Print this Article


ගිහි ගෙදරට දහම් වැටක්: සිදු නොකළ යුතු දුසිරිත්

සිදු නොකළ යුතු දුසිරිත්

දිනක බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි ආනන්ද හිමියෝ බුදුහිමියන් වැඳ එකත්පස්ව වැඩහුන්හ. ආනන්ද, පුද්ගලයකු විසින් ඒකාන්තයෙන් ම නොකළ යුතු කිසිවක් පිළිබඳව අසා තිබේද? යැයි බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ගෙන් විමසූ සේක. බුදුරජාණන් වහන්ස, එබඳු දහමක් පිළිබඳව මා අසා නැත. බුදුහිමියනි, එබඳු දහමක් තිබේ නම්, දේශනා කරනු මැනවි යි ආනන්ද හිමියෝ ඉල්ලා සිටියහ.

ආනන්ද, ඒකාන්තයෙන්ම පුද්ගලයා විසින් වැළකිය යුතු දුශ්චරිත තුනක් වෙයි. එනම්, කාය දුශ්චරිතය, වාග් දුශ්චරිතය සහ මනසේ දුශ්චරිතය යන්නයි. එනිසා ඒවායින් වැළකිය යුතු ය. බුදුරජාණන් වහන්සේ එම දුශ්චරිතයන්ගෙන් වැළකී පුද්ගලයා කටයුතු කළ යුතු බවට දේශනා කර තිබුණ ද, ඇතැමුන් එයම පුරුදු පුහුණු කරයි. නොකළ යුතු දුශ්චරිතයන් සිදුකරන පුද්ගලයන් විසින් තමන්ට විඳින්නට සිදුවන ආදීනවයන් ද බලාපොරොත්තු විය යුතු ය. එනම් අයහපත් ක්‍රියාවල යෙදෙන පුද්ගලයා විසින් බලාපොරොත්තු විය යුතු ආදීනව පහකි.

1. තමාගේ නරක ක්‍රියා නිසා තමන් විසින් තමාටම දොස් පවරා ගන්නා බව,

2. තමාගේ නරක ක්‍රියා දැක නුවණැත්තන් ගර්හා කරන බව,

3. නරක ක්‍රියාව කරන්නාගේ අපකීර්තිය විශාලව පැතිරෙන බව,

4. නරක ක්‍රියා කරන්නාගේ මරණය සිහිමුළාවෙන් යුතුව සිදුවන බව

5. ඔහු මරණින් පසු නරකයට පැමිණෙන බව.

6. පුද්ගලයා විසින් නොකළ යුතු යැයි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළා වූ එම කාරණා සිදුකරන පුද්ගලයා විසින් තමා රුචි වුව ද, නැත ද එහි ආදීනව වශයෙන් විපාක විඳීමට සිදු වේ.

ආනන්ද, කාය සුචරිතය, වාග් සුචරිතය, මනෝ සුචරිතය පුද්ගලයා විසින් ඒකාන්තයෙන් ම වැඩිය යුතු යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. තථාගතයන් වහන්ස, එසේ කළ යුතු දෙය කරන කල්හි කෙබඳු ආනිශංස බලාපොරොත්තු විය යුතු ද? අර්ථවත් ක්‍රියාවල නිරතවන පුද්ගලයා විසින් ආනිශංස පහක් බලාපොරොත්තු විය යුතු ය.

එනම්,

1. තමාගේ යහපත් ක්‍රියා නිසා තමාත් තමාට දොස් පවරා නොගන්නා බව,

2.තමාගේ යහපත් ක්‍රියා දැක නුවණැත්තෝ ප්‍රශංසා කරන බව,

3. යහපත් වැඩ කරන නිසා කීර්තිය විශාලව පැතිරෙන බව,

4. යහපත් ක්‍රියා කරන්නාගේ මරණය සැපවත් බව

5. මරණින් පසු සුගතියට පැමිණෙන බව ය.

