දෙලොව සතුට සදන
ත්‍රිවිධ පින්කම්
මණ්ඩාවල, පුංචිමණ්ඩාවල,
මල්ලිකාරාමයේ,
ධර්මාචාර්ය
කුඩාවේ
ගුණරතන හිමි
ඉධ නන්දති පෙච්ච නන්දති - කත පුඤ්ඤෝ උභයත්ථ නන්දතී
පුඤ්ඤං මේ කතං ති නන්දති- භිය්‍යෝ නන්දති සුග්ගතිං ගතො
පින්කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙයි. පරලොවත් සතුටු වෙයි. සුගතියට පත්ව බොහෝ සේ
සතුටු වෙයි.
සැවැත් නුවර අනේපිඬු මහ සිටුතුමා විසින් පනස් හතර කෙළක් (පනස් හතර කෝටියක්) ධනය
වියදම් කර දෙව්රම් මහා විහාරය ශාසනයට පූජා කරන ලදී.සිටුතුමා සිය මාලිගයේ දී දිනපතාම
භික්ෂූන් වහන්සේට දන්දීම හා වත් පිළිවෙත් මනාව සිදු කරයි.
සැවැත්නුවර පුරවරයේ ද විවිධ ස්ථානවලදී දානමාන පින්කම් සාර්ථකව සිදු කළේ ය. සිය
මාලිගයේ ද භික්ෂුන් වහන්සේට පුද සත්කාර, උවටැන් හා දන් පූජා කිරීමට මහා සුභද්‍ර,
චුල්ල සුභද්‍ර, සුමනාදේවි යන දූ කුමරියන්ට පවරන ලදී.
එම දාන මාන පින්කම් ශ්‍රද්ධාවෙන්, ප්‍රඥාවෙන් සිදු කිරීම තුළින් හා දහම් ශ්‍රවණය
කිරීම නිසා වැඩිමහල් කුමාරිකාවෝ දෙදෙනා උතුම් සෝවාන් භූමියට පත්වූහ. පසුව සුමනා
දේවිය උත්තරීතර සකදාගාමී මාර්ගයට පත්ව තුසිත දෙව්ලොව ප්‍රතිසන්ධිය (උප්පත්තිය) ලැබූ
බව අසා සිටුතුමා ඉමහත් සතුට ට පත්විය. පින් කරන අය ඉමහත් සේ සතුට ට පත්වන අතර උතුම්
සැප සම්පත් ලබන බව සම්බුදුපියාණන් වහන්සේ මනාව දේශනා කළ සේක. මිනිසත් බව ලැබූ ගිහි
පැවිදි සැම දෙනා විසින්ම සිදුකර ගැනීමට හැකියාව ඇති පින්කම් විවිධ වේ. එම පින්කම්
මෙහිදී ත්‍රිවිධ පින්කම් ලෙස නම් කිරීමට පිළිවන. එනම් දාන, සීල, භාවනා යනුවෙනි.
දානය හෙවත් පරිත්‍යාගය සුවිශාල වශයෙන් පැතිරී ගිය මහා පුණ්‍ය කර්මයකි.
ධර්ම දානය සියලු දානයන්ට වඩා දිනන්නේ ය. ධර්ම රසය සියලු රසයන්ට වඩා දිනන්නේ ය. ධම්ම
රතිය (ධර්මයේ ඇලීම) සියලු රතීන්ට වඩා දිනන්නේ ය. තෘෂ්ණාක්ෂය (තෘෂ්ණාව නැති කිරීම)
සියලු දුක්ඛයන් ම දිනන්නේ ය.
තවද පෞද්ගලික දාන තුදුසක් (14) පිළිබඳව ද දක්ෂිණ විභංග සූත්‍රයෙහි පෙන්වා දී ඇත. එම
පෞද්ගලික දාන 14 මෙසේ ය.
ලොව්තුරා බුදුන්ට දෙන දානය, පසේ බුදුන්ට දෙන දානය, රහතන් වහන්සේට දෙන දානය, අර්හත්
ඵලයට පැමිණි තැනැත්තාට දෙන දානය, අනාගාමී තැනැත්තාට දෙන දානය, අනාගාමී ඵලය හිමි
තැනැත්තාට දෙන දානය, සකදාගාමී තැනැත්තාට දෙන දානය, සකදාගාමී ඵලය හිමි තැනැත්තාට දෙන
දානය, සෝවාන් හිමි තැනැත්තාට දෙන දානය, සෝවාන් ඵලය හිමි තැනැත්තාට දෙන දානය, ධ්‍යාන
ලාභීන්ට දෙන දානය, පෘථග්ජන සිල්වතුන්ට දෙන දානය, පෘථග්ජන දුස්සීලයන්ට දෙන දානය හා
තිරිසනුන්ට දෙන දානය ලෙසිනි.
