Print this Article


තෙවළා බුදු වදන් අතරින් 35: දෙවියන්ගේ සුගතිය

තෙවළා බුදු වදන් අතරින් 35:

දෙවියන්ගේ සුගතිය

" දෙව්ලොව දෙවිවරු මිනිස් ලොව ඉපදීමට තැත්කරන විට මිනිසුන් දෙව්ලොව ඉපදීමට තැත් කිරීම යනු පුදුමය දනවන්නකි. මිනිසත් භවයක ඉපදීම තරම් වටිනා දෙයක් වෙනත් නැත. එසේ මිනිසත් භවයක උපදින කෙනෙකුට තථාගත ධර්මය අසන්නට ලැබීමත් මහත් භාග්‍යයකි."

එක් දිනක් භික්‍ෂූන් වහන්සේ ඇමතූ බුදුරජාණන් වහන්සේ දෙව්ලොවින් චුතවන දෙවියෙකුට සෙසු දෙවිවරු කුමක් පවසන්නේදැයි දක්වමින් ඉතිවුත්තක පාලියේ එන “පුබ්බනිමිත්ත” සූත්‍රය දේශනා කොට වදාළහ.

එහි දැක්වෙන පරිදි දෙව්ලොවින් චුතවන දෙවියෙකුට පෙරනිමිති පහක් පහළ වේ. ඒ අනුව පළමුව එම දෙවියා පැළඳී මල්මාලා පරවෙයි. දෙවනුව ඔහු ඇඳී වස්ත්‍ර කිලිටි වේ. තෙවනුව කිසිලිවලින් දහඩිය පිට වෙයි. සිව්වෙනුව සිරුර දුර්වර්ණ වෙයි. පස්වෙනුව ස්වකීය අසුනෙහි රැඳී සිටීමට ඇති කැමැත්ත පහව යයි. මෙම ලක්‍ෂණ පහ පහළ වූ කිසියම් දෙවියෙකු දුටු සැණින් සෙසු දෙවිවරු රැස් වී දෙව්ලොවින් චුත වීමට ආසන්න එම දෙවියා අමතා “පින්වත, මේ දෙව්ලොවින් චුතව සුගතියට යන්න. සුගතියට ගොස් ලැබිය යුතු උසස්ම ලාභය ලබා ගන්න. උසස්ම ලාභය ලැබ එහි ස්ථාවරත්වයට පත්වන්න ” යනුවෙන් කරුණු තුනකින් ඔහුට අවවාද කරති. බුදුරජාණන් වහන්සේ මෙම කරුණු වදාළ අවස්ථාවෙහි එහි වැඩ සිටි එක්තරා භික්‍ෂූන් වහන්සේ නමක් එම කරුණු තුනෙන් අදහස් වන්නේ කුමක්දැයි පැහැදිලිකොට වදාරන මෙන් උන්වහන්සේගෙන් ඉල්ලා සිටියේ ය. ඉක්බිති එම භික්‍ෂුව ඇසූ පැනයට පිළිතුර වශයෙන් “මහණ මිනිසත් බව වනාහි දෙවියන්ගේ සුගතිය යි. මිනිසෙකුව ඉපිද, තථාගත ධර්මය අසා, ඒ කෙරෙහි ශ්‍රද්ධාවක් ඇතිකරගැනීම මිනිස් ලොව කෙනෙකුට ලැබිය හැකි උතුම් ම ලාභය යි. එසේ ධර්මය තුළින් ලැබූ ශ්‍රද්ධා ප්‍රතිලාභය ඔහුගේ සිතට කා වැද, එහි මුල් පැද, ස්ථාවරත්වයට පත්ව, කිසිවෙකුටත් වෙනස් කළ නොහැකි අචල තත්ත්වයකට පත්වීම මනාකොට පිහිටීම නම් වේ.” යනුවෙන් දේශනා කළහ.

ඉහත බුද්ධ වචනය අනුව දෙවියන් සුගතිය යනුවෙන් අදහස් කරන්නේ මනුෂ්‍ය ලෝකය යි. චුතවීමට ආසන්න දෙවියා වෙත යන සෙසු දෙවිවරු ඔහුට සිහිපත් කරන්නේ සුගතිය යනුවෙන් අදහස් කෙරෙන මනුෂ්‍ය ලෝකයේ ඉපදෙන ලෙස ට ය. එසේ මනුෂ්‍ය ලෝකයේ ඉපිද, තථාගත ධර්මය අසා, ඒ කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගෙන එය කිසිවෙකුටත් වෙනස් නොකළ හැකි ආකාරයට ස්ථාවර කර ගන්නා ලෙස ට ය. මේ අනුව මිනිසෙකු ලෙස උපත ලැබීමත්, තථාගත ධර්ම විනයෙහි ශ්‍රද්ධාව පිහිටුවීමත්, එසේ පිහිටුවන ලද ශ්‍රද්ධාවෙහි ස්ථාවරත්වයට පත්වීමත් දෙවියන්ගේ ප්‍රාර්ථනාව හා අපේක්‍ෂාව වේ.

