ඛුද්දක නිකායෙහි උදාන පාලිය:
සුප්පබුද්ධකුට්ඨි සූත්‍රය: නින්දා කිරීමේ විපාකය
මහමෙව්නා භාවනා අසපු සංචිතයේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ
ඤාණානන්ද හිමි
ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර ලෙහෙනුන්ගේ අභය භූමිය වූ
වේළුවනාරාමයේ.
ඒ දිනවල රජගහ නුවර සුප්‍රබුද්ධ කියලා කුෂ්ඨ රෝගියෙක් හිටියා. ඔහු ගොඩාක් දුප්පත්.
මිනිසුන් අතර ගොඩාක් අවාසනාවන්තයි. මිනිසුන් අතර දීන කෙනෙක්. එදා භාග්‍යවතුන්
වහන්සේ තමන් වහන්සේ පිරිවරා ගත් විශාල පිරිසකට දහම් දෙසමින් වැඩසිටියේ. සුප්‍රබුද්ධ
කුෂ්ඨ රෝගියාත් සෙනඟ රැස්ව සිටි හැටි දුරදීම දැක්කා. ඔහුට මෙහෙම හිතුණා.
නො වැරදීම මෙතැන නම් මොනවා හරි කන බොන දෙයක් බෙදන තැනක් වගෙයි. මමත් ටිකක් ඒ පිරිස
ළඟට කිට්ටු කරන්න ඕන. එතකොට ඔය කන බොන දේ මොනවා හරි මටත් ලැබෙන්නෙ නැතැයි’.
එසේ සිතා සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා ඒ රැස්වුණ සෙනඟ සමීපයට කිට්ටු වුණා. එතකොට එහි
සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියාට දකින්න ලැබුණේ භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ පිරිවරා
ගත් විශාල පිරිසකට දහම් දෙසමින් වැඩ ඉන්න ආකාරය යි. ඔහුට මෙහෙම හිතුණා. ආ මෙතැන කන
බොන දේ බෙදන තැනක් නොවෙයි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිරිසකට දහම් දෙසනවා නෙ.මමත්
එහෙනම්, බණ ටිකක් අහන්න ඕන. ඔහුත් පැත්තකින් වාඩි වුණේ ‘මමත් බණ අහනවා, මමත් ධර්මයට
සවන් දෙනවා’ කියලයි.
එතකොට භාග්‍යවතුන් වහන්සේ එතැන සිටි පිරිසේ සෑම දෙනාගේ ම සිත් තම සිතින් විමසා බලා
වදාළා. ‘මෙතැන ධර්මය අවබෝධ කරන්නේ කවුද?’ කියලා. ඒ පිරිස අතර වාඩි වෙලා සිටිය
සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා භාග්‍යවතුන් වහන්සේ දැක වදාළා. ‘මෙතැන ධර්මය අවබෝධ කරන්න
සුදුසු පුද්ගලයා මෙයා තමයි’ කියා සිතුවා.
ඉතින් කුෂ්ඨ රෝගී සුප්‍රබුද්ධ අරභයා අනුපිළිවෙලින් කථාව වදාළා. ඒ කියන්නේ දන්දීමේ
අනුසස් ගැන කතාව, සිල් රැකීමේ අනුසස් ගැන කතාව, සුගතියේ ඉපදීම ගැන කථාව, කාමයන්
නිසා විඳින දුක් ගැන කතාව, කෙලෙස් නිසා සිත පිරිහීම ගැන කතාව, කෙලෙසුන්ගෙන්
නිදහස්වීමේ අනුසස් වදාළා. එතකොට සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියාගේ සිත හොඳට සකස් වෙලා,
මෘදු වෙලා, නීවරණ පහවෙලා, ඔද වැඩී ගිය ප්‍රසන්න සිතකින් යුක්තව සිටින මොහොත
භාග්‍යවතුන් වහන්සේ දැක වදාළා. එවිට බුදුරජාණන් වහන්සේලාගේ සාමුක්කංසික ධර්ම දේශනාව
වන ‘දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග‘ යන චතුරාර්ය සත්‍යය වදාළා. කළු පැල්ලම් නැති
පිරිසුදු වස්ත්‍රයකට සායම් පොවන විට, ඉතා හොඳින් ඒ සායම් උරා ගන්නවා වගේ,
සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියාටත් තමන් සිටි තැන දී ම, හේතූන්ගෙන් සකස් වූ යම් දෙයක්
ඇත්නම්, ඒ හැම දෙයක් ම හේතු නැතිවීමෙන් නැතිවෙලා යන ස්වභාවයෙන් යුක්තයි’ කියන
කෙලෙස් රහිත, අවිද්‍යා මලකඩ රහිත දහම් ඇස පහළ වුණා.
