Print this Article


ලක්දිව පැවති ඇදහිලි හා පුදසිරිත්

ලක්දිව පැවති ඇදහිලි හා පුදසිරිත්

බුද්ධකාලීන භාරතය තුළ මිථ්‍යා දෘෂ්ටික ආගම් සැට දෙකක් තිබූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. මෙකී ආගම් අතර බ්‍රාහ්මණාගම, ජෛනාගම, ආජීවක පරිබ්‍රාජක හා අචේලක යන ආගමික කොටස් දඹදිවින් පිටස්තර දේශවල ද ශීඝ්‍ර ලෙස පැතිර ගිය බවට ඉතිහාසය සාක්ෂි දරයි.ඒ අනුව මහින්දාගමනයට පෙර ලක්දිව පැවතියේ ද දඹදිව පැවැති එකී ආගමික ඇදහිලි හා පුදසිරිත් බව විශ්වාස කළ හැකි ය.

ලක්දිව දඹදිවට ඉතා සමීපව පිහිටි රටක් වීම එරට පැවැති ඇදහිලි හා පුදසිරිත් මෙරට පැතිරීයාමට මූලික වශයෙන් බලපා ඇත. එසේම දඹදිවින් පැමිණි ජන කොට්ඨාසයකින් ලක්දිව ජනාවාසවීමත්, ආසන්න පිහිටීමත් හේතුවෙන් දෙරට අතර සිදු වූ වෙළෙඳ ඤාතිමිත්‍ර හා තානාපති වශයෙන් විවිධාකාර වූ සබඳතා රැසක් ඇතිවීම ද ඊට තවත් හේතුවකි. මෙම සබඳතා ලක්දිව ජාතික, ආගමික හා සාමාජික යන අංශයන් කෙරෙහි බෙහෙවින් බලපා ඇති බව පෙනේ. මහින්දාගමනයට පෙර ලක්දිව පැවතියේ ද සමකාලීන දඹදිව ව්‍යාප්තව පැවති ආගමික ඇදහිලි හා පුදසිරිත් යැයි, පැවසිය හැක්කේ එබැවිනි.

බුදුරදුන් ජීවමාන සමයෙහි ම ලක්දිව පිහිටුවා වදාළ බුදුදහම ශතවර්ෂ කිහිපයක් ඇවෑමෙන් මෙරටින් අතුරුදහන්වීමට මූලික වශයෙන් බලපෑ හේතුසාධක කවරේදැයි නිශ්චිත වශයෙන් ම ප්‍රකාශ කිරීම අපහසු ය. එසේ වුව ද බෞද්ධ පිළිවෙත යටපත් කරගෙන අනෙක් ඇදහිලි හා පුදසිරිත් ඉදිරියට පැමිණීමත්, රජ, මැති ඇමැති යනාදී ප්‍රභූන්ගේ අනුග්‍රහය බුදුදහම කෙරෙහි නොලැබීමත්, බුදුදහම මගින් අනුමත කළ ජීවනරටාව අනාදිමත් කාලයක පටන් ලක්වැසි ජනතාව හුරුපුරුදු වූ ජීවන රටාවට අනුගත නොවීමත් යනාදී කරුණු ලක්දිවින් බුදුදහම තුරන් වී යාමට හේතු සාධක වූ බව අනුමාන ලෙස පෙන්වාදිය හැකි ය.