බොරු කියන්නාට
කළනොහැකි පවක් නැත
මහනුවර හන්තාන
සිරි ධම්මරතන
ත්‍රිපිටක ධර්මායතනාධිපති
රාජකීය පණ්ඩිත
පූලියද්දේ
සුධම්ම හිමි
පින්වත් දරුවනේ, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙන්නේ බොහොම
කලාතුරකින්. ඒ වගේම මිනිස් ජීවිතයක් ලබන්නට හැකි වන්නේත් කලාතුරකින්.
කලෙකිනි බුදු කෙනෙකුන් උපදින්නේ දුකෙකිනි මිනිසත් බව ලැබ ගන්නේ
යනුවෙන් ලෝවැඩ සඟරාවේ සඳහන් වී තිබෙනවා නේද? බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වී
වැසී තිබෙන, ආවරණය වී තිබෙන, නැති වී තිබෙන ඇත්ත, එසේත් නැතිනම් සත්‍ය, නුවණැති
බොහෝ ජනයා ගේ හිත සුව පිණිස ලෝකයට දේශනා කොට වදාළා. ඒ කියන්නේ, බොරුකාර ජීවන
රටාවෙන්, පව්කාර ජීවිතයෙන් අප බේරාගත්තා.
දරුවනේ, අප සිදුකරන බොහෝ කටයුතු ඇත්ත නොවෙයි. බොරු, බොරු දෙය ඇත්ත ලෙස සිතාගෙන
සිටිනවා. ඒ. ඇත්ත නො දන්නා නිසයි. බොරුවෙන් මිදෙන්නට පුළුවන් වෙන්නේ ඇත්ත දැන
ගැනීමෙන් පමණයි.
‘අසාරේ සාර මතිනො
සාරෙ චාසාර දස්සිනෝ’ යනුවෙන් ධම්ම පදයේ සඳහන් වෙනවා. ඇත්ත නො දන්නා දරුවන්, ඇත්ත නො
දන්නා මිනිසුන් ලෝකයේ නිසරු දේ, සරු ලෙසයි දකින්නේ. ඒ කියන්නේ අයහපත් දේ යහපත් ලෙස
දකිනවා.
සරු දේ නිසරු ලෙසයි දකින්නේ. ඒ කියන්නේ යහපත් දේ අයහපත් ලෙස දකිනවා. අපේ සමහර
දරුවන් හරිම අකීකරුයි කියලා වැඩිහිටියන් දොස් කියනවා නේද? සමහරවිට අකීකරුයි කියන
දරුවනුත් මේ ලිපිය කියවනවා ඇති. අකීකරුයි කියන්නේ කියන දෙය අහන්නේ නැති, එපා කියන
දේ කරන, තමන් කරන දේ හරි කියලා හිතාගෙන සිටින නිසයි. ඒත් දරුවනේ තමන් සිතන දේ ම,
තමන් කරන දේ ම නිවැරැදියි කියලා සිතාගෙන සිටින අය කවදා හෝ එය වැරැදියි කියලා තේරුම්
ගත් විටෙක වැරැදි නිවැරැදි කර ගන්නවා. කියන දේ අහනවා.එහෙම නම් අකීකරු වෙනවා කියන්නේ
බොරුවක්. ඇත්ත දැනගත් විට කීකරු වන නිසා. එහෙමනම් මේ ලෝකයේ ඉන්නේ අකීකරු දරුවන්
නොවෙයි.ඇත්ත දන්නේ නැති දරුවන්.
දරුවනේ, අපේ අම්මට, තාත්තට, ගුරුවරුන්ට අපට නො පෙනෙන ඇත්ත පෙනෙනවා. අපට නො පෙනෙන දේ
ඒ උත්තමයන් පෙන්වා දෙනවා. සමහර අයනම් එයට අකැමැතියි. ඇතැම් විට ඒ අය ගැන වෛරී
සිතිවිලිත් උපදවා ගන්නවා. වධකාරයන් ලෙස සලකනවා. පෙනෙනවා නේද දරුවනේ, යම් දෙයක්
හරියට නොදන්නාකමේ විපාක ය.