බුදුදහම පුද්ගලයාට වඩා පුද්ගල ක්‍රියාවට වැඩි අවධානය යොමු කරන බැවින් පුද්ගලයා විසින් කළ යුතු සහ නොකළ යුතු ක්‍රියා මෙහි දී හඳුන්වා ඇත. පුද්ගල ක්‍රියාව විසින් යහපත, අයහපත තීරණය වන බැවින් ක්‍රියාවට මූලික ස්ථානය හිමි වේ. පුද්ගල ක්‍රියාව බාහිර සමාජය විෂයයෙහි කෙබඳු බලපෑමක් කරන්නේ ද යන වග ය. එම ක්‍රියාව සමාජ අහිතකර පිණිස නොපවතී නම්, එහි වරදක් දකින්නේ නැත.එසේ වුව ද, මිනිසාගේ සහජ ස්වභාවය අයහපතට ම නැඹුරු වීම ය. පුද්ගලයා සමාජය සමඟ බද්ධ වන්නේ සිත, කය, වචනය යන තුන්දොර හසුරුවන ආකාරය අනුව ය. එම තුන්දොරම හෝ දොරටු එකක් හෝ දෙකක් වත් ක්‍රියාත්මක නොවන කල්හි මිනිසා සමාජය සමඟ සම්බන්ධ නොවේ. තුන්දොරම හෝ ඉන් කිහිපයක් ක්‍රියාවට නැංවීමේ දී ඒවා සමාජයට හිතකර වන ආකාරයට හැසිරවිය යුතු අතර, අන්‍යයාට අහිතකර ආකාරයට දොරටු හැරවීම නොකළ යුතු බව බුදුදහම අවධාරණය කරයි. සාමාන්‍ය මිනිස් ස්වභාවය තමාට යහපත ප්‍රාර්ථනා කරමින් අන්‍යයාට අයහපත කිරීම ය.

කය, වචනය යන දොරටුවලින් දුසිරිත් කරන කල්හි තමාට මෙන්ම අන්‍යයාට බලපෑම් එල්ලවන අතර මනසින් දුශ්චරිතයේ යෙදෙන විට එය දන්නේ තමන් පමණි. අභිධ්‍යාව, ව්‍යාපාදය, මිථ්‍යා දෘෂ්ටිය යන අකුසල මනසිත් සිදුවන බැවින් එය විටෙක මතුවෙමින්, විටෙක සැඟවෙමින්, විටෙක නිලීනව යයි. පුද්ගල මනසට එම කාරණා අයහපත් ලෙස බලපෑව ද, එහි සිදුවන අයහපත පිළිගැනීමට මිනිසා කැමැති නැත. එම මානසික ව්‍යාධියට ගිහි පැවිදි හෝ උගත් නූගත් හෝ උස් පහත් හෝ භේදයක් නැත.

අන්‍යයන් විනාශ කිරීමේ චේතනාව ව්‍යාපාදය වන අතර එම චේතනාව සිතෙහි යට සඟවා අවස්ථාව ලැබෙනතුරු ළෙන්ගතුව, මිතුරුව කටයුතු කරන්නෝ සමාජයේ එමට ය .

ඔවුන්ගේ මානසික ස්වභාවය හඳුනාගැනීමට නොහැකි වන නිසා ඔවුන් හඳුනාගැනීමට බොහෝ කාලයක් ගත වෙයි.

ඉතා මිතුරුව ඉඳිමින්, මිතුරු බව අඟවමින්, සතුරු ලෙස කටයුතු කරන්නෝ කොතරම් ද? මිතුරුව සිටිමින් අන්‍යයන් ලවා අතවර කරවන මිතුරන් කොපමණ ද? ඔබට ඔබගේ ජීවිතයේ යම් සැලසුම් සහගත කරදරයක් සිදුවී ඇත්නම්, අනිවාර්යෙන්ම ඔබගේ මිත්‍රයකු සම්බන්ධ ය. වැරැදි දැකීම හෙවත් මිථ්‍යා දෘෂ්ටිය පුද්ගලයා අනර්ථය පිණිස ගෙනයන මානසික ස්වභාවයකි. යම් ගැටලුවක් සහ කේන්තියක් ඇති වුණි නම්, එතන ඇත්තේ මිථ්‍යා දෘෂ්ටිය යි. එය පහ වූ සැණින් කේන්තිය ද ගැටලුව පිළිතුරු බවට ද පත් වේ.