Print this Article


ධර්මය හා ස්වභාවධර්මය හමුවේ පරාජිත වන්නේ ඇයි?

ධර්මය හා ස්වභාවධර්මය හමුවේ පරාජිත වන්නේ ඇයි?

මේ ලෝකයේ ජීවත් වන පුද්ගලයා තම පැවැත්ම පිණිස විවිධ දේ ක්‍රියාත්මක කරනවා. තමන්ගේ පැවැත්ම පිණිස සිදු කරන දේ ධර්මයට අනුකූලව ,ධර්මයට එකඟ ව කරනවාද නැද්ද යන කාරණාව තම තමන් ම නුවණින් විමසා බැලිය යුතු කාරණාවක්. මිනිසා ධර්මයත්, ධර්මයේ ස්වභාවය වූ ස්වභාව ධර්මයත් නිසි ලෙසින් තෝරා ගෙන ඇද්ද? තේරුම්ගෙන කටයුතු කරනවා ද? යන කාරණාව ගැන අප සැවොම දැනුම්වත් විය යුතු වෙනවා.

මව හා ස්වභාව ධර්මය

ස්වභාවධර්මය නම් වූ මව හමුවේ අප සැවොම දරුවන් ලෙස සලකන්න පුළුවන්. එසේ් නැත්නම් සේවකයෙක් ලෙස සලකන්න පුළුවන්. මෙම ස්වභාවය මනා ලෙස තේරුම් ගෙන, ධර්මයට එකඟ ව ජීවත්වීමයි වැදගත් වන්නේ.ධර්මයට එකඟව , ස්වභාව ධර්මයට අනුකූල ව, එය මනා ලෙස තේරුම් ගෙන කටයුතු කිරීම ධම්මචාරී ව හැසිරෙනවා යනුවෙන්ද හැඳින්විය හැකියි. හේතු – ඵල දහම ජීවි අජීවි සෑම ධර්මයක් හමුවේ ම ක්‍රියාත්මක වන එකක්. විශ්ව ධර්මයේ රටාව හේතුඵල දහම තුළින් මනා ලෙස විස්තර කරදීමට බුදුපියාණන් වහන්සේ සමත් වී තිබෙනවා. ඒ හේතුඵල දහම තේරුම් ගැනීම තුළින් විශ්ව ධර්මතාව ද, සමස්ත බුද්ධ ධර්මය ද තේරුම් ගත හැකිව තිබෙනවා.

ස්වභාව ධර්මය තුළ සිදුවන කිසිදු ක්‍රියාකාරකමක් නිශ්ප්‍රයෝජනවත් ලෙසින් සිදුවන්නේ නැහැ. ඒ තුළ කිසියම් ක්‍රියාකාරකමක් සිදුව ඇත්නම් එය ද සිදුවන්නේ කිසියම් ධර්මතාවක් පදනම්කර ගෙනම යි. ඒ ධර්මතාව තේරුම් ගන්නා තැනැත්තාට තථාගත ධර්මය ද මනා ලෙස වටහා ගත හැකි වෙනවා. ධර්මයට සහ ස්වභාව ධර්මයට එරෙහි වන මිනිසාට කවර අයුරකින් හෝ එයට අදාළ දඬුවම ලැබෙනවාම යි. මිනිසා තාක්ෂණයේ දියුණුව පදනම් කරගෙන ස්වභාව ධර්මය ඉක්මවා යන්නට උත්සාහ කළත්, එය ඉක්මවා යන්නට තරම් මිනිසා සමත් වී නැහැ. මිනිසා තාක්ෂණික වශයෙන් තමන් දියුණු වී ඇති බවට කෙ තරම් උදම් ඇනුවත් ස්වභාව ධර්මය ඉදිරියේ තවමත් පරාජිතයෙකි. විවිධ කාලගුණික හා දේශගුණික විපර්යාසයන් නිසා ඇතිවන හිම වැටීම්, වැස්ස , සුළි සුළඟ වැනි දේ් ගැන විවිධ තාක්ෂණික මෙවලම් තුළින් කල් ඇති ව දැන ගන්නට හැකියාවක් ඇතත්, ඒවා නවතා දැමීමට තරම් තාක්ෂණයක් මිනිසා විසින් තවමත් සොයා ගෙන නැත්තේ ස්වභාව ධර්මය හමුවේ මිනිසා තවමත් පරාජිතයෙකු බව ඔප්පු කරමිනුයි. මේ ස්වාභාවික විපත් ඉදිරියේ දී අපට කළ හැක්කේ ඒවා කල් ඇති ව හඳුනා ගැනීම හා ඒවාට සාර්ථක ව මුහුණදීමට අවශ්‍ය ක්‍රමෝපායයන් සකස් කර ගැනීම පමණ යි.

