Print this Article


අසමසම ගුණ මහිම:  දානය සහ පි‍්‍රයවදන

දානය සහ පි‍්‍රයවදන

“පෙය්‍යවජ්ජෙනාති එකච්චො හි අයං දාතබ්බං නාම දෙති” ලක්ඛණ සූත්‍රයේ අට්ඨ කතාවේ සඳහන් වන පරිදි බෝසතාණන් වහන්සේ ප්‍රිය වචනයෙන් කෙසේ සංග්‍රහ කර ඇත්තේ දැයි සඳහන් කර ඇත. සමහර අයෙක් දන් දීමට බොහෝ කැමැතියි. නමුත් යමක්, යමෙකුට දන් දී ඒ දන් ලැබූ පුද්ගලයාගේ සිත රිදෙන ආකාරයෙන් වචනයක් ද පවසනවා.

ඒ මේ වගෙයි, යමක් පරිත්‍යාග කර හෝ උදව්වක් කර ඒ දේ පිළිබඳව තවත් කෙනෙක් සමඟ පවසනවා මා මේ ආකාරයේ උදව් උපකාර කළා යැයි කියා. එවිට දන් ලැබූ පුද්ගලයාගේ සිත රිදෙනවා. මෙතන දී බෝධිසත්වයන් වහන්නේ පවසන්නේ සිත රිදෙන වචනයක් අසා, යමක් ලැබුණාට ලබන පුද්ගලයාට සිතිවිල්ලක් පහළ වෙනවා, “එකෙන පන වචනෙන සබ්බං මක්ඛෙත්වා නාසෙති” දන් දෙන්නට දන්නවා නමුත් කතා කරන්න දන්නෙ නැතැයි යනුවෙන්. එනම් ඒ පුද්ගලයා අප්‍රසාදයට පත්වෙනවා. “කිං එතස්ස දාන’න්ති” ඔහුගේ දානය මොකට ද?

එලෙස ම කාටවත් යමක් පරිත්‍යාග කරන්නෙ නැහැ. නමුත් පරිත්‍යාග ලබන පුද්ගලයාට යහපත් වචනයෙන් කරුණාවෙන් කතා කරනවා. අට්ඨ කතාවේ මෙය සඳහන් වන්නේ “කථෙන්තො පන තෙලෙන විය මක්ඛෙති, එනම් තෙල් ගාලා සම්භාහනය කරනවා වාගෙයි, යනුවෙනුයි. යමක් පරිත්‍යාග කර සිත රිදවනවාට වඩා යමක් පරිත්‍යාග නොකර, ප්‍රිය වචනයෙන් කතා කිරීම “වචනමෙව තස්ස සහස්සං අග්ඝතී’ති වත්තා හොති” මොනවා දුන්නත්, නැතත් වචනය දහසක් වටිනා බව සඳහන් කර ඇත.

මේ ආකාරයට අගහිඟකම් ඇති පුද්ගලයා දානය බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ම අගහිඟකම් නැති පුද්ගලයා බලාපොරොත්තු වන්නේ ප්‍රියවචනයයි. “එවරූපො පුග්ගලො දානං නං පච්චාසීසති පියවචනමෙව පච්චාසීසති” මෙවැනි පුද්ගලයා දානය බලාපොරොත්තුවන්නේ ප්‍රිය වචනය ම බලාපොරොත්තු වෙනවා. එවැනි පුද්ගලයන් හඳුනාගෙන ප්‍රියවචනය ම කතා කරන්න ඕනේ. බෝධිසත්වයන් වහන්සේ සසරේ එවැනි පුද්ගලයන් හඳුනාගෙන ප්‍රියවචනය ම කතා කර ඇත.

