Print this Article


තමන් උපමාවට ගන්න

තමන් උපමාවට ගන්න

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

සබ්බේ තසන්ති දණ්ඩස්ස – සබ්බේ හායන්ති මච්චුනෝ
අත්තානං උපමංකත්වා – න හනෙය්‍ය න ඝාතයේ

ලොව්තුරු අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ජේතවනාරාමයේ දී ජබ්බග්ගිය භික්ෂූන් වහන්සේලා අරභයා දේශනා කරන්නට යෙදුනු මෙම ගාථා ධර්මය, බෞද්ධයාගේ අත්පොත වන ධම්මපදයේ දණ්ඩ වග්ගයෙහි සඳහන් පළමු ගාථා ධර්මයයි.

පින්වතුනි, මාතෘකා කරගත් ගාථා ධර්මයෙහි සරල අදහස වන්නේ “සියල්ලෝ ම දඬුවමට බිය වන බවත්, සියල්ලෝ ම මරණයට බියවන බවත් ය. එබැවින් තමන් උපමා කොටගෙන අන් අයට හිංසා පීඩා නොකරන්න. අන් අය ඝාතනය නොකරන්න” යනුවෙනි. මෙම අදහස් පිළිබඳ විමසීමේ දී ප්‍රධාන වශයෙන් දණ්ඩනයෙහි ආකාර දෙකක් පිළිබඳව සඳහන් වෙනවා. ශාරීරිකව සිදුකළ හැකි දණ්ඩනය හා මානසිකව සිදුකළ හැකි දණ්ඩනය යනු එම කොටස් දෙකයි. මෙම දණ්ඩනයන් දෙකෙහි ම ඵලය මරණයෙන් කෙළවර වීමට පවා බොහෝදුරට අවස්ථාව පවතිනවා. ශාරීරිකව සිදුකරන දණ්ඩනය ඒ අවස්ථාවේ දී වේදනාවක් ගෙන දුන්න ද, මානසිකව සිදුකරනු ලබන දණ්ඩනය ඉන් එහා ගිය තත්ත්වයක් ඇතිකිරීමට හේතුවක් විය හැකියි. එහි බරපතළකම වන්නේ කෙටිකාලීනව ලැබෙන වේදනාවට වඩා දීර්ඝකාලීන වශයෙන් මානසික දණ්ඩනයෙන් වේදනා විඳීමට සිදුවීමයි. ඇතැම්විට මුළු ජීවිත කාලයටම එම තත්ත්වය උදාවීමට හැකි ය. පින්වතුනි මෙම කිසිදු දණ්ඩනයක් බුදුදහම තුළ අනුමත නොකරන බැවින් ඒවායින් අතමිදීම මානව වර්ගයාගේ දියුණුව සඳහාත්, අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සියලු සත්ත්වයාගේ ජීවිත සුරක්ෂිතතාව ඇතිකිරීම පිණිසත් ඉවහල් වන බව පැහැදිලි ය.