ඒ නිසා අද අපි හරි දේ ඉගෙන ගමු. හොඳයි බොරු කියන ළමයි අත ඉහළට ඔසවන්න බලන්න. මට
පෙනෙන්නේ නෑ තමයි. ඒත් සමහර ළමයි හොඳින් අත ඔසවනවා. ඒ බොරු නොකියන නිසා. දරුවනේ,
බොරුකීම, මහත් විපාක ලැබෙන අකුසලයක්. බොරු කියන කෙනාගේ අරමුණ තමයි තවත් කෙනෙක්,
පිරිසක් රැවටීම. හොඳින් මතක තබා ගන්න. විහිළුවට බොරු කීවත්, වංචනික අදහසින් බොරු
කීවත් එයින් සිදුවන්නේ තමන් කියන දෙය අනෙක් අයට ඇත්තක් වගේ ඒත්තු ගැන්වීම යි. එතැන
තමයි බොරුව තිබෙන්නේ. එය අසා රැවටුණාම (රැවටීමේ ප්‍රමාණය විවිධ විය හැකියි)
අකුසලයක් සිදු වෙනවා. සමහර දරුවන් විහිළුවට බොරු කියලා ලොකු සතුටක් විඳිනවා.
ආස්වාදයක් ලබනවා. එය මහා පරිමාණයේ සොරකමක් කළා වගේ දෙයක්. ඒ දෙක අතර ලොකු වෙනසක්
නෑ. තවත් ලෙසකින් කියනවා නම් බොරුව කියන්නේ අනිත් අය මුලාවේ දැමීමක්. බොරු කියන
කෙනෙක් ඒ බව හෙළිවනතුරු ලෝකයට පෙනෙන්නේ සත්‍යවාදියෙක් වගේ.
කාට නො පෙණුනත් තමන් කළේ බොරුවක් බව තමන්ගේ සිත දන්නවා. බොරු කියන අය සමාජයේ
අපකීර්තියට පත් වෙනවා. අපහාසයට ලක් වෙනවා. අවිශ්වාසයට ලක් වෙනවා. අන් අය රැවටීමට
ගියොත් කවදාහරි රැවටෙන්නේ තමන් ම බවත් මතක තබා ගන්නට ඕනෑ.
දරුවනේ, අදබොරුව හරියට පිළිලයක් වගේ. සෑම තැනම පැතිරිලා. වෙළෙඳපොළට ගියත් සමහර
මුදලාලිලා බොරු කියනවා. බස් රථයට ගොඩ වුණාම ඉතිරි මුදල් නොදී සමහර කොන්දොස්තර මාමලා
බොරු කරනවා. සමහර පාසල් දරුවෝ ගුරුවරු බොරුවෙන් රවටනවා. සමහර නායකයන් තම රට වැසියන්
රවටනවා. සමහර දරුවන් මව්පියන් රවටනවා. මේ විදියට බැලුවාම කවුද නො රැවටෙන්නේ. බොරුව
අපට බොහොම සමීපවෙලා.
බොරුවෙන් බේරෙන්නට නම් කරන්නට ඕනෑ මොනවාද? බුද්ධිය මෙහෙයවීමයි. තමන් නො දන්නා,
තමන්ට නො තේරෙන දේ ගැන හොඳින් විමසා බලා තීරණ ගන්නට ඕනෑ. නුවණ යොදවා වැඩ කළොත් තමයි
කෙනෙක් රැවටීමට ලක් නොවන්නේ.
නිවසේ සමගිය, පාසලේ සතුට සමාදානය රැක ගන්න, ඒ ඔස්සේ රටේ සාමය රැක ගන්න, මේ මුළු
ලෝකයට දැනට අත්‍යවශ්‍ය වී තිබෙන සාමය ඇති කරගන්න සෑම දෙනෙක්ම බොරු නො කියා ඉන්නට
අධිෂ්ඨානයක් ඇති කර ගන්නට ඕනෑ.