දියුණුව වර්ධනය කරන කතා අර්ථචරියාව තුන්වන කරුණ හැටියට හඳුන්වා දිය හැකි ය. තවත් සමහර යමෙක් දානය හෝ ප්‍රිය වචනය නොව තමන්ගේ දියුණුව ඇති කරන කතා බලාපොරොත්තුවෙනවා. තමන්ගේ කෙලෙස් යටපත් කරගන්න, තමන්ගේ ශ්‍රද්ධාව දියුණුකර ගන්න වැනි දේ බලාපොරොත්තු වෙනවා. ඒවගේ ම එය ලෞකික දියුණුව වෙන්නත් පුළුවනි. ලෝකෝත්තර දියුණුවක් වෙන්නත් පුළුවනි. එවැනි දියුණුවක් බලාපොරොත්තු වන පුද්ගලයාට දියුණුව සැලසීම සඳහා ඒ ඒ ආකාරයට දියුණුව සැලසීමට අවශ්‍ය කරුණු බෝධිසත්වයන් වහන්සේ විසින් සසරේ දී සිදුකොට ඇත. එවැනි පුද්ගලයන් ඇසුරු කරන්න අවශ්‍යයයි, ඒ ඇසුර තුළින් ඔවුන්ගේ තිබෙන අඩුපාඩුකම් පෙන්නාදීම තුළින් ද පුද්ගල දියුණුව සලසාදීමත් අර්ථචරියාව ලෙස හඳුන්වා දී තිබෙනවා.

“සමානසුඛදුක්ඛභාවෙන” සමාන සැප දුක් සහිත බව හතරවන කරුණ හැටියට හඳුන්වා දිය හැකිය. ‘එකච්චො හි දානාදීසු එකම්පි න පච්චාසීසති” සමහර කෙනෙක් දානය, ප්‍රියවචනය හෝ අර්ථචරියාව බලාපොරොත්තුවෙන්නේ නැහැ. “එකාසනෙ නිසජ්ජං” එක් ආසනයක හිඳගැනීම, “එකපල්ලංකෙ සයනං” එකම ඇඳක නිදාගැනීම, “එකතො භොජනන්ති” එකට ආහාර අනුභව කිරීම. මෙලෙසින් “එවං සමානසුඛදුක්ඛතං පච්චාසීසති” සමාන සැප දුක් ඇති බව සමහර අය බලාපොරොත්තු වෙනවා.

අට්ඨ කතාවේ මෙම කරුණ පිළිබඳව මෙසේ විස්තර වේ. “තත්ථ ජාතියා හීනො භොගෙන අධිකො දුස්සංගහො හොති” පහත් කුලයක ඉපදුණු අයෙක් දැන් ලොකු පොහොසතෙක් නම්, සංග්‍රහහ කරන්න අමාරුයි. මොක ද ඒ අය උප්පත්තියෙන් ම පහත් යැයි පවසන විට ඔහුගේ ඉරියව් පැවැත් ම නිසි ලෙස සැකසිලා නැහැ. මෙහි දී විස්තර වන්නේ කුලය, ජාතිය නරකයි කියන එක නොවෙයි. මොකද තම තමන් ලබන උප්පත්තිය, ජාතිය ආකාරයටයි ආචාර ගෝචර සම්පන්න බව ලැබෙන්නේ. එවිට ඒ පුද්ගලයෙක් තමන් කුඩා කාලයේ හික්මවා තියෙන ආකාරය, කතා කරන ආකාරය වෙනෙස් වෙනවා. සිටගෙන ඉන්න ආකාරය වෙනස් වෙනවා. ඇවිදින ආකාරය වෙනස් වෙනවා. ආහාර පාන ගන්නා ආකාරය වෙනස් වෙනවා. ඒ චර්යා රටාව වෙනස් වෙනවා. යම් කාලයක දී පොහොසත් එනම් ධනවතෙක් වූ නමුත් උප්පත්තියෙන් ඒ තරම් උසස් ගති පැවතුම් නැති පුද්ගලයෙකුට සංග්‍රහ කිරීම අපහසුයි. එවැනි පුද්ගලයෙක් සමඟ සමානාත්මතාවය ගොඩනඟාගැනීමට, ක්‍රියා කිරීමට අපහසුයි. බෝධි්සත්වයන් වහන්සේ සසරේ මෙවැනි පුද්ගලයන් සමඟ ගනුදෙනු කිරීමේ දී අවබෝධ වූ කරුණු නිසා මෙවැනි පුද්ගලයන් මඟ හැරීමයි සිදු කළ යුත්තේ යැයි උන්වහන්සේ මේ ආකාරයෙන් කරුණු පැහැදිලි කර දේශනා කළා.