Print this Article


පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප 31: අනුරාධපුරයේ රන්මසු උයන

අනුරාධපුරයේ රන්මසු උයන

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

" අනුරාධපුරයේ සිය දහස් ගණනක් ගොඩනැගිලි අතරින් රන්මසු උයනේ ගොඩනැගිලිවලට වැදගත් තැනක් ලැබෙන්නේ ඒ යුගගේ ගිහි ගොඩනැගිලි යැයි හඳුනා ගැනීමට ඇති එකම සාධක මෙහි තිබීම නිසා ය. මාලිගයක් වශයෙන් නොවූව ද, ගිහියන්ගේ සුඛ විහරණය පිණිස ඉදි වූ මේවා අතීතයේ ගිහි සමාජය පිළිබඳ වැදගත් පණිවිඩයක් ලොවට කියාදෙයි."

පුරාණ ජම්බුද්වීපයේ පවා උද්‍යාන නිර්මාණය වූ බවට සාක්‍ෂි හමුවී ඇත. බුද්ධ කාලයේ දී ජේතවනාරාමය, වේළුවනාරාමය ආදී නම්වලින් හඳුන්වන ලද එම ස්ථාන උද්‍යාන ලෙසින් භාවිතයට ගෙන තිබේ. සිදුහත් කුමරු උපන් නේපාලයේ ලුම්බිනි උයන ද එවන් වූ උද්‍යානයක් ලෙසින් පැවතුණි. ලුම්බිනි උයන කපිලවස්තු සහ දෙව්දහ වාසීන්ගේ විනෝද උයනක් ලෙසින් බුද්ධ කාලයට පෙරසිටම පැවැති බව සඳහන් වේ. කුරවි කෝකිල නාදයෙන් ද යුක්ත වූ මේ ලුම්බිනි උයනේ විවිධ මල්වර්ග (සල් ගස්වලට අමතරව) විවිධ මීමැසි වර්ග සිටි බව ද සඳහන් ය. එම ලුම්බිනි වනෝද්‍යානය දෙව්ලොව ඉන්ද්‍රදෙවියාගේ චිත්‍රලතා උයනට සමකර ඇත.

(සිදුහත් කුමරු උපන් ලුම්බිනියේ මායාදේවි විහාරය - සිරිසමන් විජේතුංග පි. 55 - 2014)

වෘක්ෂලතාවන්ගෙන් සහ අලංකාර ගොඩනැගිලි නිර්මාණවලින් ක්‍රමවත් ලෙස පරිසරය සකස් කිරීම උද්‍යානවල දැකිය හැකි ය. අපේ රටේ ද පුරාණ උද්‍යාන පිළිබඳ බොහෝ තොරතුරු මහාවංසයේ සඳහන් වී ඇත. මුටසීව රජතුමා මල්වලින් හා විවිධ පලතුරුවලින් යුක්ත මහාමේඝ වනෝද්‍යානය නිර්මාණය කළ බව එහි සඳහන් වේ. දේවානම්පියතිස්ස රාජ යුගයේ දී මිහිඳු මහරහතන් වහන්සේ වරප්‍රමුඛ භික්ෂූන් වහන්සේලාට පූජා කළේ එම උද්‍යානය ම ය. අනුරාධපුරයේ නන්දන උයන ද පැවැති බව වංසකතාවේ සඳහන් වන කරුණකි. අනුරාධපුර රාජධානි සමයේ මෙන්ම, පොළොන්නරු රාජධානි සමයේ ද උයන් පැවැති බවට පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් හෙළිවේ.

අනුරාධපුරයේ රන්මසු උයන

සීගිරියේ ද ක්‍රි.ව. පස්වන සියවසේ දී ඉතා අලංකාර උද්‍යාන පැවැති බව ඉතා ප්‍රකට ය. මෙම සීගිරිය හැරුණුකොට මඟුල් උයන් අතුරින් අනුරාධපුරයේ රන්මසු උයන ඉතා ප්‍රකට ය.