පින්වතුනි, මෙම දේශනාව තුළ සඳහන් වන ඉතාම වැදගත්ම දේශනාව හැටියට මා දකින්නේ,’ අත්තානං උපමං කත්වා” යන අදහසයි. එනම් තමා උපමා කරගෙන යන සරල අදහස යි. මෙම අදහස ඉතා සරල අදහසක් බව බැලූ බැල්මට පෙනෙන නමුදු මේ තුළ පවතින්නේ බෞද්ධ දර්ශනයේ මූලිකම හා ප්‍රධානතම හරය යි. දහමේ සඳහන් වන තවත් එක් මඟපෙන්වීමක් වන අත්තූපනායික ධර්ම ඔස්සේ ද සමාජගත කරන්නේ මෙම දේශනාවම බව ඉන් පැහැදිලි වේ. මෙම ඉගැන්වීමේ දී මා දකින්නේ දහමෙහි හැසිරෙන්නා තුළ පළමුව ගොඩනැගිය යුතු වන්නේ පරාර්ථකාමිත්වය නොව, ආත්මාර්ථකාමිත්වය බවයි. එනම් තමා නොලැබූ හා අත්නොවිඳි දෙයක් පිළිබඳව තවත් පුද්ගලයෙකුට හෝ පිරිසකට මෙය මෙසේ වන්නේ යැයි ස්ථිර කළ නොහැකි නිසා ය. එම නිසා දහමෙහි හැසිරෙන්නා තුළ පළමුව තමා පිළිබඳ නිවැරැදි ගමන් මගක් ගොඩනගාගත යුතු අතර ඒ තුළින් ධර්මාවබෝධය ලබාගත යුතු වේ. එම අවබෝධය ලබාගැනීම මගින් ලැබෙන ප්‍රතිඵලය පරාර්ථකාමී ප්‍රතිඵලයක් බවටම පත්වේ. අප මහා බෝසතාණන් වහන්සේ විසින් තමන් වහන්සේගේ ම ස්වෝත්සාහයෙන් ධර්මාවබෝධය ලබාගැනීම නිසා බුද්ධ නම් වූ බව අපි සියල්ලෝ ම දනිමු. බුද්ධත්වය ලබාගැනීමෙන් පසු ලෝක සත්ත්වයා කෙරෙහි පරාර්ථකාමීව කටයුතු කළේ පළමුව අවබෝධකරගත් සත්‍යතාව නිසා ය.

බෞද්ධ දර්ශනය යනු මේ විශ්වය තුළ පවතින නිදහසට ගරු කරන ප්‍රධානතම දර්ශනයයි. එහි දී සෑම ක්‍රියාවකම අයිතිය ඒ ක්‍රියාව කරන පුද්ගලයා වෙත පවරා තිබේ. එයින් මා අදහස් කිරීමට බලාපොරොත්තු වන්නේ ධර්ම රත්නයේ පවතින ඒහි පස්සිකෝ යන ගුණය ඔස්සේ ලබා දී ඇති චින්තන නිදහස හා පුද්ගල අයිතිය පිළිබඳවයි. බුදුන් දවස කේසපුත්ත ගම්වාසී කාලාම වැසියන් උදෙසා දේශනා කරන්නට යෙදුණු කාලාම සූත්‍රයේ දී ද පෙන්වාදෙන පුද්ගලයා සතු චින්තන නිදහසට ගරු කිරීමේ උතුම් ලක්ෂණය තවත් අන් දහමක දක්නට නොමැත. සැකයෙන් පටන්ගෙන අප ප්‍රඥාව කරා මෙහෙයවන්නට මාර්ගෝපදේශයන් සපයන බෞද්ධ දර්ශනයේ පහස ලබන්නට අප මාතෘ භූමියට වාසනාව උදාවූයේ මීට වසර 2327 කට පෙර ය.

පින්වතුනි, ශ්‍රී බුද්ධ වර්ෂ 236 ක් වූ පොසොන් පුර පසළොස්වක පොහොය දින දඹදිව ධර්මාශෝක අධිරාජයාගේ දෙටුපුත් අනුබුදු මිහිඳු මහා රහතන් වහන්සේ ඇතුළු ධර්මදූත පිරිස ශී‍්‍ර ලංකා ද්වීපයෙහි මිස්සක පව්වට වැඩමකොට දඩ කෙළියෙහි යමින් සිටි දෙවන පෑ තිස් නිරිඳුන් ඇතුළු පිරිස පන්සිල් සමාදන් කරවා ධර්මය දේශනා කරන්නට යෙදුනේ මීට වසර 2327 කට පෙර මෙවැනිම උතුම් පොසොන්පුර පසළොස්වක පොහොය දිනකයි. මහින්දාගමනයට පෙර අප රටෙහි මෙම දිනය යොදාගෙන තිබුණේ උත්සව කාලසීමාවක් ලෙසයි. එම උත්සවයෙහි එක් අංගයක් ලෙස රජතුමන් ප්‍රධාන පිරිස විනෝදය පිණිස සතුන් දඩයම් කිරීම සිදුකළ අතර ඒ තුළින් අසීමිත තාවකාලික සතුටක් ලබා ඇත.

