Print this Article


තැන්පත් සිතක වටිනාකම

තැන්පත් සිතක වටිනාකම මිල කළ හැකිද?

පින්වතුනි, මේ සසර ගමන අපට මොන තරම් දුෂ්කරයිද? එක ආත්මයකින් නිමා කරන්න පුළුවන් ගමනක් නෙමෙයි. නිතරම සිහියෙන් යුතුව මේ ජීවිතේ ගත කරන්න ඕනෑ අප අනුන්ගේ වැරැදි සොය සොයා අනුන්ට වෛර ,ක්‍රෝධ කර කර ඉන්නකොට අපට වැඩෙන්නේ මොන සමාධියද? අනුන්ගේ වැරැදි දැක දැක තව තවත් ඒ ගැනම හිතනවාට වඩා තමාගේ සිත ධර්මයට ළං කරගන්න. එතකොට අපට නොකියාම අපේ හිත් බුදුහාමුදුරුවන්ට සමීප වෙනවා.

කොච්චර වටිනවද? පින්වතුනි, අපේ බුදුහාමුදුරුවෝ අපට කියනවා නිතරම මැරෙන බව සිහි කරන්නලු. ගිහි, පැවිදි දෙපිරිස ම නිතරම මරණය සිහි කරන විට ටික ටික හරි අපේ සිත් වලින් වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව අඩු වෙනවනේ, මැරෙන මිනිසුන් ඇයි මැරෙන මිනිසුන්ට නපුරුකම් කරන්නේ. වෛර කරන්නේ, පලි බඳින්නේ, මැරෙන බව නිතර නිතර සිහි කරන ඇත්තා වෛර කරන ලෝකය තුළ අවෛරීව ජීවත් වෙන්න උත්සාහ කරනවා.

පින්වතුනේ. අඩුම තරමේ උදෑසන නපුරු සිතිවිලි හටගත් සිත් හවස වෙන කොට ඒ සිතිවිලි නැති වෙලා සිත තැන්පත් වුණොත් කොච්චර වටිනවද? අද කළ වරද හෙට නොකරන්න. සිත පුරුදු කළොත්, දවසින් දවස හැදි හැදී ගියොත් මේ අද්ධාන වූ සසර ගමන ජය ගන්න අපට මදකට හරි සහනයක් ලැබෙන්නේ. නිතරම සිහියෙන් යුතුව මේ ගමන යන්න ඕනෑ. සතර සතිපට්ඨානය සිහි කරන්න ඕනෑ. නිතරම සිහියෙන් හැම වැඩකම යෙදෙන ඇත්තා ඉබේටම භාවනාවකට යොමු වෙනවා. හැම දෙයක්ම සිහියෙන් යුතුව කිරීමත් භාවනාවක්.

පින්වතුනේ, එදා ද්‍රෝණ නම් බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ කවුද කියලා තේරුම් ගන්න බැරුව ප්‍රශ්න කළා. ස්වාමීනි ....ඔබවහන්සේ කවුද? ගාන්ධර්වයෙක්ද? ඍෂිවරයෙක්ද? මනුස්සයෙක්ද? දෙවියෙක්ද? නැත බ්‍රාහ්මණය, මම ඒ කිසිම කෙනෙක් නොවෙමි. උත්තරීතර, තුන්ලොවට අධිපති සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ස්වාමීනි ඔබ වහන්සේ මොන තරම් දුක් විඳලා පාරමී පුරලාද, බුදු බව ලබා ගත්තේ. නිකන් ලැබුණ දෙයක්ද? ගොහොරු මඩේ නෙළුම්, මානෙල් මල් පිපුණට ඒවා අප්‍රසන්නද? නැහැනේ. මේ රාගයෙන් භරිත, ක්ලේශයන්ගෙන් පිරුණ කිළිටි ජන සමාජය තුළ පහළ වුණ උත්තරීතර උතුමන් වහන්සේ කොච්චර වටිනවද? උන්වහන්සේ පහළ නොවෙන්න මෙතරමින්වත් අපට සැනසිල්ලක් තියනවද? සෙවන දුන් ගසට පවා කෘතවේදී වුණා. ස්වාමීනි ඔබවහන්සේ දස මරුන් බිඳ දමා බුද්ධ රාජ්‍යයට පත්වන මොහොතේ සෙවන දුන් ගසට පවා කළගුණ දැක්වූවා.

භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ සුගත නම් වන සේක. එදා දීපංකර පාද මුලේදී විවරණ ලැබූදා පටන් හොඳ ගති පුරුදු කරගෙන ආ සසර ගමන ගෙවුවා. ගති නම් පුරුදු, දුගති නම් නරක ගති, ස්වාමීනි ඔබ වහන්සේ සුගති මාවතකයි ගමන් කළේ. එක ආත්මෙක නෙමෙයි සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී දම් පිරුවා. ඒත් එක ආත්මෙකවත් දුගති ගෑවුණේ නැහැ. බුදු බව පතාගෙන පාරමී දම් පිරුවා. ඔබ වහන්සේට ආශ්‍රයට කී දෙනෙක් හමු වුණාද?

ඒත් කවදාවත් ඒ කිසි දෙයකින් ඔබවහන්සේ යන ගමන වෙනස් කරගත්තේ නැහැ. බුදු හාමුදුරුවනේ. එදා බෝසත් වඳුරුතුමා පව්කාර මිනිසෙකුට උදව් කරන්න ගිහින් වූ විපත. ඒත් පව්කාර මිනිසා නිසා ඔබ වහන්සේ ඔබවහන්සේ ගේ බෝසත් ගතිගුණ වෙනස් කරගත්තේ නැහැ. සසරේ පුරුදු කරගෙන ආ හොඳ ගති ගුණ නපුරු මිනිසෙක් නිසා අත හැරියේ නැහැ. ස්වාමීනි ඔබවහන්සේ කවදාවත් ලෝකය මුලා කරන වචන කතා කළේ නැහැ .