ආසිවිසෝපම සූත්‍රය:
සර්පයන් සිව් දෙනයි
වධකයන් පස්දෙනයි
පොල්පිටිමූකලානේ
පඤ්ඤාසිරි හිමි
අද මා ඔබට දේශනා කරන්නේ මීට වසර 2300 ට පමණ පෙරදී මිහිඳු මහ රහතන් වහන්සේ අපේ රටට
වැඩම කර වදාළ සූත්‍ර දේශනාවල ප්‍රධානතම සූත්‍රයක් වන සංයුක්ත නිකායේ හතරවන කොටසේ
ආසිවිසි වර්ගයේ තිබෙන උතුම් සූත්‍ර දේශනාවක්. විෂඝෝර සර්පයන් හතරදෙනෙක් උපමා කොට
වදාළ දේශනාව වන ආසිවිසෝපම සූත්‍රය.
බුදුරජාණන්වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩවාසය කරන සමයේ දී මෙම සූත්‍රය දේශනාකර
වදාළහ. උන්වහන්සේ එය දේශනා කරන්නේ මෙසේ ය.
පින්වතුනි, කල්පනා කරන්න, බලවත්, තෙදවත්, වහා කිපෙන ඝෝර විෂ ඇති සර්පයන් හතර දෙනෙක්
ඉන්නවා. ජීවත්වීමට කැමැති, මැරෙන්න අකැමැති, සැපට කැමති, දුක පිළිකුල් කරන
පුරුෂයෙක් එනවා. ඔහුට මේ විදිහට පවසනවා. එම්බා පුරුෂය, මේ ඉන්නේ භයානක විෂ ඇති ඒ
වගේම වහා කිපෙන බලවත් තෙද ඇති සර්පයන් හතර දෙනෙක්. මේ සර්පයන් හතර දෙනා කලින් කලට
අවදිකරන්න ඕනේ. ඒ වගේම නාවන්න ඕනේ. ආහාරපාන කවන්න ඕනේ. නිදි කරවන්න ඕනේ.නමුත් යම්
කිසි අවස්ථාවක මේ බලවත් තෙදවත් වහා කිපෙන ඝෝර විෂ ඇති මේ සර්පයන් හතර දෙනාගෙන් එක්
අයෙක් හෝ කිපුණොත් ඒ හේතුව නිසාම ඔබ මරණයට පත්වෙන්න පුළුවනි. එසේත් නැතිනම්
මාරාන්තික දුක්වේදනා විඳින්න වෙනවා. ඒ නිසා ඔබ දැන් කරන්න තියෙන දෙයක් තියෙනවානම්
කරගන්න යනුවෙන් පවසනවා. එවිට අර පුරුෂයා කරන්නේ කුමක්ද? එතැනින් පැනල යනවා.
එවිට ඔහුට නැවතත් මෙසේ පවසනවා. එම්බා පුරුෂය, ඔබට සතුරුවුණු වධකයො පස් දෙනෙක්
සිටිනවා. යම් තැනක දී ඔබ දකිනවා. නම් එතැන දී ම ජීවිතය විනාශයට පත්කරනවා. මේ අය ඔබ
පසුපස ලුහුබඳිනවා. එම නිසා එම්බා පුරුෂය, ඔබ විසින් කළ යුතු යම් දෙයක් ඇත්නම් දැන්ම
කරගන්න යනුවෙන් පවසනවා. එවිට ඒ පුද්ගලයා භයානක විෂ ඇති, වහා කිපෙනා බලවත් තෙද ඇති
සර්පයන් හතර දෙනාට බය වෙනවා. ඒ වගේම සතුරුවුණු වධකයන් පස් දෙනාටත් බය වෙනවා. යම්
තැනක් තියෙනවානම් එතැනට පැනල යනවා.
එවිට ඔහුට මෙලෙස පවසනවා. එම්බා පුරුෂය, කඩුවක් අමෝරාගත් ඇතුළත හැසිරෙන හයවෙනි
වධකයෙක් ඉන්නවා. යම් තැනක දී ඔබ දකිනවා. එතැන දී ම හිස කඳින් වෙන් කරනවා කියලා ඔබේ
පසුපස ලුහුබඳිනවා. ඒ නිසා එම්බා පුරුෂය, ඔබ විසින් කළ යුතු යම් දෙයක් ඇත්නම් දැන්ම
කරගන්න යනුවෙන් පවසනවා.
පින්වත් මහණෙනි, එවිට අර පුරුෂයා කරන්නේ කුමක්ද? භයානක විෂ ඇති, වහා කිපෙන ,බලවත්
තෙද ඇති සර්පයන් හතර දෙනාට බය වුණා. ඒ වගේම සතුරු වූ වධකයන් පස් දෙනාටත් බය වුණා.