මිනිසා පරාජිතයෙකු වීම

ධර්මය හා ස්වභාව ධර්මය හමුවේ මිනිසා පරාජිතයෙකු බවට පත්වන්නට ප්‍රධාන හේතුව වන්නේ මිනිසා තුළ යහපත් ප්‍රතිපදාවක් ක්‍රියාත්මක නො වන නිසා ය. බුදුදහමට අනුව මිනිසා විසින් අනුගමනය කළ යුතු මනා ප්‍රතිපදාවක් තිබෙනවා. ඒ අපණ්ණක ප්‍රතිපදාව යි. අපණ්ණක ප්‍රතිපදාව අනුගමනය කරන තැනැත්තා නිති පන්සිල්, පෝය අටසිල් රකිිමින්, තමාට හෝ අනුන්ට කිසිදු ආකාරයක හානියක් සිදු නො කර ජීවත් වෙනවා. එබඳු පිරිස් ස්වභාව ධර්මයෙන් ම ආරක්ෂා කරනවා. යමෙක් සිල්වත්නම්, පින්වත් නම් ඒ තැනැත්තා දෙවියන්ගේ ආරක්ෂාව යැදිය යුතු නොවේ. දෙවියන් ඒ අය ළඟට ම ඇවිත් ආරක්ෂාව සලසා රැක ගන්නවා. ආශිර්වාද ලබා දෙනවා. සක් දෙවිඳුන්ගේ පවා නමස්කාරය හිමි කර ගැනීමට එවන් අය සමත් වෙනවා. සිල්වන්තයාට මෙලොව අභිවෘද්ධියත්, පරලොව සුගතියත්, සංසාරික විමුක්තියත් පහසුවෙන් ම උදා කර ගත හැකි වෙනවා. ඒ නිසා ධර්මානුකූල ජීවිතයේ සීල ප්‍රතිපදාව දිවි හිමියෙන් පුරුදු පුහුණු කිරීමට අප උත්සාහවත් විය යුතු වෙනවා.

තරගකාරි වූ වාණිජකරණයට හසු වූ ජීවන රටාවකට අනුගතව කටයුතු කරන මිනිසාට කළ යුතුදේ කුමක් ද? නො කළ යුතු දේ කුමක්දැයි සිතන්නටවත් වෙලාවක් නැති තරම්. ඒ නිසා ම මිනිසාගේ සදාචාරය සෝදා පාළුවකට ලක් වී තිබෙනවා. සාමාන්‍යයෙන් මිනිසුන් තමන්ගේ පැවැත්ම පිණිස විවිධ දේ අනුභව කළත් සදාචාර පරිහානියට පත් වූ පිරිස පවතින්නට උත්සාහ කරන්නේ පොරකෑම සහ කුලල්කෑම නම් වූ කැලෑ ගති ප්‍රකට කර ගනිමිනු යි. මිනිසා කෙසේ හෝ ජීවත් වන්නට උත්සාහ කරනවා විනා තම ජීවිතය ගැන ආපස්සට හැරී සතුටු විය හැකි ආකාරයකින් ජීවත් වන්නට උනන්දු වන්නේ නැහැ.

සසර සැරිසරන අප සැමට විවිධ ජීවන ගැටලු තිබෙනවා. ජීවන ගැටලු කිසිවක් නැති කිසිවෙකුත් ලොව ඇත්තේ නැහැ. ධර්මතාවය නම් ඒ ඒ පුද්ගලයන්ගේ ලොකු කුඩා කර්ම ස්වභාව අනුව විවිධ ප්‍රශ්න සහ ගැටලුවලට මුහුණ දෙන්නට වීම යි. අප මේ දුක් සහිත සංසාරයේ සැරිසරන පුරාවට ම විවිධ දුක් වේදනා, ප්‍රශ්න, අර්බුදවලට මුහුණ දෙන්නට සිදුවෙනවා.

කර්ම ස්වභාවයේ බලපෑම

ඒ ඒ පුද්ගලයාගේ කර්ම ශක්තීන් අනුව විවිධ මුහුණුවරින් ඒවා ජීවන ගැටලු ලෙසින් ක්‍රියාත්මක වෙනවා. මේ තත්ත්වය මනා ලෙස තේරුම් ගෙන ඒ ගැටලු නිරාකරණය කර ගැනීමට උත්සාහ කළයුතු වෙනවා. බොහෝ දෙනා ඇති වී ඇති ප්‍රශ්නය ගැන කතා කරනවා විනා ප්‍රශ්නය ඇතිවීමට හේතුව සොයා සාකච්ඡා කරන්නේ නැහැ. බොහෝ මිනිසුන් සිදුකරන්නේ ප්‍රශ්නයක් ඇති වූ විට එයින් උද්ගත වූ ඵලයට පිළියම් යෙදීම පමණ යි.

ඵලයට යොදන පිළියම් තාවකාලිකයි. එය ප්‍රඥාගෝචර නොවේ. කළයුත්ත වන්නේ හේතුව සොයා හේතුවට පිළියම් යෙදීම යි. එවිට එවන් ප්‍රශ්න නැවත හටගන්නේ නැහැ. විමර්ශනය නො කොට කරනු ලබන පූර්ව නිගමනවලින් අනවශ්‍ය අර්බුද ඇතිවිය හැකියි. එබැවින් ගැටලු නිරාකරණයේ දී අනවශ්‍ය ඉක්මන්වීම ද අවශ්‍ය නැහැ. ඉවසීමෙන් කටයුතු කළයුතු වෙනවා. ගැටලු නිරාකරණයේ දී එක් අංශයක් පමණක් බැලීම සුදුසු වන්නේ නැහැ. ප්‍රශ්නයකට ඇත්තේ එක උත්තරයක් වුවත් ගැටලුවකට විවිධ විසඳුම් තිබිය හැකියි. ඒනිසා ගැටලුවක් නිරාකරණය කිරීමේදී ගැටලුවට මුහුණ දුන් පුද්ගලයාගේ මානසිකත්වය, සමාජ වටපිටාව, අධ්‍යාපනය, ආගමික පසුබිම ආදි මේ සියල්ල පිළිබඳ ව අවධානය යොමු කළ යුතු වෙනවා. එසේ නො මැති ව කටයුතු කරන්නට යාම තුළ එක ප්‍රශ්නයක් විසඳන්නට යාමෙන් තවත් ප්‍රශ්නයක් උද්ගතවීමට ඇති හැකියාව වැඩියි. ධර්මතාවය එයයි. එබැවින් කිසිවිටෙකත් එකාංග දස්සී ව (එක් පැත්තක් පමණක් බලා) තීරණ ගන්න එපා.