Print this Article


ගිහි ගෙදරට දහම් වැටක් : පරිසරයෙහි සොඳුරු බව සුරකිමු

පරිසරයෙහි සොඳුරු බව සුරකිමු

පුද්ගලයෙකුට තමාගේ ජීවිතය අර්ථය හා හිතසුව පිණිස යෙදවිය හැකි වන්නේ ධර්මානුකූල හර පද්ධතිය නිවැරැදිව අවබෝධ කරගෙන ඒ අනුව ක්‍රියාත්මක වීම තුළිනි.

ආත්මාර්ථකාමීව අදහම දහම ලෙස අර්ථ දක්වමින් ස්වකීය ලාභය පිළිබඳව ම තර්කවල ගැටෙන අවස්ථාවාදී සිත් සතන්වලින් පරිපූර්ණ වූ පුද්ගලයන් සිටියි.වර්තමාන සමාජය විසින් ස්වභාවික පරිසර දූෂණය පිළිබඳ නිතර සාකච්ඡාවට භාජනය කරයි.

පරිසරය ආරක්ෂා කර ගැනීම පිළිබඳව බුදු දහමේ කරුණු කාරණා දක්වා ඇත්තේ ද, මිනිසා විසින් ස්වභාවික පරිසරය විවිධාකාරයෙන් දූෂණයට ලක් කිරීම හේතුවෙනි. ස්වභාවික පරිසර දූෂණය, ශබ්ද දූෂණය හා වාත දූෂණය වශයෙන් පුද්ගලයා විසින් තමා ජීවත්වන වටපිටාව අපවිත්‍ර කරනු ලබයි. තමා ජීවත්වන පරිසරය අනවශ්‍ය ලෙස පුද්ගල පැවැත්මට අයහපත් වන ආකාරයේ ශබ්ද මඟින් පිරවීමෙන් ශබ්ද දූෂණය වීම තුළ පරිසර දූෂණය වන බව බුදුදහම කරුණු අවධාරණය කර ඇත. දූෂණය යන වචනයෙහි අර්ථය ලෙස අපවිත්‍ර කිරීම යන අදහස ගැබ්ව පවතී. ස්වභාවික පරිසරයට හිතකාමී වන ශබ්ද කෙතරම් පැවතිය ද ඒවා එම අර්ථයෙන් බුදුදහම සලකන්නේ නැත. මිනිසාට ජන්මයෙන් ම තම හඬ පිටකිරීමේ ශක්‍යතාවය ලැබෙන්නේ සංසාරගත පුණ්‍ය ශක්තියක බල මහිමයෙන් බව බුදු දහමේ අදහසයි. සමාජ යහපත, හිතසුව පිණිස අර්ථවත් කිරීම සඳහා පිටකරන හඬ උතුම්ම දානය වශයෙන් දක්වා ඇත. සබ්බදානං ධම්මදානං ජිනාති රටක දියුණුව පිණිසද එය ම හේතු වෙයි.

අසත්‍ය ප්‍රකාශ කිරීම, පරුෂ වචන කීම, කේලාම් කීම, හිස්වචන කීම අකුසල් ලෙස දහමෙහි විග්‍රහ කරනු ලබයි. එම ප්‍රකාශ පුද්ගල හෝ සමාජ හිතසුව පිණිස හේතු නොවන බැවිනි. එසේ වුව ද, සත්‍ය වූ ත්, නිවැරැදි වූ ත්, උතුම් වචන කතා කරන අවස්ථාවල දී හඬ කෙතරම් උස්ව නැගුණත් එය ප්‍රතික්ෂේප කරන්නේ නැත. එය සමාජයට හිතකාමී වන බැවින් අත්‍යවශ්‍ය වෙයි.

ගසක ගෙඩි හට ගැනීමට ද, මිනිස් කටහඬ හේතුවෙයි. කතා කළ යුතු අවස්ථාවේ නිහඬ වීමත්, නිහඬවිය යුතු තැන හඬ නඟා කතා කිරීමත්, පුද්ගල පිරිහීම පිණිස හේතු වෙයි.

