Print this Article


පේතවත්ථු විමානවත්ථු: භවයෙන් භවයට ගෙන යන කුසල අකුසල විපාක

පේතවත්ථු විමානවත්ථු:

භවයෙන් භවයට ගෙන යන කුසල අකුසල විපාක

බුදුරජාණන් වහන්සේගේ සමස්ත දේශනාව ත්‍රිපිටකය යනුවෙන් හඳුන්වනු ලබනවා. ත්‍රිපිටකය යනු සූත්‍ර පිටකය, විනය පිටකය සහ අභිධර්ම පිටකය යි. සූත්‍ර පිටකය නිකාය පහකින් යුක්තයි. එනම් දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය. අංගුත්තර නිකාය. ඛුද්ධකනිකාය යනුවෙනි.

ඛුද්ධකනිකායට ග්‍රන්ථ පහළොවක් අයිතිවෙනවා. එයින් හයවෙනි සහ හත්වෙනි ග්‍රන්ථ දෙක තමයි පේතවත්ථු සහ විමානවත්ථු වශයෙන් හඳුන්වන්නේ. විමානවත්ථුව හයවෙනි ග්‍රන්ථය ලෙසත්, පේතවත්ථුව හත්වෙනි ග්‍රන්ථය ලෙසත් හඳුන්වනවා. විමානවත්ථුව සම්පූර්ණයෙන් ම දිව්‍ය ලෝක පිළිබඳව කෙරෙන කතා ප්‍රවෘත්තිවලින් සමන්විත වෙනවා. විශේෂයෙන් ම බුද්ධ කාලයෙහි නොයෙකුත් තෙරවරුන්ට, තෙරණිවරුන්ට ඉදිරියේ දී තමන් සිදු කළ කුසලය ආත්මභාෂණ ලෙසට දැක්වූ ආකාරයක් දක්නට ලැබෙනවා.

සංසාරේ සිදුකළ අකුසල්වල විපාක කවර ආකාරයකින් ඉදිරිපත් කරනවා ද කියන කාරණය පේතවත්ථුව කියවීමේ දී අපට දකින්නට පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන් ම මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කළාට පසු ලංකාවේ දී සිදු කළ පළමු දේශනාව හැටියට අපි දකින්නේ “චුල්ලහත්ථිපදෝපම” සූත්‍ර දේශනාවයි. නමුත් ලංකා සමාජය පිළිබඳව කල්පනා කරන මිහිඳු මහ රහතන් වහන්සේ දෙවැනි දිනයේ දී “විමානවත්ථුවෙන් සහ පේතවත්ථුවෙන්” ධර්මය දේශනා කරනවා. ඊට හේතුව වන්නේ ලාංකේය ජන සමාජය දේව කතා සහ භූත කතා පිළිබඳව විශාල ගෞරවයකින් සහ අභිරුචියකින් කටයුතු කිරීම හා ජන විඤ්ඤාණය තුළට ඒ සංකල්ප කා වැදී තිබීමයි.

ගස්, ගල් වන්දනාව, මළගිය ඤාතීන් පිදීම වැනි වන්දනා ක්‍රම ඒ වන විට ලංකා සමාජයේ පැතිරී තිබුණි. විශේෂයෙන් ම ගිනි දෙවියන් නැමැදී ම වැනි චාරිත්‍ර ලංකා සමාජයේ ඉතා උතුම් උසස් චාරිත්‍ර ලෙසයි පැවතුණේ. මිහිඳු මහ රහතන් වහන්සේ එකී චාරිත්‍ර එක හෙළාම ප්‍රතික්ෂේප නොකොට ඒවාට ධර්මම ය අර්ථ කතනයක් දීමට පෙළඹෙනවා. උදාහරණයක් ලෙස ගිනි දෙවියන් නැමදීම වෙනුවට පහන් දැල්වීම, පහන් පූජාව ආදේශයක් ලෙසට මිහිඳු මහ රහතන් වහන්සේ පෙන්වා දුන්නා. නිරර්ථක වූ ගිනි දෙවියන් පිදීම වෙනුවට බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවට කරන පූජාවක් වශයෙන් ආලෝක පූජාව, පහන් පූජාව ආදේශයක් ලෙස මිහිඳු මහ රහතන් වහන්සේ සිදු කරනවා. එයට හේතුව වන්නේ අපේ ජනතාව මේ ආලෝක පූජාවට බොහෝ ම ඉහළ කැමැත්තක් දැක්වීමයි. ගිනි දෙවියන්ට විශාල කැමැත්තක් දැක්වීමයි.

