Print this Article


ජීවිතය ගැන නැවත කියවීම

ජීවිතය ගැන නැවත කියවීම

අත්තනා චොදයත්තානං
පටිමාසෙ අත්තමත්තනා
සො අත්තගුත්තො සතිමා
සුඛං භික්ඛු විහාහිසි

චෝදනා කරගත යුත්තේ, තමන් තමන්ට ම ය. තමන් ගැන විමසා බැලිය යුත්තේ තමන් ම ය. තමා විසින් තමා රැකගෙන, හොඳින් සිහිය පිහිටුවාගෙන සැපසේ ඉන්න.

ධම්ම පදයේ භික්ඛු වර්ගයේ ඇති මෙම ගාථාව අප ජීවිතවලට ඉතා වටිනා මහාර්ඝ ආදර්ශයක් , උපදේශයක් ලබාදෙන බව ගාථාවේ අන්තර්ගතයෙන් ම පැහැදිලි වේ. අපේ ජීවිතය ගැන නැවත කියවා බැලීමකට ඉඩ හසර මෙයින් වෙන්කර දෙයි. අප බොහෝ වේලාවට හුරු වී ඇත්තේ අනෙකාගේ දොස් දැකීම කෙරෙහි ය. එය සාමාන්‍ය පෘථග්ජන ස්වභාවයකි. පෘථග්ජන සිත් වහා නැඹුරු වන්නේ අකුසල ඉසව්වට ය. එසේම අප සිත්වල පවතින ලෝභ, ද්වේශ, මෝහාදී අකුසල මුල් නිසා නිතැතින් ම අපි විවිධ අරමුණු ඔස්සේ ගොස් කටයුතු කරන්නෙමු. මේ සැම අවස්ථාවක දී ම තමන් ක්‍රියා කළ යුත්තේ කුමන ආකාරයෙන් ද යන වග පෙන්වා දෙන සුවිශේෂ අවස්ථාවකි මෙම ගාථාවෙන් ප්‍රකට වන්නේ.

අප අනෙකා ගැන සොයා බලන්නට පළමුව අප ගැනම සොයා බැලිය යුතු ය. මෙය ඉතා සූක්ෂමව අවබෝධ කරගත යුතු සංකල්පයකි. අප ගැන සොයා බැලිය යුතු ආකාරය අංශ දෙකක් යටතේ කතා කළ හැකි ය. ඒ කායික හා මානසික වශයෙනි. කායික අංශයේ දී අපගේ පංචේන්ද්‍රියයන් හා අනෙක් ඉන්ද්‍රියයන් ගැන සොයා බැලිය යුතු ය. මන්ද අප කායිකව සුවපත් වී සිටිය යුතු ය. බොහෝ අවස්ථාවල දී අපි කායික වශයෙන් ලෙඩ රෝගවලට ගොදුරු වෙමු. ඉතින් යහපත් , නිරෝගි දිවියක් ගත කිරීම සඳහා අප කායිකව නිරෝගී බව උදා කරගෙන සිටිය යුතු ය. එහි දෙවැන්න වන්නේ ඉහතින් දැක් වූ පරිදි මානසික අංශයයි. කායික රෝගවලට වඩා මානසික රෝග පුද්ගලයන්ට මහත් බලපෑමක් කරන බව ඉතා පැහැදිලි ය. සමහර විටෙක කායික රෝග ඇති වීම පිණිස මනස මුල් විය හැකි ය. මානසික රෝග ඇති වීම පිණිස කයත් මුල්විය හැකි ය. මේ අනුව මේ දෙකටම ඇත්තේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවකි. කෙසේ නමුත් මෙකී අංශ දෙකෙන් ම අප අප ගැන සොයා බැලිය යුතුව ඇත.

එපමණක් නොවේ, මෙතැන දී ඔබගේ කයෙන්, වචනයෙන් වන වැරැදි පිළිබඳවත් අදහසක් ගත හැකි ය. වැදගත්ම දේ එකී කරුණයි. අප අපගැන නොසිතා අනෙකා ගැන සිතා කටයුතු කරන්නේ නම්, සැබැවින් ම ඉන් අප වෙහෙසට පත් වෙයි. ඒ නිසා තමන්, තමන් ගැන සෙවීමට වග බලාගත යුතු ය.

