.ජේ.එම්. මුසම්මිල්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරකුමාර දිසානායක, කාදර් මස්තාන්, බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන ඇමැති ඉසුර දේවපි‍්‍රය, ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.