ඒ වගේ ම පර්වත වන්දනාව වෙනුවට චෛත්‍ය වන්දනාවත්, වෘක්ෂ වන්දනාව වෙනුවට බෝධීන් වහන්සේට, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට වන්දනා කිරීම හඳුන්වා දෙනවා. මෙතැන දී කල්පනා කළ යුතු වන්නේ, විශේෂයෙන් ම නොයෙකුත් දේව කතා විශ්වාසයන්ට ලාංකේය සමාජය කිඳා බැස තිබූ නිසා දෙවියන් බවට පත්වීම සඳහා සහ දිව්‍ය ලෝකයේ යම් යම් සැප සම්පත් වින්දනය කර ගැනීම සඳහා කළ යුතු කුසල කර්ම මොනවාද කියන දේ පැහැදිලි කිරීමට, දිව්‍ය ලෝකයේ උපදින්නට, දිව්‍ය සම්පත් විඳින්නට මොනවගේ කුසල කර්මයක් කර ගන්නට ඕනෑ දැයි කියන කාරණාව පැහැදිලි කිරීම සඳහා විමානවත්ථුව පුරාවට ම කරුණු ඉදිරිපත් කරනවා.

හරයක් නැති දේව කතා වෙනුවට පදනමක් සහිත දේව කතා ඉදිරිපත් කිරීමෙන් සහ ඒ දේවත්වයට තමන්ට ද පැමිණිය හැකි බව ඒත්තු ගැන්වීමෙන් බෞද්ධ සමාජය දේවත්වයට පත්වීමට අවශ්‍ය කරන අංග එසේ නැතිනම් අවශ්‍ය කරන ශක්තිය නිපදවාගැනීමට ක්‍රියාකිරීම ආරම්භ වුණා. ඒ සඳහා උන්වහන්සේ නොයෙක් පේතවත්ථු කතා ඉදිරිපත් කර තිබෙනවා. විමාන වත්ථුවල එන, ස්වර්ණ පීඨ විමාන වත්ථුව අනුව එක්තරා ස්ත්‍රියක් සිල්වත් තෙරුන් වහන්සේ නමකට ආසනයක් පූජා කළා. ඒ ආසනයට කහ පැහැති වස්ත්‍රයක් අතුරා “සසරේ දී මට මෙවැනි ස්වර්ණමය පීඨයක් ලැබේවා’යි ප්‍රාර්ථනා කළා. ප්‍රාර්ථනා කළ ආකාරයට ම දිව්‍ය ලෝකයේ ඉපදුණ ඇයට ස්වර්ණපීඨයක් එනම් ස්වර්ණ පුටුවක් ලැබුණු බව දක්වනවා.

ඉහළ සැප සම්පත් ලබා ගැනීමට නම්, ලෞකික වශයෙන් දියුණුවීමට නම් යහපත් ක්‍රියාවන් සිදු කළ යුතුයි යන්න පිළිගන්නට මෙවැනි කතාංගයන් තුළින් සමාජය පෙළඹෙනවා. මිහිඳු මහ රහතන් වහන්සේ මෙවැනි සංසිද්ධීන් සමාජය අභිමුවෙහි තැබූයේ සමාජයට යහපත් පණිවුඩයක් නිකුත් කිරීමේ බලාපොරොත්තුවෙනි. ඒ වගේ ම පතිව්‍රතා විමාන වත්ථුව අනුව ස්ත්‍රියක් ලෙස සිය ස්වාමියා කෙරෙහි කෙසේ පිළිපැදිය යුතු ද යන කාරණාව ඉදිරිපත් කරනවා. ඒ තුළින් පවා දිව්‍යත්වයට, දේවත්වයට පත්වීමේ හැකියාව තිබෙන බව පෙන්වීමෙන් සමාජයේ සංස්කෘතිකමය සහ සදාචාරමය වර්ධනයක් ඇතිකර ගැනීම සඳහා මේ ඉගැන්වීම ප්‍රබල සාධකයක් බවට පත්වෙනවා.