මෙම දාන 14 අතුරින් කුසල විපාක උස් පහත් ආකාරයෙන් ලැබෙන ක්‍රමය පෙන්වයි.
තිරිසන් සතුන්ට කරුණාවෙන් මෛත්‍රියෙන් හා දයාවෙන් දෙන දානය උපදින ආත්මභාව සියයක්
ආයුෂය, වර්ණය, සැපය, බලය ප්‍රඥාව ලැබෙන බව පෙන්වයි.
පෘථග්ජන දුස්සීලයාට දෙන දානය උපදින ආත්මබව දහසක දී, කුසල විපාක ලබයි.
පෘථග්ජන සිල්වතාට දෙන දානය උපදින ආත්ම ලක්ෂයක ද සැප විපාක ලබයි.
ධ්‍යාන ලාභීන්ට දෙන දානය ආත්ම කෝටි ලක්ෂයක ආයු ආදී සම්පත් ද ලබන්නේ ය.
ඉතිරි උත්තමයන් වහන්සේලා සහ ලොව්තුරා බුදුන්ට දෙන දානය දක්වා ලැබෙන කුසල විපාකය
කීමටවත් ,සිතීමටවත් අපහසු ය. අනන්තය.
මෙම පෞද්ගලික දානවලින් ලැබෙන කුසල විපාකවලටත් වඩා සාංඝික දානයේ ආනිසංස උසස් බව,
ශ්‍රේෂ්ඨ බව මෙසේ විස්තර කර පෙන්වා දිය හැකි ය.
“ආනන්දය අනාගතයේ දී භික්ෂූහු යන නාම මාත්‍රය පමණක් ඇත්තා වූ කාසාවකණ්ඨක යන දුස්සීල
ස්වභාවය ඇති ශ්‍රමණ වේශධාරීහු ඇති වන්නාහ. ඒ දුස්සීලයන් හට සංඝයා උදෙසා දන් දෙන්නේ
ය. ආනන්දය, එකල්හි සංඝගත දක්ෂිණාවේ ආනිසංස අසංඛ්‍යෙය අප්පම්‍යෙය වන බව වදාරමි.
ආනන්දය, කිසිම ආකාරයකින් සංඝගත දක්ෂිණාවට වඩා පෞද්ගලික දානය මහත්ඵල නොවන බව පවසමි.
තථාගතයන් වහන්සේ සාංඝික දානයේ අනුසස් උසස් බව වදාළ සේක.
ත්‍රිවිධ පින්කම් අතර දෙවන කරුණ සීලය වේ. ප්‍රාණඝාතාදී අකුසල වලින් වැළකීම හා
බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද ශික්ෂා පද රැකීම හෙවත් වත් පිළිවෙත් සිදු කිරීම
සීලය නම් වේ. තවත් ක්‍රමයකට විස්තර කරතොත් ප්‍රතිපත්තියකින් කායද්වාර, වාග් ද්වාර,
පවිත්‍ර කර ගැනීම රැකීම ප්‍රතිපත්ති සීලය වේ. (වත්තංන පරි පූරෙන්තො නසිලං පරිපූරතී)
වත් පිළිවෙත් නොකරන්නාට සිල් නොපිරේ. සීලය ගිහි පැවිදි සැම දෙනාගේ ම පැවැත්මේ විශේෂ
අත්තිවාරමකි. ගොඩනැගිල්ලක් දිගු කලක් පැවතීම අත්තිවාරම සවිමත් නම් පමණි. ජීවිතයක්
නිවැරැදි ආකාරයෙන් පැවතීම සීලය නමැති අත්තිවාරම තුළ වේ.
ඔබ ආරක්ෂා කරන සීලය සාර්ථකව රැක ගැනීම දෙලොව යහපතට මෙන්ම පූජ්‍යත්වයට ද පත්වේ. සීලය
සම්පූර්ණ නම් කිසි විපතක්, කරදරයක්, හිංසාවක් සිදු නොවේ. සක් දෙවියන්ගේ පවා
නමස්කාරයට සීලය භාජනය වේ.
පින්දහම් කරමින්, සීලාදී ගුණ ධර්ම රකින ගිහි උපාසක පිරිසට දෙදෙව්ලොවට අධිපති
සක්‍රදේවේන්ද්‍රයන් නමස්කාර කරන බව මාතලී දිව්‍ය පුත්‍රයාට ඉහත ගාථාවෙන් ප්‍රකාශ
කරයි. ලෝකයේ ඇති විවිධ වූ සුවඳ වර්ග යටි සුළඟට පමණක් හමන්නේ ය. එහෙත් යටි සුළඟටත්,
උඩු සුළඟටත් දස දිසාවට, අකනිටා බඹලොව හා කෙළවරක් නැති සක්වල පවා පැතිරෙන එකම සුවඳ
සිල් සුවඳ බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ.