අශෝක අධිරාජ්‍යයා ද චණ්ඩාශෝක බවින් මිදී ධර්මාශෝක බවට පත්වූයේ ද අනුන් පෙළීමේ වේදනාවෙන් දැඩි ලෙස චිත්ත පීඩාවකට ලක්ව සිටි මොහොතක ය. මෙම විශ්වයේ ජීවි අජීවි සියල්ලම ධර්මයට යටත් බව පසක් කරමින් භාරතයේ දැහැමි බෞද්ධ පාලකයකු බවට ධර්මාශෝක රජතුමා පත්වීම මගින් ඔහුගේ ම පුතණුවන්ට හා දියණියට සම්බුද්ධ ශාසනයේ හිමිකාරිත්වය ලබාදෙමින් ශ්‍රී ලංකාද්වීපය ධර්මද්වීපයක් බවට පත්කිරීමට මූලිකත්වය ගෙන ක්‍රියා කරන ලදී. ප්‍රාණඝාතයෙන් තොරවීමේ ශික්ෂාපදය ප්‍රධාන කොටගනිමින් නිත්‍ය ශීලයේ රජු ඇතුලු පිරිස පිහිටුවීමෙන් අනතුරුව මිහිඳු මහරහතන් වහන්සේ දෙවනපෑතිස් රජු අරභයා දේශනා කරන්නට යෙදුණේ” මහරජ, අහසෙහි සරණ විහඟුන් මෙන්ම වනයෙහි සරණ වන සතුන් ඝාතනය කිරීමෙන් වළකින්න. මෙ බිමේ ඉපදුණු සියලුම ජීවීන්ට තමන්ට සිත් සේ හැසිරීමටත්, නිදහසේ ජීවත්වීමටත් අයිතියක් ඇත. ඔබ ඔවුන්ගේ අයිතිකරුවා නොව, භාරකරුවා පමණයි” යනාදී ලෙසයි. එම උතුම් පණිවිඩය තුළින් ද ගම්‍යමාන වන අදහස වනුයේ මා මූලික කරගත් ගාථා ධර්මයේ ම හරයයි.

වර්තමාන සමාජ අවශ්‍යතා පදනම් කරගනිමින් බොහෝ පුද්ගලයන් ධර්මය අධර්මය හැටියටත්, අධර්මය ධර්මය හැටියටත් දකිමින් කටයුතු කිරීම මගින් ගොඩනැගී ඇති අර්බුධකාරි තත්ත්වය කාටත් දැකගැනීමට හැකි ය. අන් ජීවිත පිළිබඳ අබමල් රේණුවක තරම් හෝ වටිනාකමක් නොදක්වමින් ධනය හා බලය පසුපස හඹායන සමාජයක් ගොඩනැගී ඇති මෙවන් පසුබිමක රටෙහි අනාගතය හා මානව සත්ත්වයාගේ යහපැවැත්ම පිළිබඳ පවතින්නේ දැඩි කනගාටුවකි.

පින්වතුනි, අංගුත්තර නිකායේ තමෝතම පරායන සූත්‍රයේ පුද්ගල ප්‍රභේද හතරක් පිළිබඳව පෙන්වා දේ. ඒ අනුව,

තමෝ තම පරායන
අඳුරෙන් අඳුරට යන පුද්ගලයා
තමෝ ජෝති පරායන
අඳුරෙන් ආලෝකයට යන පුද්ගලයා
ජෝති තම පරායන
ආලෝකයෙන් අඳුරට යන පුද්ගලයා
ජෝති ජෝති පරායන
ආලෝකයෙන් ආලෝකයට යන පුද්ගලයා

මෙම දේශනාව පිළිබඳ මෙනෙහි කරමින් තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනාකළ ධර්ම මාර්ගයේ යමින් ආලෝකයෙන් ආලෝකයට ගමන් කිරීමට නුවණැස පහළ වේවා! අවසානයේ සදා සැනසීම ඇති උතුම් නිර්වාණ සුවයම හේතු වේවා!