Print this Article


බුද්ධ ශ්‍රාවකයන් වෙමු

බුද්ධ ශ්‍රාවකයන් වෙමු

බෞද්ධ ශ්‍රාවකයන් අතර පටාචාරා, කිසාගෝතමී යන නම් බෙහෙවින් ප්‍රචලිත ය. එනමුත් ඒ ප්‍රසිද්ධ කථා වස්තු දෙකින් මතුකර දී ඇති බුද්ධ වචනවලට අපි අපේ ජීවිත කෙතෙක් දුරට අනුගත කරගෙන ඇත්තේ ද යන්න විමසා බැලිය යුතු ය.

පටාචාරා සැවැත්නුවර විසූ සිටු දියණියකි. රූමත් සොළොස් හැවිරිදි තම දියණියගේ මතු දියුණුව සලකා මව්පියන් ඇය මැනවින් ආරක්ෂා කළමුත්, සිටුගෙදර මෙහෙකරුවෙකු සමගින් පටාචාරා පැන ගියේ තම මව්පියන් හා බන්ධූන් මෙලොව වශයෙන් හදවත් ගින්නෙහිලමින් ය. හේන් කොටමින්, දර පලා විකුණමින්, ඉතා දුක සේ ජීවත් වූ මේ දෙදෙනා දරු දෙදෙනෙකු ද බිහි කළේ මහ මඟ ගස් යට ය. දෙවන දරුවා බිහි කිරීම සඳහා විලිරුදා ඇති වන විට මහ වැස්සක් ඇද හැළිණි. නො තෙමෙන තැනක් සොයන්න යයි පුරුෂයාට මොර දුන්නේ ඔහු පොරොව රැගෙන වන රොදක් කැපීමට තුඹසකට ගොඩ වූයේ එහි සිටි නයෙකු දෂ්ට කිරීමෙන් එතැන ම මැරී වැටුණේ ය. මේ අතර පටාචාරා මහත් පීඩාවෙන් තවත් පුතෙකු වැදුවා ය. දරු දෙදෙනා වැස්සෙන් – ශීතලෙන් ආරක්ෂා කිරීමට සිතා තුරුල් කොට දෙදනත්, දෙවැලමිටත් බිම ඔබා ගෙනම රාත්‍රිය කල් ගෙවුවා ය. පහන්වත්ම මස් වැදැල්ලක් සේ සිටි එදා උපන් පුතු තුරුලට ගෙන අනිකාගේ ඇඟිල්ල අල්ලාගෙන හිමියා සොයා ගියේ සිදු වී ඇති ඉරණම දැක හඬමින් ම මහ මගට බටහ.

පෙරදා මුළුරැය වැටුණු වැස්ස හේතුවෙන් අචිරවතී ගඟ පිරීගොස් ඇති බව දුටු පටාචාරා දරු දෙදෙනා ම ගෙන එතෙර වන්නට අපොහොසත් බව දැන දරු දෙදෙනා දෙවරකට එතෙර කරවන්නට ගොස් සිදු වූ මහ විපත් අපි දන්නෙමු. අනේ! මාගේ එක් පුතෙක් උකුස්සකු විසින් ගෙන ගියේ ය. එකෙක් දියේ ගිලී ගියේ ය. මගේ හිමියා අතර මග මළේ ය.

