Print this Article


බෝසත් දරුවන්ට: හික්මීමට ශික්ෂා පද

හික්මීමට ශික්ෂා පද

පින්වත් දරුවනේ, අද පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය. සම්මා සම්බුද්ධ ශාසනය, ශ්‍රී ලංකා ධරණී තලයට හිමිකරදුන් දවස. ඒ නිසයි දරුවනේ මිහිඳු මහ රහතන් වහන්සේට අනුබුදු මිහිඳු හිමි කියන්නේ.

දරුවන් දන්නවා ද? මේ ලෝකයේ විවිධ අධ්‍යාපන ක්‍රමවේදයන් තිබෙනවා. අධ්‍යාපනය දෙන, අධ්‍යාපනය ලබන විවිධ ක්‍රමවේදයන් තිබෙනවා. ප්‍රාග් බෞද්ධ යුගයේ, ඒ කියන්නේ දරුවනේ, ලොව්තුරු බුදුරජාණන් වහන්සේ පහළ වීමට කලින් අධ්‍යාපන ක්‍රමවේදයක් තිබුණා “උපනිෂද්” අධ්‍යාපනය ක්‍රමය කියලා. “උප” කියන්නේ සමීපයේ කියලයි. “නිෂද්” කියන්නේ වාඩි කරවලා උගන්වන දේ . ගුරුවරයා දන්නා ශිල්පයන් හි හොඳම දේ, වටිනා ම දේ උගන්වන ක්‍රමවේදයටයි “උපනිෂද්” අධ්‍යාපනය කියන්නේ. තව විදියකින් සඳහන් කළොත්, “ගුරුමුෂ්ටිය” යන වචනය අසා තිබෙනවා නේද? ගුරුවරයා දන්නා හොඳම දේ දෙන්නේ විශ්වාසවන්තම ශිෂ්‍යයාට පමණයි.

ඉතින් මේ උපනිෂද් අධ්‍යාපන ක්‍රමය, බුදුරජාණන් වහන්සේ අපට හඳුන්වා දුන්නේ කොහොම ද? “උපවසථ” අධ්‍යාපන ක්‍රමය ලෙසයි. මේ වචනය සන්ධි වුණා ම “උපෝසථ” යනුවෙන් නිර්මාණය වෙනවා. පෝය දවසට කියන කියන තවත් නමක් උපෝසථ දවස. අද මේ ලිපිය කියවන බොහෝ දරුවන් උපෝසථ සීලය සමාදන් වී ඇති. අද දවසට උපෝසථ කියන්නේ සමීපයේ වාසය කරනවා කියන අර්ථයෙන්. උපෝසථ සීලය කියන්නේ සමීපයේ වාසය කරමින් සමාදන්වන සීලයටයි. කවුරුන් සමීපයේ ද දන්නවා ද? උතුම් තෙරුවන් සමීපයේ . තවත් පැහැදිලි කරනවා නම් බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය සමීපයේ සමාදන්වන සීලය උපෝසථ සීලයයි. බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාපන ක්‍රමයේ සාරවත් ම, වටිනා ම කොටස ඉගැන්වෙන්නේ පෝය දවසෙයි. එසේත් නැතිනම් උපෝසථ දවසේ. සිල් සමාදන්වන අවස්ථාවේ.

“ඉමානි අට්ඨාංග උපෝසථ ශීලානි සමාධියාමි” යනුවෙන් සජ්ඣායනා කරනවා මතකයි නේද? දරුවනේ තෙරුවන් සමීපයේ දී යි සිල් සමාදන් වෙන්නට ඕනෑ. වර්තමානයේ නම් සමහර අය පන්සලට යන්නේ නෑ. ගෙදර සිට සිල් සමාදන් වෙනවා. යන්න එන්න අපහසු නම්, අසනීපයක් නම් ප්‍රශ්නයක් නෑ. ඒත් ඉතින් මහන්තත්ත්වකමට, උඩඟුකමට නිවෙසේ දී සිල් සමාදන් වනවා නම් එය සම්පූර්ණ උපෝසථයක් වෙන්නේ නෑ. දරුවන් පුරුදු වෙන්නට ඕනෑ හැකි සෑම අවස්ථාවක ම පන්සලට ගිහින් සිල් සමාදන් වෙන්නටයි.

අපි තෙරුවන් සමීපයේ වාසය කරමින් සමාදන් වන්නේ මොනවා ද? ශික්ෂා පද. ශික්ෂා පද කියන්නේ මොනවාද? ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අප ශික්ෂණය කිරීම සඳහා ලබාදුන් උපදෙස්වලටයි ශික්ෂා පද කියන්නේ. ශික්ෂණය කියන වචනයෙහි විවිධ අර්ථ තිබෙනවා. දැනුම, අවබෝධය, හික්මීම වැනි තේරුම්. නිවැරැදි ම තේරුම “පුහුණුව“ යන්නයි. එහෙම නම් මේ උපදෙස් ලබා දී තිබෙන්නේ අප පුහුණු කිරිම සඳහා යි.

