Print this Article


බාලපණ්ඩිත සූත්‍රය: බාලයා සහ පණ්ඩිතයා

බාලපණ්ඩිත සූත්‍රය:

බාලයා සහ පණ්ඩිතයා

" මහණෙනි, ඉර පායන තැනත්, ඉර බැස යන තැනත් අතර දුර කොපමණදැයි කිව හැකි ද? එය කියන්න බැහැ. මහණෙනි, හඳ පායන තැනත්, හඳ බැස යන තැනත් අතර දුර කොපමණ ද? එම දුර කොපමණදැයි කියන්න බැහැ. මහණෙනි, මේ පොළොවත්, අහසත් අතර පවතින දුර කොපමණද? කිව හැකිද? කියන්න බැහැ. නමුත් එහෙම කියන්න බැරි කාරණා සියල්ලම කිව හැකි යැයි සිතමු. එසේ ප්‍රකාශ කළ ද, දුර්ජනයාත්, පණ්ඩිතයාත් අතර තිබෙන දුර කොපමණදැයි කියන්න බැහැ"

බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි භික්ෂූන් වහන්සේලා අමතා දේශනා කරනු ලැබූ ‘බාලපණ්ඩිත සූත්‍රය’ තුළ බාලයාගේ ස්වභාවය වදාළ බැවින්, සූත්‍ර දේශනා අතර ‘බාලපණ්ඩිත සූත්‍රය’ විශේෂිත සූත්‍රයක් ලෙස සඳහන් කළ හැකි ය.

දුර්ජනයා, අසත්පුරුෂයා, අකෘතඥයා යනුවෙන් ‘බාල’ යන වචනය සිංහලයෙන් අර්ථ ගැන්වෙයි. ‘බාල පුද්ගලයා’ යනු දුර්ජනයා, අකෘතඥයා යන අර්ථයයි. දිනක් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරමින්, මහණෙනි, බාලයාගේ ස්වභාවය කෙබඳු ආකාර දැයි දන්නවාද? යනුවෙන් ප්‍රශ්නය විමසමින් ම ලබාදුන් පිළිතුර වූයේ මහණෙනි, බාලයා කියන්නේ දුර්ජන සිතිවිලි සිතන පුද්ගලයාමයි. ඔහු සිතෙන් නිතරම අයහපත් සිතිවිලිම සිතයි. එම සිතිවිලි ඔහුටත්, සමාජයටත් හානිකර ඒවා වෙයි. ඒ වගේම අන්‍යයාටත්, තමාටත්, සමාජයටත් අයහපතක් ම වන වචන ම කතා කරයි. තමාටත්, අන්‍යයාටත්, සමාජයටත්, අයහපතක් වන, හානිකර අයහපත් ක්‍රියාම සිදුකරයි. තුන් දොරින්ම සමාජයට අයහපතක් සිදුකිරීම දුර්ජනයාගේ හෙවත් බාලයාගේ ස්වභාවයයි. ඔහුගේ සිතිවිලි හා කතාබහ කරන වචන, කරන ක්‍රියාව අනුව ඔහු ඇසුරට නොගත යුතු, සමාජයට හානිකරන, බාල පුද්ගලයකු බව පණ්ඩිතයා විසින් බාලයා හඳුනා ගනී යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

තව ද, සමාජය තුළ කිසියම් පිරිසක් ඒකරාශීව, අයහපත් පුද්ගලයන් සිදුකළ අයහපත් ක්‍රියා, අපරාධ හා ඔවුන්ගේ සාපරාධී වචන පිළිබඳව සාකච්ඡා කරමින් ඒවාට ලබාදිය යුතු දඬුවම් පිළිබඳව ප්‍රකාශ කරන අවස්ථාවලදී තමා ද එබඳු පුද්ගලයකු බවට ‘බාලයා’ සිතයි.

තමා පිළිබඳව ම තමාට දුකක් ඇතිවෙයි. අයහපත් මිනිසුන්ගේ අපරාධ උදෙසා පමුණුවන ලද දඬුවම් සමාජය විසින් සාකච්ඡා කරන විට ‘අනේ මගේ සිතිවිලිත් මේ වගේ’ යැයි සිතයි. එම සිතිවිල්ල විසින් ඔහු සමාජය තුළ බොහෝ වේදනාවට පත්කරයි.

