සමචිත්තපරියාය සූත්‍රය:
ශාන්ත වූ සිත
නිවනට හේතු වෙයි
මල්වතු මහාවිහාරීය කාරක සංඝ සභික
අනුරාධපුර ශ්‍රි ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ
ප්‍රායෝගික බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
දර්ශනපති
වැලිවිට සෝරත හිමි
බුදුරජාණන් වහන්සේ විශාඛා මහ උපාසිකාව විසින් කරවන ලද පූර්වාරාමයෙහි වැඩවසන සමයේ දී
සැරියුත් මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර දේශනාවක් ලෙස සමචිත්තපරියාය
සූත්‍රය දැක්වේ. යම් කිසි සුභාෂිත වචනයක් යම් ශ්‍රාවකයෙක් හෝ වෙනයම් කෙනෙක් විසින්
දේශනා කරන ලද්දේ නම්, එය බුද්ධ භාෂිතයක් සේ සැලකිය යුතු බව කියවෙයි.
ඒ අනුව මෙම දේශනාව ද, බුද්ධ දේශනාවක් සේ සැලකිය යුතු වේ. මෙම දේශනාව තුළ පුද්ගලයන්
දෙදෙනෙකු පිළිබඳව කරුණු අන්තර්ගත වේ. එනම්, අජ්ඣත්කසංයෝජන හෙවත් ඇතුළට බැඳුණු
පුද්ගලයා හා බහිද්ධ සංයෝජන හෙවත් පිටතට බැඳුණු පුද්ගලයා ය.
මෙම පුද්ගලයන් දෙදෙනාගෙන් ඇතුළට බැඳුණු පුද්ගලයා යනු කාම භවයට ඡන්ද රාගයෙන් බැදුණු
පුද්ගලයාය. කාම භව යනු අප ජීවත්වන මනුෂ්‍ය ලෝකයත්, චාතුම්මහාරාජිකය, තාවතිංසය,
යාමය, තුසිතය, නිම්මානරතිය, පරනිම්මිතවසවත්තිය , දිව්‍ය ලෝක හය, නරක, තිරිසන්
පේ‍්‍රත හා අසුර වශයෙන් හඳුන්වන සතර අපායත් ය. මේවා කාමාවචර භූමි යනුවෙන් ද
හඳුන්වයි. ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංඤ්චකාම වස්තූන් කෙරෙහි ආශාවන් උපදවාගෙන
කෙළෙස් ධර්මයන් වර්ධනය කරගෙන වාසය කරන යම් කෙනෙක් වේ නම්. ඔහු ඇතුළතින් බැඳුණු
පුද්ගලයෙක් වේ. රාග, ද්වේශ, මෝහ තණ්හා මාන දිට්ඨි දස සංයෝජන ආදි වශයෙන් කෙලෙස්
එක්දහස් පන්සියයක් පිළිබඳ තොරතුරු රේරුකානේ චන්දවිමල හිමියන් විසින් රචිත ධර්ම
ග්‍රන්ථය තුළ සඳහන් වෙයි.
බාහිරව බැඳුණු පුද්ගලයින් වන්නේ රූප ලෝක හා අරූප ලෝක පිළිබඳව බැඳුණු පුද්ගලයන්ය. අප
විසින් තුන් ලෝකය යනුවෙන් ව්‍යවහාර කෙරෙන කාමාවචර, රූපාවචර , අරූපාවචර යන ස්ථාන
පිළිබඳව ආශාවක් උපදවාගෙන ජීවත්වීම මෙම පුද්ගල වර්ග කොට්ඨාශ දෙක විසින් සිදුකරනු
ලැබේ. ඒ අනුව මෙම පුද්ගලයන් හඳුනාගන්නා ආකාරය ද සැරියුත් මහ රහතන් වහන්සේ විසින්
පෙන්වා දී තිබේ. බුද්ධ දේශනාවට අනුව ශ්‍රාවක පිරිස් භික්ෂු, භික්ෂූණී ,උපාසක,
උපාසිකා වශයෙන් සතරාකාර ය. ඒ ඒ පුද්ගල ක්‍රියාකාරිත්වය අනුව වඩන සීලය ද වෙනස් වේ.