කෙනෙකුගේ සිතේ අනෙකා පිළිබඳ ව ඇති විය හැකි මානසික හැඟීම් රාශියකි. තමන් ජීවත් වන පරිසරයේ ම ජීවත් වන සමීපතමයා තමන්ට වඩා දැනුමෙන්, බුද්ධිමත්කමෙන්, ධනයෙන්, බලයෙන්, ආකල්පවලින්, කුසලතාවෙන් ආදී අංශ ගණනාවකින් වෙනස් පුද්ගලයෙක් යැයි සිතන්න. එකී පුද්ගලයා පිළිබඳ ඇති කරගෙන ඇත්තේ කුමනාකාරයේ සිතිවිල්ලක් ද? එය බොහෝ විට ඔහුගේ දක්ෂතාව, කුසලතාව, ධනය, බලය ආදි දෑ නිසා තමන් ඇති කරගත් වෛරී චේතනා සම්ප්‍රයුක්ත හැඟීමක් විය හැකි ය. එවැනි හැඟීමක් ඇති කරගත් අවස්ථාවේ සිට ඔබ ක්‍රියා කරන්නේ ඔබේ සමීපතම අසල්වැසියාට අයහපතක් වනු දැකීමට ය. කුමන හෝ හේතුවක් මත ඔහුගේ රැකියා ස්ථානයේ ප්‍රශ්නයක් ඇති වෙනවා නම් ඔබ ඊට පි‍්‍රය කරයි. එසේත් නැතිනම්, ඔහුගේ පවුලේ සමඟිය, සමාදානය බිඳ වැටෙන අන්දමේ දෙයක් සිදු වූයේ නම් ඊට සතුටු වෙයි. එසේත් නැත්නම් ඔහු කායිකව හෝ මානසිකව රෝගයකට පත්ව ඇත්නම් ඔබ තෘප්තිමත් වෙයි. මේ සැම කරුණක් මගින් ම කියැවෙන්නේ අන් කිසිවක් නොව ඔබ එකී පුද්ගලයා කෙරෙහි ඇති කරගෙන ඇති මානසික සිතිවිල්ලයි. එකී සිතිවිල්ල ඊර්ෂ්‍යාව මුල් කරගෙන පහළ වූවකි. එහි මෝහය ද, රාගය ද නැතැයි කාට නම් කිව නොහැකි ද? මේ අනුව එසේ දිනෙන් දින දියුණු වන පුද්ගලයන් දෙස බලා දිට්ඨානුගතව ඔබත් ඔවුන් හා සමවීම පිණිස හෝ ඔවුන්ට වඩා කැපී පෙනෙන ආකාරයේ වූ අවස්ථා උදා කරගැනීමට කටයුතු කරයි. එකී තැනැත්තා යම් ගෘහ භාණ්ඩයක් ගත්තේ නම් ඔබ ද ඊට වඩා අගනා මිලැති ගෘහ භාණ්ඩයක් ගැනීමට කටයුතු කරනු ඇත. ඔහු වාහනයක් ගත්තේ නම්, ඔබ ද වාහනයක් ගැනීම පිණිස ඔබගේ සිත මෙහෙයවනු ඇත.