ඉතින් ධර්මය දුටු, ධර්මයට පැමිණුන, ධර්මය දැනගත්, ධර්මයේ බැසගත්, සැකයෙන් එතෙර වූ ,
අවිශ්වාසයෙන් බැහැර වූ ධර්මය තුළ විශාරද බවට පැමිණුන, ශාස්තෘ ශාසනය තුළ
ස්වාධීනත්වයට පත් වූ, ඒ සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණ
ගෞරවයෙන් වන්දනා කළා. පැත්තකින් වාඩි වූ සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා භාග්‍යවතුන්
වහන්සේට මෙහෙම කිව්වා.
“ස්වාමීනී, ඉතාම සුන්දරයි ස්වාමීනි, ඉතාම සුන්දරයි, යටිකුරු වෙච්ච දෙයක් උඩුකුරු
කළා වගෙයි. වහලා තිබුණු දෙයක් ඇරලා පෙන්නුවා වගෙයි. මංමුළා වූ කෙනෙකුට නො වරදින මඟ
කිව්වා වගෙයි. ඇස් ඇති උදවියට රූප දකින්න අඳුරේ තෙල් පහන් දැරුවා වගෙයි. ඒ විදිහට
භාග්‍යවතුන් වහන්සේ නොයෙක් අයුරින් ශ්‍රී සද්ධර්මය වදාළා. ස්වාමීනි, ඒ මම
භාග්‍යවතුන් වහන්ස, සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත් සරණ යනවා. භික්ෂු සංඝයාත් සරණ යනවා.
භාග්‍යවතුන් වහන්සේ අද පටන් මා දිවි ඇති තුරාවට තෙරුවන් සරණ ගිය උපාසකයෙක් හැටියට
පිළිගන්නා සේක්වා.
එවිට භාග්‍යවතුන් වහන්සේ දහම් කථාවෙන් සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියාට කරුණු දැක්වූවා.
සමාදන් කරවූවා. උත්සාහවත් කරවූවා. සතුටු කරවූවා. ඔහු භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙය
සතුටින් පිළිඅරගෙන අනුමෝදන් වුණා. සිටි තැනින් නැගිට්ටා. භාග්‍යවතුන් වහන්සේට
ගෞරවයෙන් වන්දනා කළා. ප්‍රදක්ෂිණා කළා. ඉතින් සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියාට වැඩිදුරක්
යන්න ලැබුණේ නෑ. අලුත වැදූ වහුපැටියෙක් ඇති ගව දෙනක් අඟින් ඇනලා ඔහු ව මරණයට
පත්කළා.
ඉතින් බොහෝ භික්ෂූන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියා. ගිහින් ගෞරවයෙන් වන්දනා
කරලා, පැත්තකින් වාඩි වුණා. පැත්තකින් වාඩි වූ ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන්
වහන්සේගෙන් මෙහෙම අහනවා.
“ස්වාමීනි, ඔබ වහන්සේ දහම් කරුණු කියා දී සමාදන් කරවූ, උනන්දු කරවූ, සතුටු කරවූ අර
සුප්‍රබුද්ධ කියන කුෂ්ඨ රෝගියා මරණයට පත් වුණා. ඔහු ඉපදුණේ කොහේද? ඔහු පරලොව කොහි
ද?
