මරණය සිහිකිරීම භාවනාවකි
කු/නික / වාරි රත්මලේ
රතනසෙල මහ පිරිවෙනෙහි
නියෝජ්‍ය පරිවේණාධිපති
ගලගෙදර රතනවංස හිමි
ලෝකයේ බිහි වූ සෑම දෙනෙකුටම පොදු වූ ධර්මතාවයක් වන්නේ මරණ ධර්මතාවය යි. එය ඕනෑම
කෙනෙකුට කිසදු බේදයක් නොමැතිව බලපාන සාධාරණ ධර්මතාවයකි. ලෝකයට සත්‍ය පසක් කළ
ලොව්තුරා බුදුරජාණන් වහන්සේට ද එම ධර්මතාවය සාධාරණව බලපෑහ. ලොව යමෙක් මරණය නම් වූ
ධර්මතාවයෙන් ගැලවෙන්නට හෝ, බේරී සිටීමට සිතනවානම් හෝ එවැනි තැනක් අහසෙහි හෝ මුහුද
මැද හෝ, පර්වත කුහරයක් තුළ හෝ බිම් පෙදෙසක හෝ නොමැති බව බුදු හිමි ධම්ම පදයේ
පාපවග්ගය තුළින් දේශනා කළහ.
එසේනම් අප කළ යුත්තේ කුමක්ද? ජීවත් වන කෙටි කාලය තුළ හොඳින් ජීවත් වීම ය. එහි දී
තමනට උපතින්ම පැවරෙන යුතුකම් වගකීම් ඉෂ්ඨ සිද්ධ කිරීම ද, ගුණ ධර්ම ප්‍රගුණ කිරීමට ද
පින් සිද්ධ කිරීම ද, අධ්‍යාත්මික ගුණධර්ම දියුණු කිරීම ද ඉතා වැදගත් වේ. හැකි තරම්
ලෝභ, දෝෂ, මෝහ අකුසල ධර්ම දුරුකර ගැනීම ද, කුසල ධර්ම වර්ධනය කර ගැනීම ද ප්‍රඥාගෝචර
වන්නේ ය. එසේ වූ කල්හි එවැනි චරිත මිනිසුන්ගේ හදවත්වල රැඳෙනු ඇත. ශරීර කූඩුවෙන්
වෙන් වුව ද නාමික වශයෙක් ඔවුන්ගේ නාමය ජන හදවත් තුළ පිළිරැව් දෙනු ඇත.
සමහර මිනිසුන් මිය ගිය ද නොමළ මිනිසුන් ලෙස සැලකෙන්නේ ජීවත් වූ කාලය තුළ යහපත්
චරිතයක් ගොඩ නගාගෙන තිබූ හෙයිනි. ඇතැමෙක් ජීවත් වුව ද මළවුන් හා සමාන ය. එවැනි
ජීවිත තමන්ටත්, අනුන්ටත්, මෙලොවටත් – පරලොවටත් අයහපත පිණිසම පවතිනු ඇත. කුමන
චරිතයක් මිය ගිය ද, ආපසු හට ගැනීම සිදු වේ. එය කුමන භවයක් හරහා සිදු වන්නේ ද යන්න
කීම අසීරු වුව ද සියල්ලෝම, ඒ පිළිබඳ අවබෝධයෙන් සිටීම වැදගත් වේ. එවිට ජීවත් වන කෙටි
කාලය තුළ පිරිසුදු, ගුණවත් හා වැදගත් චරිතයක් ඇති කෙනෙකු ලෙස ජීවත් වීමට අපහසු නැත.
කෙසේ හෝ ජීවත් වීම හොඳින් හෝ නරකින්, සැපෙන් හෝ දුකෙන් ගෙවනු ඇත. අමාරුවෙන් හෝ
ජීවත් වී මිය යාම සිදු වේ. එය වැළැක්වීමට නොහැක. කවුරු කෙසේ කොහොම ජීවත් වුව ද, ඒ
ඕනෑම විධියකට ජීවත් වූ ඕනෑම කෙනෙකු මිය ගියාට පසු එම මළ සිරුර දෙස බලා සාධාරණ හා
ධර්මානුකූල චින්තනයක් ගොඩ නඟා ගැනීමට ඕනෑම කෙනෙකුට පුළුවන් කමක් ඇත. එය
මරණානුස්සතිය යනුවෙන් හැඳින්වේ. එය ඕනෑම ජීවත්වන කෙනෙකුට අතිශයින්ම ප්‍රයෝජනවත් වනු
ඇත. ප්‍රාණය නිරුද්ධ සිරුර ජීවත් වන්නවුන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීමට ඍජුවම බලපානු
ඇත. ඒ දෙස භාවනානුකූලව බැලීම තුළින් ලැබෙන ප්‍රයෝජනය ද කියා නිම කළ නොහැක.