කඩුවක් අමෝරාගත් ඇතුළත හැසිරෙන හයවෙනි වධකයාටත් බය වුණා. යම් තැනක් තියෙනවානම්
එතැනට පැනල ගියා. එසේ ගමන් කරද්දී හිස් ගමක් ඔහු දුටුවා. ඕනෑම ගෙයකට ඇතුල් වුණොත්
එහි කිසිවක් නැහැ .එනම් හිස් නිවසක්. එහි තිබෙන කිසිම භාජනයක කෑම බීම නැහැ. හිස්
භාජනයක්.තුච්ඡ භාජනයක්. එවිට ඔහුට මෙලෙස පවසනවා.
එම්බා පුරුෂයා, මේ හිස් ගමට දැන් ගම්පහරන හොරුන් පැමිණ විනාශ කරන්නයි සූදානම්
වෙන්නේ. එම නිසා එම්බා පුරුෂය, ඔබ විසින් කළ යුතු යම් දෙයක් ඇත්නම් දැන්ම කරගන්න
යනුවෙන් පවසනවා. එවිට පින්වත් මහණෙනි, අර පුරුෂයා, භයානක විෂ ඇති, වහා කිපෙන බලවත්
තෙද ඇති සර්පයන් හතර දෙනාට බය වුණා. සතුරු වුණු වධකයන් පස්දෙනාටත් බය වුණා. කඩුවක්
අමෝරාගත් ඇතුළත හැසිරෙන හයවෙනි වධකයාටත් බයවුණා. ගම්පහරන හොරුන්ටත් බය වුණා. යම්
තැනක් තියෙනවනම් එතැනට පලා ගියා. එවිට ඔහුට මහා ජලාශයක් දැක ගන්නට ලැබුණා. මෙම
ස්ථානය සැක සහිත යි. බය සහිත යි. එතෙර නම් බියෙන් නිදහස්. බය රහිත යි. නමුත්
මෙතෙරින් එතෙරට යාම පිණිස නැවක්වත් එතෙර මෙතෙර සම්බන්ධකරන පාලමක්වත් නැහැ. ඒ නිසා
පින්වත් මහණෙනි, ඒ පුද්ගලයාට මෙලෙස සිතෙනවා.
මේක මහා ජලාශයක්. මෙතෙර සැක සහිත යි. බය සහිත යි. එතෙර නම් බයෙන් නිදහස්.බය රහිත
යි. නමුත් මෙතෙරෙන් එතෙරට යාමට නැවක්වත් එතෙර මෙතෙර සම්බන්ධ කරවන පාලමක්වත් නැහැ.
එහෙමනම්, මා දැන් තණ, දර, කොළ අතු ආදිය එකතු කර පහුරක් බැඳ ඒ පහුර උපකාරයෙන්
අත්වලින් මෙන්ම පාදවලින් වෑයම් කරමින් සුවසේ එතෙර වීම වඩාත් සුදුසු යි.
පින්වත් මහණෙනි, ඒ පුරුෂයා තණ, දර, කොළ අතු ආදිය එකතුකර පහුරක් බැඳ ඒ පහුර
උපකාරයෙන් අත්පා වලින් වෑයම් කර සුවසේ එතෙර වුණා. ඔහුට තමයි ජලාශය තරණය කර එතෙරට
පැමිණි ගොඩබිමේ සිටින බ්‍රාහ්මණයා යනුවෙන් පවසන්නේ. එවිට බුදුරජාණන් වහන්සේ දේශනා
කරනවා මේ උපමාව ගෙනහැර දැක්වූයේ අර්ථය පැහැදිලි කිරීම පිණිස යි කියලා. මෙහි අර්ථය
කුමක්ද? භයානක විෂ ඇති, වහා කිපෙන බලවත් තෙද ඇති සර්පයන් හතර දෙනා යනු පඨවි ධාතුව,
ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව යන මේ සතර මහා ධාතුවලටයි. ඒ සතර මහා ධාතූන්ගෙන්
අපේ රූපය හටගනී. වධකයන් පස්දෙනා යනු මේ පංච මහා උපාදානස්කන්ධයට කියන නමක්. එනම් රූප
උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය.
විඤ්ඤාණ උපාදානස්කන්ධය. රූප ,වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ යන ස්කන්ධ පහයි. උපාදාන
යනු බැඳීමයි. දැන් අප රූපයට බැඳෙනවා. ඒ නිසා අප රූපය ගැන විමසිලිමත් වෙනවා. වේදනා
උපාදානස්කන්ධය තියෙන නිසා .අප විඳීම ගැන කල්පනා කරනවා සැප විඳීම ගැන කල්පනා කරනවා.
කඩුවක් අමෝරාගෙන ඇතුළත හැසිරෙන වධකයා යනු නන්දිරාගය යි. ආස්වාදයෙන් ඇලීමට කියන්නේ
නන්දිරාගය. හිස්ගම යනු ඇස, කන, නාසය, දිව. කය ,මන යනුවෙන් හඳුන්වන අධ්‍යාත්මික
ආයතනයි. ව්‍යක්ත වූ ප්‍රඥා සම්පන්න වූ නුවණැති පුද්ගලයා ඇස තුළින් විමසා බලනවා නම්
කිසිවක් නැති දෙයක් ලෙසටයි පෙනෙන්නේ.තුච්ඡ වූ දෙයක් ලෙසට , හිස් වූ දෙයක් ලෙසටයි
වැටහෙන්නේ.