“පින්වත් මහණෙනි, ඔය සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා හරිම බුද්ධිමත්, ධර්මානුධර්ම
ප්‍රතිපදාවට බැසගත්තා. ධර්ම කරුණු මුල් කර ගෙන තථාගතයන් වහන්සේ මහන්සි කළේ නැහැ.
පින්වත් මහණෙනි, සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා සංයෝජන තුනක් ප්‍රහාණය කරලා සෝතාපන්න
වුණා. කවදාවත් ආයෙ අපායෙ වැටෙන්නේ නැහැ. නියත වශයෙන්ම නිවන අවබෝධ කර ගන්නවා.”
මෙහෙම වදාළ විට, එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ අසා වදාළා.
“ස්වාමීනී, ඔය සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා අන්ත දිළිඳු මනුස්සයෙක්. අන්ත අසරණ
මනුස්සයෙක්. දීන මනුස්සයෙක්. ඒකට හේතුව මොකක්ද? කාරණය මොකක්ද?”
“පින්වත් මහණෙනි, එය බොහෝ ඉස්සර සිදු වෙච්ච දෙයක්. ඒ කාලෙ ඔය සුප්‍රබුද්ධ කුෂ්ඨ
රෝගියා මේ රජගහ නුවර සිටු පුත්‍රයෙක්. දවසක් ඔහු උයන් බිමට යද්දී, නගරයට පිඬුසිඟා
වැඩ සිටි ‘තගරසිඛී’ කියන පසේ බුදුරජාණන් වහන්සේ දැක්කා.දුටු විගස මෙහෙම හිතුවා.
සිවුරකින් ඇඟ වසාගෙන ඉන්න මේ කුෂ්ඨා කවුද? මෙහෙම හිතලා නින්දා අපහාස කරලා එතැනින්
ගියා. ඒ කර්ම විපාකය නිසා වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, අවුරුදු ලක්ෂ
ගණනක් ඔහු නිරයේ පැහුණා. ඒ කර්මයේ ඉතිරි විපාකයෙන් තමයි මේ රජගහ නුවරම අන්ත දිළිඳු,
අන්ත අසරණව අන්ත දීනව ඉපදුණේ. දැන් ඔහු තථාගතයන් වහන්සේ වදාළ ධර්ම විනයට පැමිණිලා,
ශ්‍රද්ධාව ඇති කරගත්තා, සිල්වත් වුණා. ධර්ම ඥානය ඇති කරගත්තා. ත්‍යාග ගුණය ඇති කර
ගත්තා, ප්‍රඥාවන්ත වුණා. ඔහු තථාගතයන් වහන්සේ වදාළ ධර්ම විනයට පැමිණ, ශ්‍රද්ධාව ඇති
කරගෙන, සීලය ඇති කරගෙන, ශ්‍රැතවත් බව ඇති කරගෙන, ත්‍යාග ගුණය ඇති කරගෙන, ප්‍රඥාව
ඇති කරගෙන, කය බිඳී මිය ගිය පසු සුගතිය නම් දෙව්ලොව උපන්නා. තව්තිසා දෙවියන් අතර
උපන්නා. ඔහු ඒ දෙව්ලොව දී අනිත් සියලු දෙවියන් අභිබවා, රූපයෙනුත්, කීර්තියෙනුත්
බබළනවා.”
භාග්‍යවතුන් වහන්සේ මේ කරුණු දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.
“ඇස් පෙනෙන කෙනා අනතුර හඳුනාගෙන විසම මාර්ගය බැහැර කර දානවා වාගේ, බුද්ධිමත් කෙනා
ඇඟේ පතේ වීරිය තිබෙන කාලයේ මේ ලෝකයේ තියෙන පව් බැහැර කරන්න ඕන.”
- නයනා නිල්මිණී |