Print this Article


ජීවිතය හඳුනාගෙන ජීවත්වීම

ජීවිතය හඳුනාගෙන ජීවත්වීම

සත්වයා යනු රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්ඛන්ධයන්ගේ එකතුවකි. සම්මුති වශයෙන් එහි එකතුව තුළ සත්වයෙක් ගත හැකි වුව ද, පරමාර්ථ වශයෙන් වෙන් වෙන් වශයෙන් හෝ සකස්කරගත් ශරීර කූඩුවකින් යුතු සත්වයා වැඩිම වර්ෂ සියයක් ජීවත් වනු ඇත. ඊට එහා කලාතුරකින් වර්ෂ 120 සිට 160 දක්වා ජීවත් වූවෝ ද සිටිති. අතීතය තුළ එය දුලභව හෝ දැකිය හැකි විය.

බුදුදහම තුළ අවුරුදු සියය, දශක වශයෙන් වෙන් කොට පුද්ගලයාගේ ඒ ඒ අවධිවල පරිණාම අවස්ථා හා මනෝභාවයන් පිළිබඳ දේශනා කොට ඇත. විසුද්ධි මාර්ගය තුළ ඒ පිළිබඳ පැහැදිලි විවරණයක් කොට ඇත. එනම්,

මන්දා ඛිඩ්ඩාච වණ්ණාච - බලා පඤ්ඤාච හායනා

පබ්හාරා පවංකාච - මෝමූහ සයනාදස

මන්ද දශකය - අවුරුදු 01 සිට 10 දක්වා බොළඳ දරුවෙකු ලෙස ක්‍රියා කරයි.

ඛිඩ්ඩා දශකය - අවුරුදු 11 සිට 20 දක්වා ක්‍රීඩාවට නැඹුරු වෙයි.

වණ්ණ දශකය - අවුරුදු 21 සිට 30 දක්වා කායික වර්ණය පිළිබඳ සැලකිලිමත් වෙයි.

බල දශකය - අවුරුදු 31 සිට 40 දක්වා ශාරීරික වශයෙන් ශක්තිමත් වෙයි.

පඤ්ඤා දශකය - අවුරුදු 41 සිට 50 දක්වා සෑම දෙයක් පිළිබඳවම ප්‍රඥාවෙන් ක්‍රියා කරයි.

හායන දශකය - අවුරුදු 51 සිට 60 දක්වා කායික පරිහාණිය ආරම්භ වෙයි.

පබ්භාර දශකය - අවුරුදු 61 සිට 70 දක්වා කය ඉදිරියට නැමෙයි.

පවංක දශකය - අවුරුදු 71 සිට 80 දක්වා කය වක් වෙයි.

මෝමූහ දශකය - අවුරුදු 81 සිට 90 දක්වා සිහි කල්පනාව අඩුවෙයි.

සයන දශකය - අවුරුදු 91 සිට 100 දක්වා වැඩි කාලයක් සයනයෙහි ගත කරයි.

මෙම වර්ගීකරණයන්ට අනුව මිනිසෙකුගේ කායික පරිහාණිය ඇති වන්නේ අවුරුදු 50 න් පසුව ය. අවුරුදු 40 සිට 50 දක්වා අතර කාලය තුළ ඇත්තේ ප්‍රඥා දශකය යි. එය විමසා බලා කටයුතු කරන කාලය යි. මුල්ම දශකය මන්ද දශකය යි. එය ළමා විය සඳහා වෙන් වෙයි. මන්ද දශකයත්, බල දශකයත් අතර කාලය එනම් ඛිඩ්ඩා, වණ්ණා හා බල යන දශක තුන අතර වූ වර්ෂ තිහක පමණ කාලය තරුණ විය ලෙස සැලකිය හැකි ය. ඊට උදාහරණ වශයෙන් සිදුහත් කුමරු ගිහිගෙය අතහැර ගිය කාලය එනම් අවුරුදු 29 දී හා බුද්ධත්වයට පත් වූ කාලය එනම් අවුරුදු 35 දී මේ කාල දෙකම හඳුන්වා ඇත්තේ භද්‍ර යෞවන විය ලෙස ය.

“සො ඛො අහං භික්ඛවෙ අපරෙන සමයෙන දහරොච සමානො සුසුකාළ කෙසො භද්‍රෙන යොබ්බනෙන සමන්නාගතො පඨමෙන වයසා අකාමකානං මාතාපිතුනං අස්සුමුඛානං රුදන්තානං කේසමස්සුං ඔහාරෙත්වා කාසායාන වත්ථාන අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිං”

මහණෙනි ඒ මම, පසු කලෙක තරුණ වියේ පසු වූයේ, කාලවර්ණ කෙස් කළඹින් යුක්ත වූයේ, භද්‍ර යෞවන වියෙහි පළමු වයසෙහි යුක්ත වූයේ දෙමාපියන්ගේ අකැමැත්ත පිට, දෙනෙතින් කඳුළු වගුරුවමින් හඬන කල කෙස්, රැවුල් බා කසාවත් හැඳ ගිහිගෙයින් නික්ම පැවිදි වුණෙමි.