ප්‍රඥා සම්පන්න පුද්ගලයාගේ ඇසෙන් බලද්දී කිසිවක් නැති හිස් දෙයක් බව පෙනෙනවා.
ශබ්දයක් ශ්‍රවණය කරද්දී ඔහුට ඒ ලෙසට වැටහෙනවා. නාසයෙන් ගඳ සුවඳ දැනෙද්දී, දිවෙන් රස
විඳිද්දී, කයෙන් පහස ලබද්දී ,මනස ගැන විමසා බලද්දී කිසිම දෙයක් නැති හැටියට තුච්ඡ
දෙයක් හැටියට හිස් දෙයක් හැටියට තමයි වැටහෙන්නේ.
එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගම්පහරන හොරුන් හයදෙනා යනු රූප, ශබ්ද, ගන්ධ
,රස, ස්පර්ශ, අරමුණු යන බාහිර ආයතනවලට . ඒවට කියන තවත් නමක්. ඇස මනාප අමනාප
රූපවලින් පීඩාවට පත්වෙනවා. කැමැති රූපයක් දකිනවිට අප ඒකට ඇලෙනවා. අකැමැති රූපයක්
දකිනවිට ගැටෙනවා. ඒ ආකාරයෙන් මනාප අමනාප රූපවලින් ඇස පීඩාවට පත්වෙනවා. කය,මනාප,
අමනාප පහසින් පීඩාවට පත්වෙනවා. මනසත් මනාප ,අමනාප අරමුණුවලින් පීඩාවට පත්වෙනවා.
බුදුරජාණන් වහන්සේ මීළඟට විස්තර කරන්නේ ජලාශය ගැන යි. මහා ජලාශය යනු මහා සැඩ පහර
හතරටයි. ඒ මොනවාද? කාම ඕඝය, භව ඕඝය, දිට්ඨි ඕඝය, අවිජ්ජා ඕඝය යන මේ ඕඝ හතර. ඊළඟට
සැක සහිත වූ භය සහිත වු මෙතෙර කියල කිව්වේ මේ පංච උපාදානස්කන්ධයට කියන නමක්. එය සැක
සහිත යි. බය සහිත යි. මේ පංච උපාදානස්කන්ධය තිබෙනතුරු අපට මේ සසරෙන් ගැලවෙන්න බැහැ.
ඒ මක්නිසාද? යත් රූප,වේදනා, සංඥා ,සංස්කාර, විඤ්ඤාණ සමග බැඳිල තියෙන්නේ.
පින්වත් මහණෙනි බයෙන් නිදහස් වූ, බය රහිත වු එතෙර යනු ඒ අමා නිවනට කියන නමක්. පහුර
යනු ආර්ය අෂ්ඨාංගික මාර්ගය යි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා. සම්මා
කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඊළඟට අත්පාවලින් වීරිය
ගන්නවා කිව්වේ .සෑම මොහොතකම පවත්වන වීර්යයට කියන නමක්. පින්වත් මහණෙනි, මේ ජලාශය
තරණය කරල එතෙරට ගිහින් ගොඩබිමේ ඉන්න බ්‍රාහ්මණය කියල කිව්වේ රහතන් වහන්සේට කියන
නමක් කියල උන්වහන්සේ මේ දේශනාව නිමාවට පත් කළා.
මේ ආසිවිසෝපම සූත්‍රය අපේ ජීවිතවලට ඉතා වටිනා උදාරතර දේශනාවක්. මේ දේශනාව අපේ නිවන්
මගට ම ඍජු ලෙස උපකාර වන උදාර දේශනාවක්. ඒ මක්නිසාදයත් සංසාරික බය ඇතිකරවීමට ඉතා
ලස්සනට උපමා යොදාගෙන කළ දේශනාවක් නිසා.
එදා මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරන තුන්වැනි දිනයේ දී නන්දන වනයේ දී මේ
ආසිවිසෝපම සූත්‍රය දේශනා කර වදාළා. මේ දේශනාව අවසානයේ දී පමණක් දහසක් පිරිස මාර්ගඵල
අවබෝධයට පත්වුණා. එදා උන්වහන්සේ මෙම සූත්‍රය ද ඇතුළුව සූත්‍ර ගණනාවක්ම දේශනා කර
වදාළා. ඒ දින කිහිපය ඇතුළත අටදහස් පන්සියයක පිරිසක් මාර්ගඵල අධිගමනයන්ට පත්වුණා.
මේ උතුම් දේශනාව තුළින් ඔබ අප සියලු දෙනාට ම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමට
වාසනාව උදාවේවා
- අයන්ති විතාන |