අනේ මට පිහිට වන්නට දෙවියන් හැර වෙන කවරෙක් වේ ද? දෙවියනේ මට පිහිට වන්න. මා රැක ගන්න. කෝ මට සෙවනක්. කෝ මට කෑමක්, කෝ ඉණ කඩෙක්, මොක ද මේ මට වුණේ, මොකක්ද මා කළ කරුමය යි කියමින් මඟ දිගේ හඬමින් මව්පියන් විසු සැවැත් නුවර දෙසට යන්නේ එහි සිට එන මිනිසෙකු හමුව තොරතුරු විමසු විට මම එම පවුල හොඳින් හඳුනමි. එහෙත් ඔවුන් ගැන කිසිවක් ඇසිය යුතු නොවේ යයිම කියා කීවේ ය. ඕ තොමෝ මගියාට බල කළෙන් එවිට ඒ පුරුෂ තෙමේ කී තොරතුරු ද විස්තර වශයෙන් අපි දැන සිටිමු. පටාචාරාවගේ මව පියා හා සොහොයුරු යන තිදෙනාම ඊයේ වැටුණු වැසිවලට හා සුළඟට අසුව ගෙට යටවී මල පුවත හා සෑයේ දැවෙන පුවත කන වැකෙත් ම ඇඳ සිටි රෙදි කඩ පවා ඉණෙන් ගිලිහී නිර්වස්ත්‍රව සිහි විකල් ව අඳෙීනා කියමින් පිස්සියක් මෙන් තැන තැන ඇවිද ඉදිරියට යන්නට වුණි. මව, පියා, සොහොයුරා , ස්වාමියා හා තම කුසෙන් උපන් දරු දෙදෙනාම යන සියල්ලට සිදු වූ ක්ෂණික වියෝවෙන් සංවේදී ව (නිබ්බේධක) සිටි ඇය දුටු හැම කෙනෙක්ම ඇත්තටම පටාචාරා පිස්සියක් ම යි සිතා කුණු කසල හිස මත දමන්නට, පස් වැලි ඇඟෙහි ලන්නට, ගල්මුල් වලින් ගසන්නට හා පිස්සී යයි කියමින් හූ කියන්නට වූවෝ ය.

ධර්මාසනාරූඪ වී දහම් දෙසන භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ විහාරය දෙසට එන ඇය දිවැසින් දුටු සේක. මෝ තොමෝ කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි පිරූ පාරමිතා ඇත්තියකි. කල්ප ලක්ෂයකට පමණ පෙර ලොව පහළව සිටි පියුමතුරා බුදුරජාණන් වහන්සේ එක් භික්ෂුණියක් විනය ධර භික්ෂුණීන් අතර අග්‍රස්ථානයෙහි තබනු දුටු මෝ තොමෝද එවන් සිතිවිල්ලක් පහළ කරගෙන ගෞතම බුදුරදුන් ඉදිරියෙහි මෙම සිතිවිල්ල සපල වන බව පදුමුත්තර බුදු රදුන්ගෙන් විවරණ ලැබ මෙසේ ගෞතම බුද්ධ ශාසනය දක්වා වූ ආත්මයන්හි පාරමිතා පුරවාලමින් සසර ආයෙකි.

අප බුදුරජාණන් වහන්සේ එදා මෙතුමිය කළ මේ පැතුම දැක මැයට පිහිට වීම සඳහා විහාරගෙයි ධර්ම ශාලාව දෙසට එන ලෙසට අදිටන් කළ සේක. ඇයගේ ඒම වළකාලන්නට රැස්ව සිටි අය උත්සාහ කරද්දි බුදුපියාණන් වහන්සේ නො වළක්වන ලෙස කළ ඉල්ලීම අනුව ඇය බුදුරජාණන් වහන්සේ ඉදිරියට ආවිට “සහෝදරිය, සිහි එලවා ගන්න” ය යි මහත් අනුකම්පාවෙන් වදාරද්දී එකෙණෙහි ම මැය සිහි ලැබුවා ය. මෙ වේලෙහි තම සිරුරෙහි ඇඳිවත නැති බව දැක විලිබිය ඇත්තී, එතැන්හි ම බිම දන ගැසුවා ය. එවිට සභාවේ සිටි එක් පුරුෂයෙක් තම උතුරු සළුව ඈ ඉදිරියට විසි කළේ එය ශරීරයෙහි දවටා ගෙන. බුදුරදුන් ඉදිරියට ගොස් රන්වන් සිරිපා මත නළල තබා වඳිමින්, මට පිහිටවන් ස්වාමීනි, මට පිහිටවන්නට ඔබ වහන්සේ හැර වෙන කෙනෙක් නැතැයි එක් දිනක් තුළ තමාට සිදු වූ හද පැලී මැරී යාමට තරම් වූ දුක් සමූහය කියන්නට වුණි. බුදුරජාණන් වහන්සේ ඇගේ මේ බැගෑපත් කතාව කියන්නට ඉඩ දී, පටාචාරාවෙනි, අමුත්තක් නො සිතන්න. ඔබ පැමිණ ඇත්තේ ඔබට පිහිට විය හැකි කෙනා ළඟටම ය. එනිසා බියක් ඇති කර නො ගන්න. යැයි මැය සනසාලමින් ඇයට සිදුව ඇති විපත තමන් වහන්සේගේ වචන වලින් ද ආපසු ඇයට වදාළ විට තමාගේ සංවේදනීය දුක බුදුරජාණන් වහන්සේ හරි හැටි තේරුම් ගත් බව වැටහී, අනතුරුව කුමක් පවසන්නේ දැයි පටාචාරා තම නෙත්, , කන්, සිත් යොමු කොට සිහි එළඹවා ගත්තා ය.