පේතවත්ථුවේ එන සූකරමුඛ පේතවත්ථුවට අනුව එක්තරා ප්‍රේතයෙක් ඌරෙකුගේ මුහුණක් ඇතිව එහෙ මෙහෙ ඇවිදින අතර දිනක් සැරියුත් මහ රහතන් වහන්සේට මුණ ගැසුණා. පෙර භවයක දී ඉතාමත් ම අශෝභන ආකාරයට මුඛයෙන් කරන ලද නොයෙකුත් නොපණත්කම් නිසා ඔහුට ඒ ආකාරයේ දුර්විපාක ලැබුණු බවට මේ පූර්වාපරසන්ධි ගැළපීමෙන් දකින්නට ලැබෙනවා. විශේෂයෙන් ම මේ පේතවත්ථු විමානවත්ථු හි තිබෙන පැහැදිලිතාවය නම් පූර්වාපර සන්ධි ගැළපීමයි.

මෙවැනි දෙයක් ලැබීමට කුමක් ද කළ කුසලය හෝ අකුසලය කියන කාරණාව එහි දී ඉස්මතු කර පෙන්වනවා. ඒ නිසා මේ හැම කරුණකින් ම පේතවත්ථුව පුරාවටත්, විමානවත්ථුව පුරාවටත් තිබෙන කතාන්දර ශ්‍රාවකයා අසා සිටින්නේ ඉතාමත් ම ශ්‍රද්ධාවෙන්. ඒ වගේ ම විශ්වාසයෙන්. ඒ කතා ගොණු කර තිබෙන ක්‍රමවේදය, මනා ගැළපීම ආදිය නිසා සමාජ විඥානයට කිඳා බසින්නට තරම් ශක්ති සම්පන්න වී තිබෙනවා.

ඒ නිසා විමානවත්ථුවෙන් සහ පේතවත්ථුවෙන් පුරාණ භික්ෂූන් වහන්සේලා ධර්ම දේශනා කිරීමේ දී ඇතැම් කරුණු තහවුරු කිරීම සඳහා උදාහරණ ගෙන තිබෙනවා. ලාංකේය බණ කතා සාහිත්‍යයේ පේතවත්ථුවටත්, විමානවත්ථුවටත්, ඉතා ඉහළ අගයක් ලැබෙන්නේ ඒ හේතුව නිසයි. ඒ නිසා සිංහල ජන සමාජයට මිහිඳු මහ රහතන් වහන්සේ දෙවැනි දිනයේ දී ම හඳුන්වා දුන් මේ ග්‍රන්ථත්ද්වය ජාතියක් මෙහෙයවන්නට, ජාතියක් සංයම කරන්නට හේතු වූ ශ්‍රේෂ්ඨ ග්‍රන්ථ දෙකක් ලෙසයි සලකන්නේ. ඒ නිසා මේ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේ දී නැවත වතාවක් සමස්ත ජාතිය ම පේතවත්ථුවත් විමානවත්ථුවත් අධ්‍යයනය කිරීමට කල්පනා කිරීම, අධ්‍යයනය කිරීමට පෙළඹෙන්නේ නම් අපට නැවතත් මිහිඳු සංස්කෘතියක් මේ රට තුළ නිර්මාණය කර ගන්නට පූළුවන්කමක් ලැබෙනවා.

ඒ වගේ ම පේතවත්ථුවෙහි අර්ථ කතා, ප්‍රශ්න විසඳීම් ආදිය දකින්නට ලැබෙනවා. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ ඒ ඒ කාරණා අරබයා කරන ලද දේශනා, ඊට හේතු වූ නිධාන කතා ආදිය දකින්නට පුළුවන්කම ලැබෙනවා. පේතවත්ථුව වර්ග වශයෙන් ගත් විට තුරඟ වර්ගය, උබ්බරී වර්ගය, චූල වර්ගය, මහා වර්ගය යැයි වර්ග හතරක් දකින්නට පුළුවනි. තුරඟ වර්ගය තුළ කතා දොළසක් තිබෙනවා. උබ්බරී වර්ගයේ කතා දහතුනක් තිබෙනවා. චූල වර්ගයේ කතා දහයක් තිබෙනවා. මහා වර්ගයේ කතා දහසයක් තිබෙනවා. සමස්තයක් වශයෙන් කතා පනස් එකක් තිබෙනවා.