ශික්ෂණය කිරීම සඳහා ශික්ෂා පද එතකොට අද දවසේ ශික්ෂා පද අටක් සමාදන් වුණා නේද? දිනපතා ශික්ෂණයට ශික්ෂා පද පහයි. ඒවාට පන්සිල් කියනවා. පෝය දවසේ ශික්ෂණයට ශික්ෂා පද අටයි. ඒවාට අටසිල් කියනවා. සමහර උපාසක උපාසිකාවන් ගිහි දස සීලයත් සමාදන් වෙනවා. සාමණේර පොඩි හාමුදුරුවන් වහන්සේ පුහුණු වීම සඳහා පැවිදි දස සීලය සමාදන් වෙනවා. උපසම්පදා ස්වාමීන් වහන්සේ ශික්ෂා පද දෙසිය විසි හතක් සමාදන් වෙනවා. බුදුරජාණන් වහන්සේ අප පුහුණු කිරීම සඳහා මොනතරම් උපදෙස් ලබා දී තිබෙනවා ද?

ඒ වගේ ම දරුවනේ, අද ලෝකයේ දියුණු විශ්වවිද්‍යාලවලට ශිෂ්‍යයන් තෝරා ගන්නා සම්මුඛ පරීක්ෂණ සඳහා භාවිත කරන්නේ බුද්ධි පරීක්ෂණ ක්‍රම වේදයන්. මේ බුද්ධි පරීක්ෂණ ලෝකයට හඳුන්වා දුන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ. එක බුද්ධි පරීක්ෂණ ක්‍රමයක් වන්නේ මහණ කිරීම සඳහා කෙනෙක් තෝරාගන්නා ක්‍රමවේදයයි. මේ දූවරු පුතාලා කැමති ද මහණ වෙන්න. මහණ වීම සඳහා තිබෙන පුංචි ම ක්‍රම වේදය වයස අවුරුදු හත, අට ආදී ලෙස සංඛ්‍යාත්මකව නොවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කපුටෙක් එළවා දමන්න පුළුවන්නම් මහණ කරන්න පුළුවන් කියලා. මේ ක්‍රමවේදයත් බුද්ධි පරීක්ෂණ ක්‍රමයක්. කපුටෙක් එළවා දමන්නට නම් ශක්තීන් දෙකක් තිබිය යුතුයි. කපුටා කියන්නේ අපිරිසුදු පක්ෂියෙක්. හැම වෙලාවෙ ම කුණු කසළ අවුස්සනවා. ඒ විදිහට හිතන්න පුළුවන් නිරෝගී, මානසික ශක්තියක් තිබෙන්නට ඕනෑ. ඊළඟට කපුටා එළවන්න කියලා ගල්කැටයක් අරගෙන ඒ දෙසට විසි කරන්නට පුළුවන් නිරෝගීමත් කායික ශක්තියක් තිබෙන්නට ඕනෑ. නිරෝගිමත් මානසික හා කායික ශක්තියක් තිබෙන ඕනෑම කෙනකුට මහණ වෙන්න පුළුවන්.

දරුවනේ මෙවන් පරීක්ෂණයකට කපුටා ම තෝරා ගත්තේ ඇයි. පක්ෂීන් අතර කපුටා නිතර කෑ ගසන පක්ෂියෙක්. අපිරිසුදු සතෙක් කියලා හොඳින් සිතන්නට පුළුවන්කම තිබෙන්න ඕනෑ. හිතුවාට පමණක් එළවා දමන්නටත් බැහැනේ. ගලක් අරගෙන දුවලා ගිහින් එළවා දමන්නත් ශක්තියක් තිබෙන්න ඕනෑ. ලෙඩ වුණු, මන්ද බුද්ධික කෙනෙකුට නම් මේ කාර්යය කිසිසේත් කරන්න බැහැනේ.

ගල් කැටවලින් ගසා කපුටන් එළවා දැමිය යුතු බව මේ කියන දෙයින් අර්ථවත් නොවන බව දරුවන් හොඳින් තේරුම් ගන්නටත් ඕනෑ. මෙය බුද්ධි පරීක්ෂණ ක්‍රමවේදයක් පමණයි.

ඒවගේ ම දරුවනේ, මහණ කරන්න නොගැළපෙන පුද්ගලයන් තිස් දෙදෙනෙක් ඉන්නවා. එයින් මග හැරෙන්නටත් ඕනෑ. පෙනෙනවා නේද දරුවනේ පුංචි හාමුදුරුවරු මහණවෙලා ඉන්නේ මොන තරම් අමාරුවෙන් ද කියලා. ලොකු හාමුදුරුවන් වහන්සේට වැඳලා ගරු කරනවා වගේ ම, පොඩි හාමුදුරුවන්ටත් වැඳලා ගරු කරන්නට ඕනෑ. පොඩි හාමුදුරුවෝ වයසින් අඩුයි කියලා අවතක්සේරු කරන්න හොඳ නෑ.