ඒ අනුව යම් සංසිද්ධියක් පුද්ගල හා සමාජ හිතසුව පිණිස කෙතරම් උපකාරී වන්නේද, හෝ නොවන්නේ ද යනුවෙන් සොයා බැලිය යුතු බව පැහැදිලි ය. රට සමාජය නිර්මාණාත්මක පිළිතුරු සැපයීම සඳහා ධර්ම පරිචය ද, පරිණත බව ද අත්‍යවශ්‍ය වෙයි. රටක භෞතික දියුණුව විෂයයෙහි යම් යම් සැලසුම් නිර්මාණය කිරීමේ දී ඒවා නිර්මාණාත්මක ලෙස භාවිතයට ගැනීම පිළිබඳව උත්සාහ කළ යුතු ය.

වනගතව වෙසෙන ඇතැම් යෝගාවචරයකුට ගඟ ගලන ශබ්දය ද, පක්ෂියකු කෑගසන හඬ ද, මිහිරියාවක් ලෙස දැනෙන්නේ ඔහුගේ භාවනානුයෝගී අරමුණට එය අර්ථවත් ලෙස භාවිත කර ගැනීමට හැකියාව ඇති නිසා ය. ඇල් ගෙවිලියක ගැයූ ගීතයක් අසා රහත් වූ භික්ෂු පිරිසක් පිළිබඳව විනය අටුවාවේ දැක්වේ. එසේ වූයේ කාන්තාවකගේ කටහඬට ආශක්තව මෙනෙහි කළ නිසාවෙන් නොව, එම හඬින් පිට වූ කරුණුවල අදහස මෙනෙහි කළ නිසාවෙනි. මෙයින් පැහැදිලි වන්නේ කුමන හඬක් වුව ද, පුද්ගල යහපත පිණිස හරවා ගත හැකි බවයි.

ආලවක සිය විමානයේ සිට ගෝරනාඩු කරන අවස්ථාවේ දී නුසුදුසු හඬකැයි බුදුරජාණන් වහන්සේ නීති වදාළේ නැත. එය පරිසරයේ හිතසුව පිණිසම හැරවූහ. එක්රැස් වූ ස්වාමීන් වහන්සේලාට ද බුදුරජාණන් වහන්සේ දැහැමි කතා කරන ලෙසට අනුදැන වදාළ සේක. එසේ නොමැති නම් නිහඬව සිටිය යුතු බව ය. ඉහත කාරණාවලට අනුව අනර්ථය, අයහපත පිණිස හඬ යොදා ගත හැකි බව අවබෝධ කර ගත හැකි ය. එවැනි අවස්ථාවන් හි දී බුදුරජාණන් වහන්සේ යම් යම් නීතිමය ස්වභාවයන් ගත් අවවාදාත්මක කරුණු වදාළ සේක.

කිසිදු කතාවක් නැති ව, නිහඬව ම සිටි භික්ෂූන් වහන්සේ නමකට බුදුරජාණන් වහන්සේ අගතනතුරු පිරිනමා ඇත. එය මෝනෙය්‍ය ප්‍රතිපදාව පිරීම හෙවත් නිහඬවම සිටීම නිසා ය. අවශ්‍ය ස්ථානයේ හඬ නැගීම මෙන් ම ලෝක ප්‍රජාවගේ ඝෝෂා මැද මුනිවත රැකීම ද ඉතා උතුම් කොට දහමෙහි දක්වා තිබෙන බව පැහැදිලි ය. සකුළුදායි බමුණා තම අසපුව කරා වඩින බුදුරජාණන් වහන්සේ දැක ස්වකීය ශ්‍රාවකයනට ප්‍රකාශ කරනු ලැබුවේ ‘ඇවැත්නි, නිහඬ වන්න. නිහඬ වන්න. අර ඈත මේ දෙසට වඩින්නේ බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේ නිහඬ බව පි‍්‍රය කරන උත්තමයෙකි යනුවෙනි.

බොහෝ දුර බැහැර ප්‍රදේශයක සිට බුදුරජාණන් වහන්සේ දැක වැඳ පුදා ගැනීමට පැමිණි භික්ෂූන් වහන්සේලා පිරිසක් ශබ්ද නඟා කතා කරනු ඇසීමෙන් උන්වහන්සේලා ආරාමයෙන් බැහැර කරවීමට බුදුරජාණන් වහන්සේ කටයුතු කරනු ලැබුවේ උන්වහන්සේ නිහඬ බව පි‍්‍රය කරනු ලැබූ නිසා ය. නමුත් ආර්ය සමාජයේ යම් යම් ප්‍රතිපත්තිත් ගිහි ජීවිතයේ ප්‍රතිපත්තිත් දෙකක් මිස එකක් නොවන බව නිවැරැදිව තෝරා බේරා ගත යුතු ය.