පුරාණ ශ්‍රී ලංකාවේ නගර නිර්මාණයේ නියත අංගයක් ලෙස උද්‍යාන සැලකිය හැකි ය. ඒ අනුව ක්‍රිස්තු වර්ෂයට පෙර රාජකීය උද්‍යාන අතර නන්දන වනයට අමතරව ජෝතිවන උයන ද එවැන්නකි. මෙම උයන් මහා විහාර භූමියේ සීමාවන් තුළ පිහිටා තිබිණි. ඒ අනුව මහාවිහාර ප්‍රදේශයේ දකුණු පසින් මෙම උද්‍යානය පිහිටියේ ය. ක්‍රි.ව. 10 වැනි සියවසට අයත් සිව්වැනි මිහිඳු රජුගේ වෙස්සගිරි සෙල් ලිපියේ ‘රන්මසු උයන’ ලෙස මෙම උද්‍යානය හඳුන්වා ඇත. එහි අර්ථය වන්නේ ස්වර්ණ මත්ස්‍යයන් සිටින උද්‍යානය යන්නයි. මෙකල අක්කර 40 පමණ භූමි ප්‍රමාණයක පිහිටි මෙම උයන පැරැණි ලංකාවේ උද්‍යාන ශිල්පය සඳහා විශිෂ්ට නිදසුනකි. එකල වනයෙන් වැසී තිබුණු මෙම උයන 1901 දී එවක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරා විද්‍යා කොමසාරිස් ලෙසින් සේවය කළ එච්.සී.පී. බෙල් මහතා විසින් සොයා ගන්නා ලදී. මෙම උයනෙහි විශේෂ ලක්ෂණ පුරාණ සාහිත්‍ය කෘතිවල විස්තර කර ඇති ඉන්දියානු උද්‍යානයන්හි ලක්ෂණ හා සැසඳිය හැකි ය. පැරැණි ඉන්දියාවේ රාජකීය උද්‍යාන ලක්ෂණ කීපයකින් යුක්ත විය. මානෙල් මල් වගාව සහ ස්නානය කිරීමට පොකුණු විය. කෘත්‍රිම කඳු, ගුහා, මල් පාත්ති, ලතා මණ්ඩප, චිත්‍ර ශාලා හා විශ්‍රාම ශාලා ආදිය ද විය. බිසෝවරුන් උදෙසා වෙනම තැනූ උද්‍යාන ද තිබිණි. ඒවා ප්‍රමදවන ලෙසින් හඳුන්වනු ලැබී ය. දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමරුන්ට අසෝකමාලා හමු වූයේ මේ උයනේ දී යැයි ජනප්‍රවාදයක් පවතී. ඊට පෙර රන්මසු උයන ක්‍රි.පූ. තුන්වන සියවසේ දී ගොඩනගන ලද බව ද, එය දේවානම්පියතිස්ස රජු මහාසංඝරත්නයට පූජා කරන ලද්දක් විය යුතු යැයි ද පැවසේ.

(පුරාණ අනුරාධපුරය මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න පි. 203 - 204 - 1995)

රන්මසු උයනේ පිහිටීම

අනුරාධපුරයේ තිසා වැවේ නැගෙනහිර වැව් බැම්මේ පිහිටි රන්මසු උයන රත්රන් මසුන් සිටි නිසා ඒ නම ලැබුණු බව සිතිය හැකි ය. එහි දක්නට ලැබෙන නිර්මාණ ලක්ෂණ අනුව මෙය රාජකීය මගුල් උයන බවට සැක නැත. විශේෂයෙන් මෙහි වැදගත්කම වන්නේ ජල තාක්ෂණ රටාව සහ ගොඩනැගිලි ඉදිකිරීමේ වාස්තු විද්‍යාත්මක තත්ත්වයයි. පොකුණු, මණ්ඩප, විනෝද ශාලා හා පිහිනුම් තටාක ආදියෙන් යුක්ත මේ උද්‍යානය අලංකාර තුරුලතාවන්ගෙන් ද නො අඩුව තිබෙන්නට ඇත.