ත්‍රිවිධ පින්කමේ මීළඟ මාතෘකාව භාවනාව වේ. දාන, සීල පින්කම් වලින් ලැබෙන අනුසස්වලට
වෙනස්ව, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර සම්පත් භාවනාවෙන් ලැබිය හැකි ය. පව් දුරු
කිරීමේ මාර්ගයට පිවිසිය හැකි ය.
සත්තිස් බෝධි පාක්ෂික ධර්මයන් වැඩීම භාවනාව ය. බෝධිපාක්ෂික ධර්ම නම් සතර
සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධානය, සතර සෘද්ධිපාද, පඤ්චේන්ද්‍රිය, පඤ්ච බලය, සප්ත
බොජ්ඣංගය හා ආර්ය අෂ්ටාංගික මාර්ගය යන අංග වේ.
භාවනාව නිවන අරමුණු කරන්නා වූ කුසලයකි. නිවනට පෙර කාලසීමාව තුළ ඉවසීම, කරුණාව,
දයාව, මෛත්‍රිය යන ගුණාංගයන්වලින් යහපත් මිනිසෙකු කරයි. ධ්‍යානවලට සමවැදී උසස් වූ
මානසික සුවයක් මේ බවය තුළම ලැබිය හැකි අතර, බහු භාණ්ඩික බවින් තොරව අල්පේච්චතාවය
(සරල බව) ඇතිකර ගත හැකි ය.
අනිත්‍යතාවය, දුක්ඛතාවය, අනාත්මතාවය යන තිලකුණු මෙනෙහි කිරීමෙන් (සිහිපත් කිරීමෙන්)
මිනිස් ජීවිතයක තිබෙන වෙනස්වන ස්වභාවය, අස්ථිරතාවය සාර්ථකව ප්‍රඥාවෙන් අවබෝධකර
ගැනීමට පිළිවන. සිය නිවසේ දී, විහාරස්ථානයේ දී දූ දරුවන් සමඟ විවිධ පින්කම් සිදු
කිරීමත් කළ යුතු ය . නිවස තුළ බුදු කුටියක් නිර්මාණය කර බුද්ධ වන්දනාවෙන් පසු සුළු
වෙලාවක්වත් චංචලව විසිරෙන මනස සුවපත් කර ගැනීමට පුරුදු භාවනාමය කුසලය වැඩිය යුතු ය.
එසේම මව්පියන්ට දරු සම්පත තරම් වටිනා මාණිඛ්‍යයක්, සම්පතක්, ධනයක් ලොවේ නැත. දරු
සම්පත දුරාචාරයේ නොයවා, සාරධර්ම, ගුණධර්ම තුළ බෝසත් පින්බර දරුවන් හෙළබිම බිහිවන්නට
ඉරුදින දහම් පාසල මහත් ඖෂධයකි. දහම් පාසල් කාලසීමාව තුළ උපකාරක (ටියුෂන්) පන්ති
සිදු කිරීම විශාල විනාශයකි. විශ්වවිද්‍යාලයෙන් ලබාදෙන විවිධ උපාධි මෙහි නොමැති අතර
සමාජයේ ඕනෑම තැනක යහපත්ව නිවැරැදි ලෙස ජීවත්වීමේ වටිනා උපාධිය පිරිනැමේ.
පවුලේ අම්මා, තාත්තා යන දෙපළගේ අඬ දබර, බැනුම්, කතා නොකර සිටීම් , බීමත්කම් නිසා
මුළු ගෙදරම අපායක් වනු ඇත. දරුවන්ගේ අධ්‍යාපනය අඩපණ වී යයි. ඉගෙනීම අතරමග නවතී.
මත්වතුර, මත්ද්‍රව්‍යවලට ගොදුරුවෙයි. එයින් ද නැවතීමක් නොවී ජීවිත හානි, ලේ
වැගිරීම් සිදු කර ගනී. දික්කසාද වීම් වලින් පොලීසි, උසාවි මගට යොමුවී පවුල් ඒකකය
දෙදරා යයි. විනාශ වෙයි. මෙම දුක්ඛදායක, තත්ත්වය මනාව අවබෝධ කරගෙන සිය නිවස සීලාචාර,
ධාර්මික නිවසක් වනවිට ගම ද, පළාත ද, මව්බිම ද සුචරිතවත් සාධු සමාජයක් වනු ඇත. දෙලොව
යහපත, දියුණුව, සතුට මෙන් ම ජීවිතයට නොනිමෙන ආලෝකයක්, ඇතිකර ගන්නට ත්‍රිවිධ පින්කම්
දිනපතාම සිදු කරමු. |