යම් යම්, අපරාධකාරී පුද්ගලයන් උදෙසා දඬුවම් ලැබුණුවිට එම දඬුවම් දකින බාලයා තමාටත් එවැනි දඬුවම් විඳීමට සිදුවන බව සිතා දුකට පත්වෙයි. ඔහුගේ දුර්ජන ස්වභාවයන් සමාජයට හෙළි පෙහෙළි නොවුණ නිසාවෙන් ඔහු දැනට ආරක්ෂාකාරීව සිටිය ද, ඔහු සිදුකළ අපරාධ, සාපරාධී වචන හසුවුවහොත් දඬුවම් ලැබීමට සිදුවෙයි. ඇතැම් සත්ත්වයන් සිදුකළ අපරාධ හේතුවෙන් අපායේ දී දැඩි දඬුවමට ලක්වෙයි. අපාය තුළ විශාල දුකකට පත්වෙයි. එබඳු ස්වභාවයන් දැනගන්නා විට තමනුත් එම ආකාරයෙන් දුක් විඳිය යුතු බවට බාලයා සිතයි. මෙවැනි ආකාරයෙන් නිතර තමන්ගේ බාල ගති ස්වභාවය හේතුවෙන්, තමන් විසින් ම දුකට, වේදනාවට පත් වෙයි.

පණ්ඩිතයා තුළින් බාලයාට වඩා හාත්පසින්ම වෙනස් ස්වරූපයක් දක්නට ලැබෙයි. පණ්ඩිතයා සමාජයට හානියක් වන අයහපත් ක්‍රියා සිදු නොකරයි. සමාජය පිළිබඳව දුර්ජන ලෙස, චණ්ඩ පරුෂ ආකාරයට සිතීමට නොපෙළ ඹෙයි. මිනිසුන් හෙළා දකිමින් මිනිසාට හානිකර අයහපත් වචන කතා නොකරයි.

පණ්ඩිතයා සිත, කය, වචනය යන තුන්දොරම පවිත්‍රව තබා ගනී. ඔහු සෑමවිටම තමා උපමා කරගනිමින් සමාජය පිළිබඳව අවංකව සිතයි. තමන් සිතන අයහපත් සිතිවිලි, අයහපත් වචන, අයහපත් ක්‍රියාවල ආදීනව දකිමින් එය සමාජයට සිදුකරන අයහපත් දෙයක් බවට සිතමින් එයින් වැළකී සිටී. අන්‍යයා කතා කරන විට තමන් එම චෝදනාවට හසුවේ යැයි සිතා තමාට ද එම වරද නොකරයි. අනුපාදාන බියෙන් තමා වරදක් නොකර සිටිමින් සමාජයට හානි නොකරයි.

අන්‍යයාට ලැබෙන දඬුවම් දැකීමෙන් එවැනි දඬුවම් තමාටත් ලැබේ යැයි බියෙන් වැරැදි නොකර සිටීමට පෙළඹෙයි. එය දණ්ඩන බියයි. තමා වරදක් කළ විට අපායගාමී වන නිසා අපායට තිබෙන්නා වූ බියට වරදින් මිදීමට උත්සාහ කරයි.

බාලයා සහ පණ්ඩිතයා එකම සමාජය තුළ එකට ජීවත් වුව ද, දෙදෙනා අතර බොහෝ දුරස් පරතයක් පවතී. එබැවින් බාලයා සංසාරයේ බොහෝ දුක් විඳී. බොහෝ දුකට පත්වෙයි. නිතර නිතර සිතින්, කයින්, වචනයෙන් සිදුකරන අකුසල් අකුසල් බවට වැටහීමක් ද බාලයාට නැත. පණ්ඩිතයා ඊට වඩා වෙනස් ස්වරූපයක් ගන්නා හෙයින්, ඔහු තුන්දොරම පවිත්‍රව තබාගනිමින් කුසල් ම සිදුකරයි.

එම දෙදෙනා එකම සමාජයක් තුළ එකට ජීවත් වුව ද, සිත, කය, වචනය යන තුන්දොරම ක්‍රියාවට නංවන ආකාරය අනුව බොහෝ දුරස් බවට බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ අමතා දේශනා කරනු ලැබුහ.

මහණෙනි, ඉර පායන තැනත්, ඉර බැස යන තැනත් අතර දුර කොපමණදැයි කිව හැකි ද? එය කියන්න බැහැ. මහණෙනි, හඳ පායන තැනත්, හඳ බැස යන තැනත් අතර දුර කොපමණ ද? එම දුර කොපමණදැයි කියන්න බැහැ.

මහණෙනි, මේ පොළොවත්, අහසත් අතර පවතින දුර කොපමණද? කිව හැකිද? කියන්න බැහැ. නමුත් එහෙම කියන්න බැරි කාරණා සියල්ලම කිව හැකි යැයි සිතමු. එසේ ප්‍රකාශ කළද, දුර්ජනයාත්, පණ්ඩිතයාත් අතර තිබෙන දුර කොපමණදැයි කියන්න බැහැ යනුවෙන් බාල පණ්ඩිත සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ එම කාරණාව පැහැදිලි කළ සේක.

තවදුරටත්, එම සූත්‍රය තුළ මිනිසුන් අපායෙහි දැඩි ලෙස දුක්විඳින ආකාරය ද දේශනා කළ සේක. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීමෙන් පසුවත් බාල පණ්ඩිත සූත්‍ර දේශනා කර ඇත.