භික්ෂු භික්ෂුණීන් ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුක්තයි. එනම්, යම් නීති රීති
සමුදායකට යටත්ව තම ක්‍රියාවන් සිදු කරයි. උපාසික ,උපාසිකාවන් නිති පංචසීලය, අට්ඨමක
සිලය දස සීලය යන සීලයන්ගෙන් සමන්විත වෙයි. ඇවතුම් පැවතුම් වලත් මෙම සියලු දෙනාම
යුක්ත වෙයි. ඉතාම කුඩා හෝ වරදක් දුටහොත් ඒ තුළ පවා බිය දක්නා සුළු වෙයි. ඇතැමෙක්
සුළු වැරැදි ගණන් නොගෙන වාසය කරයි. එහෙත් එය සිදු නොවුවමනා ය. මක් නිසාද යත් මහ
වැරැදිවලට හේතු වන්නේ මේ සුළු වැරැදීන් ය. “වජ්ජං ච වජ්ජතො ඤත්වා” යනාදී ගාථාව
තුළින් කියවෙන පරිදි වරද වරදක් හැටියට දැක ඉන් අත්මිඳීමට කෙනෙක් උත්සාහ කරනවා නම්,
ඔහු ඤාණවන්තයෙකි. වරද වරදක් සේ දැක දැකත් නැවත නැවතත් එම වරදම සිදුකරන්නේ නම්, ඔහු
මෝඩයෙකි. මේ කවර ආකාරයෙන් ජීවත් වුවත් ඒ සියලු දෙනා ලොව ඇති අනිත්‍ය, දුක්ඛ, අනාත්ම
වශයෙන් දක්වන ලෝකයේ යථා ස්වභාවය වන ත්‍රිලක්ෂණයට මුහුණ දිය යුතු ය. සිල්වත් වූ,
ගුණවත් වු, වරද දක්නා වු කෙනෙක් වුවත්, අවසානයේ මරණයට පත්වේ. මරණින් පසු ඔහුගේ උපත
එක්තරා දේව නිකායකට අයිති වේ. දේව නිකායට ගියත් එහි ආයුෂ ගෙවීමෙන් එයින් චුත වී
නැවත එක්කෝ මේ මිනිස් ලොවට එසේ නැතිනම්, නැවතත් දිව්‍ය ලෝකයට බ්‍රහ්ම ලෝකවලට
පැමිණෙයි. මොවුන් හඳුන්වන්නේ ආගාමී හෙවත් නැවත පැමිණෙන පුද්ගලයෝ ලෙසයි. ඔවුන්
සෝවාන් හෝ සකෘදාගාමී හෝ වෙයි. සෝවාන් පුද්ගලයා නැවත ආත්ම භව හතක් උපදී. සකෘදාගාමී
පුද්ගලයා එක්වරක් නැවත මේ ලෝකයේ උපදී. ඔවුන් මෙසේ නැවත භවයන්හි උප්පත්තිය ලබන්නේ
ඡන්දරාගයෙන් බැඳී සිටින නිසා ය. අධ්‍යාත්මික වශයෙන් ඔවුන්ගේ බැඳීම් පවතී. එසේ
හෙයින් මේ තැනැත්තා අජ්ඣත්තික සංයෝජන පුද්ගලයා වෙයි
බාහිර සංයෝජන යනු කවරෙක්ද? ඔහුද මුලින් කී පරිදි ප්‍රාතිමෝක්ෂ සංවර පන්සිල්,
අටසිල්, දසසිල් ආදි සීලයන්ගෙන් ද, ඇවතුම් පැවතුම්වලින් ද වරදෙහි බිය දක්නා නුවණින්
ද වෙසෙන පුද්ගලයෙකි. එහෙත් ඔහු මේ ලොව පිළිබඳ කෙලෙස් ධර්ම පිළිබඳ ආශාවක්, ඇල්මක්
නොමැතිව ශාන්ත වූ සිතක් උපදවාගෙන කටයුතු කරයි. ශාන්ත සිතක් උපදවාගෙන කටයුතු කරන
බැවින් ඔහු නැවත මෙම ලෝකයට නොපැමිණෙන රූපාවචර, අරූපාවචර ධ්‍යාන ලෝකවල උප්පත්තිය
ලබයි. ඔවුන් අනාගාමී පුද්ගලයෝ ය. අනාගාමී යනු නැවත නොපැමිණෙන යන අදහසයි. එනම්,
දිව්‍යලෝක හෝ මනුෂ්‍ය ලෝකවල නැවත පැමිණීමක් නැත.
සැරියුත් හිමියන් මෙම දෙදෙනාගේ වෙනස හැටියට දක්වා ඇත්තේ මෙසේ ය. මේ පුද්ගල දෙදෙනාම
එකම ආකාරයෙන් සීලය, ඇවතුම් පැවතුම් ආදිය පූරණය කළත් ඔවුන්ගෙන් අප්ඣත්තික පුද්ගලයා
සක්කායදිට්ඨි , විචිකිච්ඡා ,සීලබ්බතපරාමාස, කාමච්ඡන්ද, ව්‍යාපාද ආදි දස සංයෝජන ධර්ම
සම්පූර්ණයෙන් ඉවත් නොකිරීමෙන් ඒවා පිළිබඳ නැවත නැවත ආශාවන් උපදවාගෙන මේ සසරට බැඳී
ඇති නිසා හා බාහිර පුද්ගලයා සිත එක අරමුණක තබාගෙන නිවන් පිණිසම කටයුතු කරමින්
සංයෝජන ධර්ම ප්‍රහීණ කිරීම සඳහා උත්සාහවත් වන නිසාය.