දරුවනේ පුංචියි කියලා සිතන්නට සුදුසු නැති සතර දෙනෙක් ඉන්නවා. එක් අයෙක් කුඩා නයි පැටවා. පුංචි යි කියලා නයි පැටවෙකුට කිරිපොවන්න ගියොත්, සුරතල් කරන්න ගියොත් මුළු ජීවිතය ම නැතිවෙන්න වුණත් පුළුවන්. ඒ නිසා සර්පයා පොඩි යි කියලා සිතන්න හොඳ නෑ.

ඊළඟට කුඩා ගිනිකූර. දරුවනේ, කුඩා ගිනි කූරකින් මුළු ගමක්, රටක්, ලෝකයක් දවා අළු කරන්නට පුළුවන්. ඊළඟට පුංචි රජ කුමාරයා. සෙල්ලම් කරන වෙලාවට, රජකුමාරයා තවම පොඩි වයසේ නේ කියලා කරදර කරන්න හොඳ නෑ. දවසක ඒ පුංචි කුමාරයා රජවෙලා පලිගන්නට පුළුවන්. ඒ නිසා රජ කුමාරවරු සමඟ සෙල්ලම් කරන්නේ පරෙස්සමෙන්

ඊළඟට පුංචි හාමුදුරුවෝ. පොඩි හාමුදුරුවෝ වයසින් අඩුයි කියලා අඩු සැලකිලි කරන්න හොඳ නෑ. ලොකු හාමුදුරුවන්ට දානය පිළිගැන්වූවත්, පොඩි හාමුදුරුවන්ට දානය පිළිගැන්වූවත් එකම ආනිශංසයමයි. දරුවනේ, මහණකම ගැන මේ තරම් විස්තර කළේ, මේ ලංකා ධරණී තලයට මහණ වෙන හැටි, මහණ කරන හැටි, කියලා දුන්නේ අද වගේ පෝය දවසක. මතකයි නේද, මිහිඳු මහ රහතන් වහන්සේ සමඟ භණ්ඩුක උපාසකතුමා මෙහි ආවා. ඒ පැවිදි කරවන ආකාරය ලංකාවාසී ජනතාවට පහදා දෙන්නටයි. ඊළඟට සුමන සාමණේරයන් වහන්සේත් වැඩම කළානේ. ඒ උපසම්පදා කරන ආකාරය ඉගැන්වීමටයි. මේ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය මේ පින්බිමේ බුද්ධ ශාසනය පිහිට වූ දවසයි කියලා දැන් පැහැදිලි නේද?

දරුවනේ අප කතා කළේ බුද්ධි පරීක්ෂණ ගැනයි. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා, රටේ රජතුමාට මේ ධර්මය තේරුම් ගන්නට පුළුවන් ද කියලා. බැලුවේ බුද්ධි පරීක්ෂණයක් කරලයි. ප්‍රශ්නවට දෙකක් තියලා. දන්නවා නේද? එකක් අඹ ප්‍රශ්නය. දෙවැන්න ඥාති ප්‍රශ්නය. දරුවනේ, අපගේ පිනට එදා දේවානම් පියතිස්ස රජතුමා මේ බුද්ධි පරීක්ෂණය සමත් වුණා. ඒ නිසයි අපට මේ සා උතුම් ධර්මයක් ලැබුණේ. සම්බුදු දහම දායාද වුණේ.

බුදු දහමතුළ බුද්ධි පරීක්ෂණ ක්‍රමවේද විශාල ප්‍රමාණයක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාපන ක්‍රමවේදය මේ දුක් සහිත සසරින් එතෙර වෙන්න මහෝපකාරී වෙනවා. ඒ නිසා පෝය දවසේ විතරක් නොවෙයි. ජීවිතයේ හැම දවසක ම ධර්මය සමඟ ඉන්නට ඕනෑ. කෙනෙක් දොස් නඟන විට, කෙනෙක් හොඳ කියන විට, නින්දා කරන විට, ප්‍රශංසා කරන විට, තමන්ට දුකක් දැනෙන මොහොතක, සැපක් ලැබෙන මොහොතක, ලාභයක් ලැබෙන තැන, අලාභයක් ලැබෙන තැන ධර්මානුකූලව ම සිතන්නට ඕනෑ. මේ අවස්ථා අටේ දී ම, එසේත් නැතිනම් අටලෝ දහම හමුවේ දී ම මැදහත් ව සිතන්නට පුළුවන් නම්, මධ්‍යස්ථ ව දරා ගන්නට පුළුවන්නම් මේ පින්වත් දරුවන් සැම දෙනා ම මේ ලෝකය ජයගත් දරුවන් බවට පත්වෙනවා.