මේ ආදී වශයෙන් අවුරුදු 100කට පරමායුෂ සත්ත්වයාට ඇතත් වර්තමානය තුළ මිනිසෙක් වැඩිම වශයෙන් අවුරුදු හැටක්, හැත්තෑවක් වැනි කාලයක් ජීවත් වනු ඇත. වර්ෂ සියය හෝ ඊට ආසන්න කාලයක් ජීවත් වන්නෝ ඇත්තේ ඉතා සීමිත සංඛ්‍යාවකි. මේ අනුව අපට ඇති කෙටි කාලය තුළ ජීවිතයේ බොහෝ දේ කිරීමට සිදු වී ඇත. සම්මුති වශයෙන් ගොඩනගාගත් ලෝකය ඉදිකිරීම සත්ත්වයා උපතේ පටන් විපත දක්වා සිදු කරනු ඇත. අවසානයේ දී ඒ ඉදිකළ සිහින මාලිගා සියල්ලම අත්හැර හුදකලා ගමනකට අවතීර්ණ වනු ඇත. ප්‍රත්‍ය ශතකය තුළ සඳහන් ශ්ලෝකයක් තුළ සත්වයා පිළිබඳ ධර්මාවවාදයක් සනිටුහන් කොට ඇත.

මනුෂ්‍යයනට පරමායුෂ සියයෙක් වන්නේ ය. එයින් භාගයෙක් රාත්‍රියෙහි ගෙවී යන්නේ ය. එයිනුදු දෙභාගයෙක් බාල, මහලු, වයස් වන්නේ ය. අවශේෂ භාගය ද රෝග, පීඩා, වියෝ දුක් (අන්‍ය) මරණ (රාජ) සේවාදියෙන් ගෙවී යන්නේ ය. එසේ හෙයින් චංචල වූ රළ පතරක් මෙන් වසන සත්ත්වයනට සැපතෙක් කොයින් ද?

මේ අනුව ජීවිතයත් මරණයත් අතර කාලය ඉතා වැදගත් වන බව පැහැදිලි වේ. ජීවත් වීමට අපට ඇත්තේ පුංචි කාලයකි. එම කාලය තුළ අපේ ජීවිතයෙන් විය යුතු සියලු කටයුතු කළ යුතුව ඇත. විශේෂයෙන් මෙලොව ජීවිතය ගැන සේ ම, පරලොව ජීවිතය ගැන ද සිතිය යුතු ය. වර්තමානය තුළ ජීවත් වන්නන් වර්ෂ සියයක් සුජීවත්ව නොසිටියද, වර්ෂ හැටක් හැත්තෑවක් හෝ සිටිනු ඇත. ඒ ගෙවන ජීවිත කාලය කළමණාකරණය කොටගෙන, කාලය අපතේ නොයවා ජීවිතය ජය ගත යුතු ය. එහි දී ලෞකික පැත්ත පමණක් නොව අධ්‍යාත්මික ගුණ වගාව පිළිබඳව ද සිතිය යුතු ය.එහි දී ආත්මාර්ථයට එහා ගිය පරාර්ථකාමීත්වය ද වර්ධනය කර ගනිමින් මෙලොව පමණක් නොසිතා පරලොව ගැන ද සිතීම ප්‍රඥා ගෝචර ක්‍රියාවකි.

යථාපි පුප්ඵරාසිම්හා
කයිරා මාලාගුණේ බහු
ඒවං ජාතේන මච්චේන
කත්තබ්බං කුසලං බහුං

දක්ෂ මල්දම් ගොතන්නෙකු මල් සමූහයකින් බොහෝ මල්දම් ගොතන්නා සේ, උපන් මනුෂ්‍යා විසින් බොහෝ කුසල් කළ යුතු ය.

ඒ අනුව දුර්ලභව ලද වටිනා ජීවිතය අකාලයේ විනාශ නොකරගෙන එහි වටිනාකම දැන හඳුනාගෙන ගෙවන කෙටි ජීවිත කාලය තුළ තම යුතුකම් ඉටු කරමින්, ගුණ ධර්ම වර්ධනය කරමින්, පින් දහම් සිදු කරමින් සුවඳවත් මලක් සේ, අරටුවක් ඇති ගසක් සේ ජීවත් වන්නට උත්සාහවත් වීම වැදගත් වනු ඇත.