“මහණෙනි මරණය මෙනෙහි කරන්න. මරණ සතිය නිතර භාවිත කරන ලද්දේ, බහුල වශයෙන් පුරුදු
පුහුණු කරන ලද්දේ මහත් ඵල මහානිසංස ගෙන දෙයි. නිවනට පැමිණීමට හේතු වෙයි”
විදර්ශනාවට යොමු වීම යනු අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නම් වූ ත්‍රිලක්ෂණ ධර්මය අවබෝධ කර
ගැනීමයි. ඒ සඳහා ද මරණානුස්සතිය වැදගත් වේ. දෛනික ජීවිතයේ සිහිමුලා නොවී කටයුතු
කිරීම, පිනට දහමට නැඹුරු වීම, මරණයට ඇති බිය නැති වීම, තම ළඟම ඥාතීන්ගේ පවා
වියෝවලින් කම්පා නොවීම, අනවශ්‍ය ලෙස හඬා නොවැළපීම, පස්කම් පිළිබඳ ඕනෑවට වඩා ඇලුම්
නොකිරීම ආදිය ප්‍රතිඵල වශයෙන් තම ජීවිතයට ලැබෙන අතර මෙලොව ජීවිතය අත්හැර යෑමේ දී
සිහි මුලා නොවී හොඳ සිහියකින් මරණයට මුහුණ දීම ආදි කරුණු අපේ ජීවිතය උදෙසා හේතු වන
ප්‍රතිඵලයන් ය.
ම:නි මූල පණ්ණාසකයේ මූල පරියාය වග්ගයට අයත් මහා සතිපට්ඨාන සූත්‍රය තුළ ජීවිතයත්,
මරණයත් පිළිබඳ ගැඹුරු විග්‍රහයක් කර ඇත. එහි ශරීරයේ ස්වභාවය ප්‍රාණවායුව තිබෙද්දී
ද, ප්‍රාණවායුව ක්ෂය වූවාට පසුව ද, මැනවින් විග්‍රහ කොට ඇත. ඕනෑම කෙනෙකුට ජීවිතය
සකස් කර ගැනීම උදෙසා සතිපට්ඨාන සූත්‍රය පමණක් අධ්‍යයනය කිරීම ප්‍රමාණවත් වේ.
විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය හඳුනන, ගවේෂණය කරන ඕනෑම කෙනෙකුට සතිපට්ඨාන
සූත්‍රය අධ්‍යයනය කිරීම වැදගත් ය. එම සූත්‍රය තුළින් කෙනෙක් මළ පසු එම මළ සිරුර
කොටස් 9 ක් ඔස්සේ බලා ජීවත් වන ශරීරය ද එසේ වන අයුරු මෙනෙහි කිරීමට පුළුවන. කොටස්
10 ක් ගෙන දස අසුභ වශයෙන් අසුභ භාවනාව ද කළ හැකි ය. එම පියවර 9 හා 10 සීවථිකය
යනුවෙන් නම් කර ඇත.