අපිදු කවදා හෝ මේ සද්ධර්මය අවබෝධ කර ගැනීමට නම් මුලාවෙන් (මෝහයෙන්) මිදී තමාගේ නාම රූපයෝ (සිත – කය) අනිච්ච, දුක්ඛ, අනාත්ම යන ත්‍රි ලක්ෂණයට යටත් බවට සංවේදී (නිබ්බින්දති, කළකිරිය යුතු ය) විය යුතු ය. (මෙම ත්‍රි ලක්ෂණ ගති ස්වභාවය යමෙක් දිගට දක්නේ නම් ඒ විදර්ශනා ඥාන ස්වභාවයයි) නැගණියෙනි, ඔබගේ වටිනා ජීවිතයට සිදුව ඇති විපත වාවා ගත නො හැක. එහෙත් නැගණියෙනි, අති දීර්ඝ මේ සසර ගමන තුළ අම්මා, තාත්තා, අයියා, හිමියා, දරු දෙදෙනා හා බන්ධූන් ඤාතීන් වෙනුවෙන් ඔබ ඇස්වලින් හෙළා ඇති කඳුළු වල ද ප්‍රමාණයක් නැත. හොඳින් සිහියට ගන්න. නැගණිය , ඔබ මේ දීර්ඝ සසරේ දි ඉපදෙමින්, මැරෙමින් එන ගමන තුළින් ඔබේ ඇස්වලින් මෙවැන්නක් වෙනුවෙන් කඩා වැටුණු කඳුළු සප්ත මහා සාගරයෙහි ජලයට වඩා ඉතා විශාල වේ යයි බුදුරජාණන් වහන්සේ වදාරන කල්හි ඇයගේ ශෝකය ටිකෙන් ටික තුනී වී ගියේ පෙර ප්‍රාර්ථනා ද ඉදිරියට එමින් ය.

මේ බව දත් බුදුරජාණන් වහන්සේ පටාචාරාවෙනි, හොඳින් අසන්න මරණයට පත්වන කිසිවකුහටත්, කොයි අතකින් හෝ පිහිටවන්නට කිසිවෙකුට නොහැක. උපන් හැම කෙනෙකුගේ ම මෙලොව ජීවිතය මරණයෙන් කෙළවර වීම නියත ම ය. එය වළක්වන්නට මවට පියාට, හිමියාට ,සහෝදර , සහෝදරියන්ට දූ දරුවන්ට හෝ නෑ මිතුරන් යන කිසිවෙක් සමත් නො වෙති. මේ කිසිවෙක් දිවි ඇතිව සිටියත් ඔබ මරණයට ගොදුරු වූයේ නම්, එය වළක්වන්නට කිසිවක් මොවුනටද කළ නොහැක. ඒ ඔවුහු .තමාට අයත් නොවන හෙයිනි. ඔවුහු ද හැම දා ජීවත් වන්නාහුද නොවෙත්, මිය යන්නාහුම ය.

ඒ ඔබගේ මියගිය කිසිවකු හටවත්, මේ ලෝකයේ මැරී පරලොව යන වෙනත් කිසිවකු හටවත්, වැදු මවට – ජාතක කළ පියාට – එකකුස උපන් සහෝදර සහෝදරියන්ට, තමන් හැදු වැඩු දරුවන්ට, බිරිඳකට , සැමියෙකුට හෝ සෙසු කවර ඤාතියෙකුට හෝ කෙනෙක් මරණයෙන් වළක්වන්නට කළ හැකි දෙයක් නැත. ස්වභාවික ආරක්ෂාවක් වත් නොමැත්තේ ය. එහෙයින් මෙලොව උපන් අප නුවණැත්තන්ව සිත සතියෙන් (සිහියෙන්) යුතුව හසුරුවමින්, අප්‍රමාදී ව තබා ගනිමින් කය, වචනය, යහපත් කොට ගෙන සිල් රැක තමන් සදාකාලික දුකින් මිදීම නම් වූ නිවන් මග සාදා ගැනීම වටී.