මෙහි දක්නට ලැබෙන වාස්තු විද්‍යාත්මක නිර්මාණ අනුරාධපුරයේ අනෙක් ආගමික ගොඩනැගිලිවලට වඩා වෙනස් බව එච්.සී.පී. බෙල් මහතා සඳහන් කර ඇත. (පුරාවිද්‍යා පාලන වාර්තාව Ascar 1901 - p 5 - 9)

මෙම ප්‍රදේශය වූ කලී පුරාණ මඟුල් උයන බව ශිලාලේඛන අනුසාරයෙන් ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා පෙන්වා දෙයි. සිව්වැනි මිහිඳු රජුගේ වෙස්සගිරි සෙල්ලිපිය ආශ්‍රයෙන් තොරතුරු රැසක්ම හෙළි කරන පරණවිතාන මහතා රන්මසු උයන යනු මඟුල් උයනේ අපර නාමයක් බව ද සඳහන් කරයි. රන්මසු උයනෙහි පිහිටි ගල්පර දෙකක් යාබදව නිමවා ඇති පොකුණු දෙක සිංහල වාස්තු විද්‍යාඥයන්ගේ කුසලතාවයට දෙස් දෙයි. මෙයින් පළමු ගල්පරය මත කනින ලද වටකුරු ආවාටයක් වෙයි. මෙය ජලය රැස්කර තැබීමට කළ එකක් බව පැහැදිලි ය. ආවාටය වටා කණු සිටුවීමට කළ සිදුරු ඇති හෙයින් මෙම කුඩා පොකුණ ආවරණය කළ ගෘහයක තිබුණු බව පෙනේ. එමෙන්ම මෙම පොකුණට නැගීම සඳහා කපන ලද පියගැට පෙළක් ද විය. මේ සියල්ල ගැන අවධානය යොමු කළ පරණවිතාන මහතා ඉහත සඳහන් පරිදි මෙම ස්ථානය රන්මසු උයන නමින් ද හැඳින්වුණු හෙයින් මෙම ජලාශ රන්මසුන් ඇති කළ පොකුණු විය හැකි බව අදහස් කරයි.

(සෙනරත් පරණවිතාන නූතන ශාස්ත්‍රඥයෙකුගේ ශාස්ත්‍රීය පර්යේෂණ පිළිබඳ විචාරාත්මක විග්‍රහයක්, රණවීර ගුණවර්ධන සහ ජනදාස ලියනරත්න සංස්කෘත මහාචාර්ය ලීලානන්ද ප්‍රේමතිලක ලියූ ලිපිය. පි. 112 - 113 - 1972 සංස්කෘති ප්‍රකාශන

ද්‍රව්‍යමය වශයෙන් නටබුන් පිළිබඳ ගවේෂණයක යෙදෙන්නේ නම්, රන්මසු උයන පිළිබඳ මීට වඩා තොරතුරු අනාවරණය කරගත හැකි ය.

අනුරාධපුරයේ සිය දහස් ගණනක් ගොඩනැගිලි අතරින් රන්මසු උයනේ ගොඩනැගිලිවලට වැදගත් තැනක් ලැබෙන්නේ ඒ යුගගේ ගිහි ගොඩනැගිලි යැයි හඳුනා ගැනීමට ඇති එකම සාධක මෙහි තිබීම නිසා ය. මාලිගයක් වශයෙන් නොවූව ද, ගිහියන්ගේ සුඛ විහරණය පිණිස ඉදි වූ මේවා අතීතයේ ගිහි සමාජය පිළිබඳ වැදගත් පණිවිඩයක් ලොවට කියාදෙයි.

(පුරාණ ලක්දිව රජ මාලිගා මහාචාර්ය මාලිංග අමරසිංහ පි. 161 - 2009 )