මිනිසත් භවයක ඉපිද රැස් කරන ලද පුණ්‍ය කර්ම හා කුසල කර්ම හේතුවෙන් දෙව් ලොව උපත සිදුවේ. දෙව්ලොව දී ලබන සැප සම්පත් සියල්ල පෙර මනුෂ්‍ය ලෝකයේ ඉපිද කළ පුණ්‍ය හා කුසල කර්මවල සැප විපාක ය. එම සැපත පවතින්නේ පුණ්‍යමය ශක්තිය තිබෙනතාක් පමණි. පුණ්‍ය ශක්තිය අවසන් වූ විට එයින් චුතවීමට සිදු වේ. එසේ චුතවන දෙවියෙකුට සෙසු දෙවිවරු සිහිපත් කරන්නේ නැවතත් මනුෂ්‍ය ලෝකයෙහි ඉපිද තථාගත ධර්මයෙහි ශ්‍රද්ධාව පිහිටුවා පින් රැස්කරගන්නා ලෙස යි. දෙවියන්ගේ මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ මිනිසත් භවය යනු අතිශය සුවිශේෂී තැනක් බව යි. එය මනුෂ්‍ය, දේව, තිරච්ඡාන, ප්‍රේත හා නිරය යන සුගති හා දුගති භවවල ඉපදීමට අවශ්‍ය දෑ රැස්කරන කේන්ද්‍රස්ථානය වේ. සුගති වශයෙන් සැලකෙන මනුෂ්‍ය හා දේව ලෝකවල උපත ලැබීමට ඉවහල් වන්නේ මිනිසෙකු ලෙස ඉපිද රැස්කරනු ලබන පින් හා කුසල් ය. පව් හා අකුසල් රැස් කිරීමෙන් තිරිසන් භවයක, ප්‍රේත ලෝකයක හෝ නිරයේ උපත සිදු වේ. ඒ අනුව කරුණු සලකා බැලීමේ දී පෙනීයන්නේ මනුෂ්‍ය ලෝකයේ මිනිසෙකුව ඉපදීම අතිශය වැදගත් වන බවයි. බුද්ධ දේශනාව අනුව මිනිසෙකුව ඉපදීම අතිශය දුෂ්කර දුර්ලභ කරුණකි. එබැවින් දැනට ලබා ඇති මනුෂ්‍යාත්ම භාවය පරිපූර්ණ එකක් බවට පත්කර ගැනීමත්, විමුක්තිය සාධනය කරනතෙක් මනුෂ්‍ය ලෝකයේ උපත ලැබීමට හේතුවන කුසල හා පුණ්‍ය කර්ම රැස් කිරීමත් අතිශය වැදගත් වේ.

තථාගත ධර්මය වනාහි මැනවින් ප්‍රකාශ කරන ලද්දකි. එය පිළිපැදීමෙන් ලැබෙන ප්‍රතිඵල සාංදෘෂ්ටික ය. තථාගත දහම අසා, ඒ කෙරෙහි විශ්වාසයක්, ශ්‍රද්ධාවක් ඇති කරගැනීම මනුෂ්‍ය ලෝකයේ කෙනෙකුට ලැබිය හැකි උසස්ම ලාභය යි. එසේ ලබන ශ්‍රද්ධා සම්පත්තිය (සද්ධා සම්පදා) නිසැකවම දෙලොව යහපත පිණිස ඉවහල් වේ. විමුක්ති මාර්ගයේ ආරම්භක පියවර ශ්‍රද්ධාව යි. බුදුරදුන් වදාළ පරිදි පස්පව් හා දසවිධ අකුසල කර්ම රැස්කිරීමෙන් වන අයහපතත්, එම ආකුසල චර්යාවලින් වැළකීමෙන් ලැබෙන අනිසංසත් විශ්වාස කරන තැනැත්තා අයහපතින් වැළකී යහපතෙහි නිරත වේ. එසේ කරන්නේ තථාගතයන් වහන්සේ මෙන්ම උන්වහන්සේගේ දේශනාව පිළිබඳ ඇතිකරගත් විශ්වාසය නිසයි. මේ වනාහි වෛද්‍යවරයාත්, ඔහුගේ ප්‍රතිකාරය ගැනත් විශ්වාසය තබන රෝගියා වෛද්‍ය උපදෙස් අනුව කටයුතුකර රෝගයෙන් නිදහස් වන්නාක් වැනි ය. බුදුරදුන් වදාළ අනුපූර්ව ප්‍රතිපදාව ආරම්භ වන්නේ ශ්‍රද්ධාවෙනි. එසේ ශ්‍රද්ධාවෙන් ඇරඹෙන ගමන නිමාවන්නේ ප්‍රඥාව සාක්‍ෂාත් කිරීම හෙවත් නිර්වාණාව බෝධයෙනි. සතර අපායෙන් මිදී සුගති සංඛ්‍යාත ලෝකයක ඉපදීමටත්, සියලු කෙලෙස් ධර්ම ප්‍රහීණ කොට විමුක්තිය සාක්‍ෂාත් කිරීමටත් ශ්‍රද්ධා ප්‍රතිලාභය උපනිශ්‍රය වේ. ඒ අනුව මෙලොව මිනිසත් භවයක් ලැබූ තැනැත්තෙකුට ලැබිය හැකි උසස්ම ප්‍රතිලාභය නම් බුදුරදුන්ගේ ධර්මය කෙරෙහි වන ශ්‍රද්ධා සම්පත්තිය යි. එබැවින් දෙව්ලොව දෙවියන් මහත් ලාභයක් ලැබීම යනුවෙන් අදහස් කරන්නේ ශ්‍රද්ධා ප්‍රතිලාභය යි.