සීවථිකය යනු සසඳා බැලීමයි. තමන්ගෙ ශරීරය ද, අනුන්ගේ ශරීරය ද යථාස්වභාවය නුවණින්
දකිමින් වාසය කිරීම ඉන් ගම්‍ය වේ. එම කොටස් දහය නම්,
උද්ධුමාතක (ඉදිමී ගිය මළ සිරුර)
විනීලක ( නිල් වූ මළ සිරුර)
විපුබ්බක ( සැරව වැගිරෙන මළ සිරුර)
විච්ඡිද්දක ( සිදුරු වී සුන් වී ගිය මළ සිරුර)
වික්ඛායිතක ( සතුන් විසින් එහා මෙහා
අදිමින් මස් කඩා ගන්නා මළ සිරුර)
වික්ඛිත්තක ( සතුන් විසින් කඩා තැන්
තැන් වල විසුරුවා ඇති මළ සිරුර)
හතවික්ඛිත්තක ( ඒ ඒ තැන විසුරුවන ලද
කොටස් ඇති මළ සිරුර)
ලෝහිතක ( ලේ වැගිරෙන මළ සිරුර)
පුලවක (පණුවන්ගෙන් ගැවසීගත් මළ
සිරුර හා
අට්ඨික (ඇට සැකිලි බවට පත් වූ මළ සිරුර )
යනුවෙනි
මළ සිරුරක් දෙස ප්‍රඥාගෝචරව බලනවානම් ඉහළ පිළිවෙළට බැලිය යුතු ය. වෙනත් මළසිරුරක්
උපමා කොටගෙන තම ශරීරය දෙස ද බැලිය යුතු ය. එවිට එය භාවනාවක් බවට පත්වේ. එම භාවනාව
මරණානුස්සති භාවනාව වශයෙන් ප්‍රගුණ කළ හැකි ය. මෙම ශරීරයෙහි යථා ස්වභාවය තේරුම්
නොගන්නාතාක් සත්වයාට දුකම ඉතිරි වේ. මැරෙන බව නොසිතනා තාක් මිනිසුන් තුළින් සිදුවන
වැරැදි, අඩුපාඩු , අපරාධ බහුල වනු ඇත. ඒ අනුව මනසක් තිබෙන සෑම දෙනෙක්ම අප කවුරුත්
මරණයට පත් වන බව සිතට ගෙන ජීවිතය සකස් කර ගත යුතුයි. බාහිර වශයෙන් සරසා ඇති මෙම කය
මොහොතක් ගානේ අපවිත්‍ර වේ. ප්‍රඥාව දියුණුනම්, කය ගැන සිතීමෙන් පමණකුදු තම දුක් අවම
කර ගැනීමටත්, දුක් නැති කරගැනීමටත් පුළුවන් වනු ඇත. චුල්ල පන්ථක පොඩි හාමුදුරුවෝ
රහත් වූයේ ශරීරයේ තතු ප්‍රඥාවෙන්ම දැක, දැන අවබෝධ ශක්තිය තුළිනි.
මොහොතක් ගානේ තම තමන් විසින් මරණානුස්සතිය වැඩිය යුතු ය. පටු ආකල්ප වලින් බැලීම
අනුවණ ක්‍රියාවකි. යථාර්ථවාදීව ශරීරය දෙස බැලීම තුළින් මරණානුස්සතිය ප්‍රගුණ කිරීම
පහසු වනු ඇත. එලෙස වර්ධනය කළ මරණානුස්සතිය තුළින් සත්වයාට ලැබෙන ප්‍රයෝජන අතර
ජීවිතයේ අස්ථීරත්වය හා වෙනස් වීම ප්‍රකට වීම
රළු, දැඩි, රුදුරු ,නරක , නපුරු සිතිවිලි ඇති
නොවීම,
කරුණා, මුදිතාදී ගුණ වර්ධනය වීම,
මරණ භය දුරු වීම හා පවට බිය ඇති වීම,
අප්‍රමාදී වීම හා කුසලයට පමා නොවීම,
ජීවිතයේ දැඩි ආශාවන් දුරු වීම,
පාපය අපි‍්‍රය කරන අතර මසුරු මළ දුරු
වීම,
අනිත්‍ය සඤ්ඤාව නිරතුරුවම ප්‍රගුණ වීම,
මුලා නොවී නොබියව මරණයට මුහුණ
දීම හා
මරණානුස්සතිය දියුණු කොට සසරින් මිදීමට අවශ්‍ය විදසුන් ඤාණය උදා කර ගැනීම ආදිය වේ.
මේ කරුණු කාරණා සිතට ගෙන, මරණය පිළිබඳ මොහොතක් ගානේ සිතා, විමසා කරුණු අවබෝධ කර ගෙන
සසරින් මිදීමට එය මාර්ගයක් කර ගනිමු. |