අප්ඣත්තික පුද්ගලයාගේ ස්වභාවය වන්නේ සියල්ල මමය. මාගේය යනුවෙන් ගැනීම ය. ගේ දොර
වතුපිටි, ඉඩකඩම් ආදිය පිළිබඳව මෙන්ම දරුමල්ලන් ආදිය පිළිබඳ නිතර නිතර මෙනෙහි කරන්නේ
තමන්ගේය යන හැඟීමෙනි. මේ දේවල් කෙරෙහි තමන්ගේය යන හැඟීම ඕනෑම කෙනෙකුට ඇති වෙයි.
එනමුත් මේ සියල්ල ආදානග්‍රාහීය අල්වා ගැනීමෙන් කාමච්ඡන්දය උපදී. කෙතරම් සීලය
වැඩුවත් සියල්ල කෙරෙහි කැමැත්ත ආශාව, ආදිය ඇතිවීම දුක් දොම්නස් උපායාස ආදි නොයෙක්
පාපී ධර්මයන් ඇතිවීමට හේතුවක් වෙයි. සෝවාන් පුද්ගලයා සක්කායදිට්ඨි, විචිකිච්ඡා
සීලබ්බතපරාමාස යන සංයෝජන ධර්ම ප්‍රහීණ කළත් කාමරාග රූපරාග ආදිය ප්‍රහීණ නොකර ඇති
බැවින් සසර ඉපදීමට හේතුවක් වෙයි.
සිත එක අරමුණක තබාගෙන නිවන පිණිස මෙහෙයවනු ලබන පුද්ගලයා කාය. වාග්, මනස් යන දොරටු
තුනෙන් ඉඳුරන් ශාන්ත කරගනී. අප විසින් සිදුකරනු ලබන සියලු ක්‍රියාවන් සිදුවන්නේද?
බොහෝ දෙනෙක් මෙම දොරටු තුනෙන් කාය වාග් දෙකින් බොහෝ සේ සංවරව කටයුතු කරයි.
එහෙත් සිතින් සංවර වීම සෑම දෙනාටම සිදුකිරීම අපහසුය. එම නිසා බුදුරජාණන් වහන්සේ
දේශනා කර ඇත්තේ සිත සංවර කරගැනීම කාය වාග් සංවරයට හේතුවන බවයි. “මනෝ පුබ්බංගමා
ධම්මා” යනාදී ගාථාවෙන් පෙන්වා දෙන පරිදි සියලු දේට පෙරටු වන්නේ, ශ්‍රේෂ්ඨ වන්නේ
මනසයි. මනස තුළින් සිතා යම් දෙයක් කියයි. එසේ නැතිනම්. කරයි ඒ කරන කියන දෙය හොඳ හා
නරක වශයෙන් සිදු වේ. හොඳ දේ යහපත් ප්‍රතිඵල ලැබීමටත් නරක දෙය අයහපත් ප්‍රතිඵල
ලැබීමටත්. හේතු වෙයි. එබැවින් සූත්‍ර දේශනාවේ සඳහන් වන පරිදි සිත සමසේ පිහිටුවාගෙන
නිවුනු සිතින් ක්‍රියා කිරීම දස සංයෝජන ධර්ම දුරලීමටත්, අනාගාමී හා අර්හත් මාර්ගඵල
ලබාගැනීමටත් හේතු වෙයි.
මෙය අසා සිටි දෙවිවරු බුදුරදුන් වෙත පැමිණ කාරණය සැලකළ අවස්ථාවේ දී බුදුරදුන් දේශනා
කළේද, සැරියුත් හිමියන් වෙත පැමිණ දේශනා කරන්නේ ද, සන්සුන් සිත් ඇති පුද්ගලයාගේ කාය
කර්මය ද, මනෝ කර්මය ද, ශාන්ත වන බවත්, ඔබ ඇතුළු සියලු දෙනා එම ශාන්ත භාවයෙන් ම
කටයුතු කළ යුතු බවත් ය. හික්මීමක් ඇති කරගෙන සිටි සැරියුත් හිමියන් ඇතුළු සියලු
දෙනා ම තවදුරටත් එසේ හික්මිය යුතු බව බුදුරදුන් දේශනා කළේ නම් සාමාන්‍ය පෘථග්ජනයන්
වන අපි විසින් එය කෙතරම් දුරකට හික්මිය යුතු ද, යන්න අප විසින් වටහා ගත යුතු වේ. ඒ
අනුව කටයුතු කිරීම සසර දුක් නිවාරණය කොට නිවන් අවබෝධය පිණිස හේතු වන බැවින් ඒ සඳහා
සියලු දෙනා උත්සාහ කළ යුතු වන්නේ ය.
- හේමමාලා රන්දුනු |