මෙවැනි මානසික හැඟීම් වැඩි වැඩියෙන් පහළ වීම මත ක්‍රමයෙන් යටපත් වන්නේ ඔබේ මානසික සහනයයි. එය අසහනයක් බවට පත් වීමට වැඩි කලක් ගත වන්නේ නැත. අනුන් ගැන සිතා ඔබ වෙහෙසට පත්වන්නේ නම් එය කෙතරම් අවැදගත් කාරණාවක්දැයි යළි යළිත් සිතා බැලිය යුතු බව ඔබටම අවබෝධ වනු ඇත. වෙසෙසින් ම මෙහි දී අනෙකා පිළිබඳ සිතුවත් එසේ සිතන්නේ අනෙකා පිළිබඳ, ඔහුගේ හෝ ඇයගේ දියුණුව පිළිබඳ, සාර්ථකත්වය පිළිබඳ නොවන නිසා එකී තැනැත්තාට වඩා ධනයෙන්, බලයෙන් හා අනෙකුත් අංශවලින් ඉදිරියට යාම නිසා එය දෙස සුබවාදීව බැලිය නොහැකි ය. එවැනි අවස්ථාවල දී අනෙකාගේ දියුණුව දෙස බලා සැනසීමක් උදා කරගැනීමට නොහැකි ය. ක්‍රමයෙන් ඔහුගේ විවිධ ශාරීරික හෝ මානසික දුර්වලතා උලුප්පා දක්වමින් ඔහුට හෝ ඇයට රහසින් බැණ වදී. සමහර වේලාවට ඔබ ප්‍රසිද්ධියේ ඔබගේ බිරිඳ, සැමියා හෝ වෙනත් ඥාතීන් ඉදිරිපිට දී බැණ වදී. එකී තැනැත්තාගෙන් කිසියම් වූ සුළු වැරැද්දක්, අතපසුවීමක් සිදුවූයේ නම් එය අවස්ථාවක් කොටගෙන ඔහුට පරුෂ වචනයෙන් බැණ ශාප කරයි. පළිගැනීමේ අදහස උපදී. මෙම හැඟීම්වලට වහල් වූ පුද්ගලයා ගත කරන මොහොතක් පාසාම දැවීමට ලක් වේ. අනුන් දවන අදහසින් කටයුතු කළ ද මානසිකව දැවෙන්නේ ඔහු හෝ ඇය නොව එසේ අනෙකා කෙරෙහි වෛරී සිතිවිල්ලෙන් පසුවන තැනැත්තා ය.

ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වැනි හැඟීම් ජාලා අතිශයින් භයංකර අවස්ථා උදාකරන බව අමුතුවෙන් කිවයුතු නොවේ. එවැනිම ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් කටයුතු කළ උදවිය හා අවසානයේ ඔවුන් විඳි චිත්ත පීඩා පිළිබඳ බොහෝ කතාපුවත් අසා ඇත. සමහර දෑ ඔබගෙන් සිදු වී ඇති නිසා ඔබම ඊට සාක්ෂි වශයෙන් තබා ගත හැකි ය. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය පමණක් නොව ඔබ සිතට ඇතුළුවන හැඟීම් සමුදාය පිළිබඳ වුව නැවත නැවතත් සිතා බැලිය යුතු තැනට පත්ව ඇත. අනෙකා කෙරෙහි අහිතක් ඇති කරගත් අවස්ථාවේ සිට කරන කියන දෑ පිළිබඳ නිසි අවබෝධයක් ඔබට ම නැත. අනෙකා දෙස ඊර්ෂ්‍යා පරවශව බැලීම කෙරෙහි බලපාන සාධක අතර මාන්නය ද මූලික විය හැකි ය.

මාන්නය හෙවත් අනෙකා තමා හා සන්සන්දනය අද ඊයේ සිට ඇති වූ පිළිවෙතක් නොවේ. ඊට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. බුදුන් වහන්සේ සෙය්‍ය මාන, සදිස මාන, හීන මාන යනුවෙන් ප්‍රධාන බෙදීම් තුනක් නැවතත් එය තුන් ආකාරයකට දැක්වීමෙන් මානයෙහි ස්වරූපය පෙන්වා දුන් සේක. කෙසේ නමුත් ඉතා කෙටියෙන් පැහැදිලි කරන්නේ නම්, ඔබ අනෙකාට වඩා උසස් ද, ඔබ අනෙකා හා සම මට්ටමේ ද, අනෙකාට වඩා පහත් ද ආදී ලෙස ගෙන ඇති කර ගන්නා වූ විනිශ්චය මානය වශයෙන් හැඳින්විය හැකි ය. එම හැඟීම් මගින් තමන්ට යහපතක් වන්නේ නැත. තමන් අනෙකාට වඩා උසස් යැයි සිතා කටයුතු කළත්, තමන්ට වඩා උසස් වීමට වෙර දරනු ඇතැයි සලකා සැක කොට මානසික වියවුලට පත්වනු ඇත. අනෙක් අවස්ථා ද එසේම ය. ඒ නිසා මාන්නය අතිශය භයංකර හැඟීමකි. මාන්නයෙන් යුක්ත වුවහොත් ඊළඟ ආත්ම භාවයේ දී එහි ප්‍රතිවිපාක ඉතා දරුණු විය හැකි බව බුදුරජාණන් වහන්සේ ගාථාවකින් දේශනා කළ සේක.