ඒ වගේ ම විමානවත්ථුව වගේ ම පේතවත්ථුව මිනිසුන් පවින් වළක්වා ගැනීම සඳහා කරන ලද නිර්මාණ කෘතියක් හැටියටයි දක්වන්නේ. විශේෂයෙන් ම විමානවත්ථුව කුසල් රැස්කිරීම සඳහා පොළඹවන විට පේතවත්ථුව අකුසලයෙන් මුදවා කුසලයෙහි නිමග්න කිරීමට අවශ්‍ය කරන පසුබිම සකස් කර දෙනවා.

ඒ නිසා බුද්ධකාලීන භාරතයේ පැවැති කතා මෙන් ම ඈත අතීතයේ පැවැති කතා ද, සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ඇති වූ කතා ද, පේතවත්ථුව තුළ දකින්නට ලැබෙනවා. ප්‍රේත යන වචනයෙන් අදහස් වන්නේ මළ තැනැත්තා පරලොව ගිය අය යන තේරුමයි. “පේතානං උපකප්පතූ” මිය ගිය අය මෙහි පැමිණේවා යන අදහසයි. ඒ නිසා “ධම්පියා අටුවා ගැටපදයේ” සඳහන් වන්නේ “ඒතං පරලෝකං ගතෝ” යන අදහසයි. ප්‍රේත කියන්නේ, ප්‍රේත කියන නාමයෙන් හඳුන්වනු ලබන්නේ වෙන කිසිවක් නොව මිය ගිය පුද්ගලයාමයි. සසර සැරිසරන සත්වයා මෙලොව දී සිදු කරන කුසලා කුසල කර්ම අනුව ඊළඟ භවයේ උපත ලබන බව බුදු දහම විස්තර කරනවා.මනුෂ්‍ය ඝාතනය, සොරකම් කිරීම් වැනි අපරාධවලට රජයෙන් දඬුවම් ලැබුණත් නැතත් කර්ම ශක්තිය විසින් ඔහුට ස්ථිරවම එහි විපාක ලැබෙන බව මෙම කතා ඉගැනීමෙන් දැක ගන්නට පුළුවන්කමක් ලැබෙනවා.

විමානවත්ථුවේ කතා වශයෙන් අසූ පහක් දකින්නට ලැබෙනවා. සුතික්ඛිත්ත වර්ගය, පායාසි වර්ගය, මහාරථ වර්ගය, මඤෙජ්ටඨක වර්ගය, පරිච්ඡත්තක වර්ගය, චිත්තලතා වර්ගය, පීඨ වර්ගය ආදී වශයෙන්. විශේෂයෙන් ම පීඨ වර්ගයට කතා දහහතකුත්, චිත්තලතා වර්ගයට කතා එකොළහකුත්, පරිච්ඡත්තක වර්ගයට කතා දහයකුත් ඒ වගේ ම මඤෙජ්ටඨක වර්ගයට කතා දොළහකුත්, මහාරථ වර්ගයට කතා දහහතරකුත්, පායාසි වර්ගයට කතා එකොළහකුත්, සුතික්ඛිත්ත වර්ගයට කතා දහයකුත් ආදී වශයෙන් සමස්තයක් වශයෙන් කතා අසූ පහක් දකින්නට පුළුවන්.

මේ සෑම කතාවකින් ම උගන්වන්නේ කුසල් වැඩීමේ ආනිශංසත්, එයින් ලැබෙන සුවපත්භාවයත් පිළිබඳවයි. අතීතයේ ධර්මශාලාවලට රැස් වූ මිනිසුන් විමානවත්ථුවේ කතා ශ්‍රවණය කරන්නට පුදුමාකාර කැමැත්තක් දැක්වූවා. ජාතියකට මඟ පෙන්වූ, මිනිස් සිත සංයමයට පත් කළ කෘති දෙකක් වශයෙන් විමානවත්ථුවත්, පේතවත්ථුවත් හැඳින්වීමට පුළුවන්. ඒවා හොඳින් අධ්‍යයනය කොට ජීවිතය නිවැරැදි මාවතකට ගෙන යන්නට අදිටන් කරගන්න.