එසේ ලබන ශ්‍රද්ධාවෙහි ස්ථාවරත්වයට පත්වීම යනුවෙන් අදහස් වන්නේ සෝතාපන්න භාවයට පත්වීමයි. සෝතාපන්න ආර්ය ශ්‍රවකයාගේ ශ්‍රද්ධාව නිෂ්ඨාවට ගිය එකකි. එය නොසෙල්වන “අවේචප්පසාද” ශ්‍රද්ධාව යි. කිසිවෙකුටත් කිසිවකටත් එම ශ්‍රද්ධාව වෙනස් කළ නොහැකි අන්දමට මුල් පැද ශක්තිමත්ව වැඩී තිබේ. කෙනෙකු තුළ ශ්‍රද්ධාව මුල්පැද නිෂ්ඨාවට පත්ව තිබේ නම්, එම තැනැත්තා නියත වශයෙන් සතර අපායෙන් මිදී ඇති බව තහවුරු වේ. එසේ තහවුරු වීම සතර අපායෙන් මිදුණේය යන සහතිකය පමණක් නොව මතුවට නියත වශයෙන්ම නිර්වාණාවබෝධය ද සිදුවන්නේ ය යන සහතිකය ද ලැබීම කි.

වර්තමානයේ සැම බෞද්ධයෙකුම අපේක්‍ෂා කරන්නේ තාවකාලික සැපතක් ලැබෙන දෙව්ලොව ඉපදීම ට ය. එහෙත් දෙව්ලොව සැපත අතිශය තාවකාලික එක කි. ඒ වනාහි මුදල් ටිකක් සොයා සපයාගත් කෙනෙක් එය වියදම්කොට දින කීපයක් සුඛෝපභෝගී හෝටලයක ගත කිරීමක් වැනි තාවකාලික ආශ්වාදයක්, සැපතක් ලැබෙන තැනකි. මේ හේතුව නිසයි දෙවිවරු සුගතිය යනුවෙන් හැඳීන්වෙන මිනිස් ලොව උපදින ලෙස ආයාචනා කරන්නේ. දෙව්ලොව දෙවිවරු මිනිස් ලොව ඉපදීමට තැත්කරන විට මිනිසුන් දෙව්ලොව ඉපදීමට තැත් කිරීම යනු පුදුමය දනවන්නකි. මිනිසත් භවයක ඉපදීම තරම් වටිනා දෙයක් වෙනත් නැත. එසේ මිනිසත් භවයක උපදින කෙනෙකුට තථාගත ධර්මය අසන්නට ලැබීමත් මහත් භාග්‍යයකි. තථාගත නෛර්යාණික ධර්මය ඇසෙන, කියැවෙන, ලියැවෙන, සාකච්ඡා කෙරෙන පතිරූප දේශයක ම උපත ලැබීම පුරාකෘත පුණ්‍ය කර්මයක ප්‍රතිඵලය කි. එබැවින් මිනිසත් භවයක උපත ලද්දෙකු උත්සුක විය යුත්තේ එම මිනිසත් භවය වඩාත් අර්ථවත් කරගෙන සසර දුක නිමා කිරීමට අවශ්‍ය ප්‍රතිපදාවක නිරතවීම ට ය. නැතහොත් සතර අපායට නොවැටෙන (අවිනිපාත ධම්ම) නියත වශයෙන් ම විමුක්තිය ලැබෙන (නියත සම්බෝධි-පරායන) ස්ථාවර තත්වයකට පත්වීමට උත්සුක වීම ය.