මානෙන මක්කටො හොති
අතිමානෙන කුක්කුරො
කොධෙන පණ්ණදො හොති
අතිකොධෙන රක්ඛසො

ඒ අනුව ඔබ මානයෙන් යුක්ත වේ නම් ඔබ ඊළඟ ආත්ම භාවයේ දී රිලවෙක් හෝ වඳුරෙක් ලෙස ඉපදිය හැකි ය. අතිශයින් මානයෙන් යුතු වේ නම් සුනඛයෙකුව ඉපදිය හැකි ය. ක්‍රෝධ කරන තැනැත්තෙකු නම් පිඹුරෙකු වනු ඇත. දැඩි ක්‍රෝධයෙන් යුතු වන්නේ නම් රකුසෙකු, යකෙකු ලෙස උපත ලබනු ඇත. ඒ නිසා මානය හා ක්‍රෝධය අතිශයින් භයංකර හැඟීම් සමුදායක් බව ඔබටම සිතෙනු ඇත.

ඊර්ෂ්‍යාව ක්‍රෝධය වැනි හැඟීම් පහළ වන්නේ මිනිස් සිත්වල පමණක් නොවේ. තිරිසන්ගත සත්ත්වයන් තුළත් එකී හැඟීම් පහළ වනු ඔබ ඕනෑතරම් දැක ඇත.

එසේම දැඩි මසුරුකමත් ඉතා බලවත් මානසික හැඟීමක් බව කිව යුතු ය. මසුරුකමින් යුක්ත තැනැත්තාගේ සිත පිනට යොමු නොවෙයි. කෙතෙක් අවශ්‍යතා තිබුණත් එකී අවශ්‍යතා සපුරාලීම සඳහා මෙහෙයවීමක් සිදු නොවෙයි. ආනන්දමූල සිටුවරයා, මච්ඡරිය කෝසිය සිටුවරයා, අදින්න පුබ්බක සිටුවරයා ආදීි පිරිස් ලෝභය නිසා, දැඩි ලෝභය නිසා, පත් වූ අපහසුතා ඉතා හොඳින් හඳුනාගත හැකි ය. ඒ කෙසේ වුව ද තෘෂ්ණාවෙන්, ලෝභයෙන් මිදී පරිත්‍යාගශීලීව කටයුතු කිරීමට අපගේ සිත් සකස් කරගත යුතු ය. සෑම විටෙකම අප ප්‍රගුණ කළ යුත්තේ අප සන්තකයේ පවතින දෑ අනුන්ට දෙමින් අප සිතේ අල්ලාගෙන සිටීමේ හැඟීම යටපත් කිරීමයි.

අනෙකාගේ අඩුපාඩු දැකීමට පෙර තම තමන්ගේ අඩුපාඩු දකින්නේ නම්, ඒ පිළිබඳ සොයා බලන්නේ නම්, සැබැවින් ම අප සමාජය මීට වඩා සාර්ථක වනු ඇත. බුදුරදුන් භද්දවග්ගිය කුමාරවරුන්ට දැනුම් දුන්නේ ද එකී කරුණයි. අනුන්ගැන සිතනවාට වඩා තමන් ගැන සිතීම වැදගත් බවයි එහි දී පෙන්වා දුන්නේ. ඔබත් අනෙකාගේ වැරැදි අඩුපාඩු දැකීමට පෙර ඔබේ වැරැදි , අඩුපාඩු සකස් කරගන්න. එය ඉදිරි පැවැත්ම පිණිස හේතුවනු නිසැක ය.