දරුවනේ එක් කලෙක ඍද්ධි බලයෙන් බලසම්පන්න රජ කෙනෙක් එක් අවස්ථාවක පුංචි බොරුවක්
කියලා, අහසින් යන විට බිමට ඇද වැටුණා. හරියට තටු කැඩුණු කුරුල්ලෙක් වැටුණා වගේ.
එය ලෝවැඩ සඟරාවේ මෙසේ සඳහන් වෙනවා.
ලැදිව රජෙක් බොරු බස් කී විගසක යා
නැතිව රිද්දි බලයක් ඒ මිනිස් කයා
පොළොව පළාගෙන ගොස් වැටුණි නරක යා
මෙලොව සතුනි, ඉන් බොරු කීම නරක යා
දුටුවා නේද දරුවනේ, බොරු කීම, ඍද්ධි බලය පවා නැතිවෙන හේතුවක් බව.
දරුවනේ, බොරු කියන කෙනාට ඕනෑම අපරාධයක් කරන්න පුළුවන්.පරාභව සූත්‍රයේ දී බුදුරජාණන්
වහන්සේ දේශනා කළේ අප පිරිහෙන ප්‍රධාන කාරණාවක් වන්නේ බොරුවෙන්, වංචාවෙන් රැවටීම
බවයි.
යො මාතරං වා පිතරං වා
ජිණ්ණකං ගත යොබ්බනං
පහු සන්තො න හර ති
තං පරාභවතො මුඛං
හොඳින් මතක තබා ගන්න. අප හොඳින් ඉගෙනගෙන , යමක් කමක් කළ හැකි කාලයේ දී තරුණ වියට
පත්වුණාම, අම්මා, තාත්තා අසරණ වුණාම, කාත් කවුරුවත් නැතිවෙන විට තිබුණු සියලු දේ
දරුවන් වෙනුවෙන් වියදම් කර තිබෙන විට, දරුවන්ගෙන් පිහිට සොයා ගෙන එනවිට ඒ මව්පියන්
බොරුවෙන්, වංචාවෙන් රවටා නො සලකා හරිනවා නම්, ඒ දරුවන් කවදාවත් දියුණු නො වන බව
බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ විතරක් නොවෙයි. යමක් ඉල්ලාගෙන එන යාචකයන්. අසරණයන්
තමන්ට හැකියාව තිබියදී බොරුවෙන් රවටනවා නම්, පිණ්ඩපාතයේ වඩින ස්වාමීන් වහන්සේලාට
දන් දීමේ හැකියාවක් තිබියදීත්, ‘අනේ හාමුදුරුවනේ කිසිවක් නැතැ’යි බොරුවෙන් රවටනවා
නම් ඒ පුද්ගලයාට කියන්නේ
‘තං ජඤ්ඤා වසලො ඉති’ වසලයෙක් කියලයි.
එහෙමනම් මොන තරම් ධනය, බලය ඉගෙනීම තිබුණත්, බොරුවෙන්, වංචාවෙන් නම් කටයුතු කරන්නේ,
ඒ හැමෝටම කියන්නට වන්නේ ‘වසලයා’ කියලයි.
දරුවනේ, කෙනෙක් උසස් වන්නේත්, පහත් වන්නේත්, පරම්පරාව නිසා නොවෙයි. ජාතිය නිසාත්
නොවෙයි. කරන කියන වැඩ කටයුතු වලිනුයි. මේ බෝසත් දරුවන්ගෙන් අප බලාපොරොත්තු වන්නේ
බොරු නොකරන, වංචා නොකරන, අනුන් නොරවටන, අසාධාරණකම් නොකරන, වටිනා දරු පරපුරක්. ඒ
නිසා මේ ගුණ ධර්ම හොඳින් ඇති කරගන්න. බොරු නො කරන්න, බොරු නො කියන්න, අවංකව කටයුතු
කරන්න දරුවෝ මේ ලිපිය කියවා හොඳින් සිතට ගන්න.
රමණී සුබසිංහ |