අනුබුදු මිහිඳු මාහිමි වැඩි පොසොන් පොහෝදා
අනුරාධපුර අටමස්ථානාධිපති
ආචාර්ය
පල්ලේගම
සිරිනිවාස නා හිමි
බුද්ධ වර්ෂ 236 වැනි වර්ෂයේ මිහින්තලය සනහාලූ අනුබුදු මිහිඳු මාහිමියන් වහන්සේ
සමණාමයං මහාරාජ “මහරජ අපි ශ්‍රමණයෝ වෙමු’යි මධුර මනෝහර මිහිරි හඬින් දෙසා ඒ වදනින්
දෙසවන් සනහා, සිත් සනහා ගිය ඒ මිහින්තලේ දෙවන පෑතිස් නිරිඳු මුළු ලක්දිව තලයම බුදු
දහමේ ආලෝකයෙන් ආලෝකවත් කරන්නට කටයුතු කළහ.
එනිසා මහින්දාගමනය සිදු වූ ඒ අසිරිමත් පොසොන් පොහෝ දිනය ලංකා ඉතිහාසයේ සිදු වූ
විශිෂ්ටතම ආලෝකමත් අවධියක් වශයෙන් හැඳින්විය හැකි ය.
මහින්දාගමනයට පෙර ලක්දිවට ආර්යාගමනය සිදු විය. දීපවංශය, මහාවංශය, දම්පියා අටුවා
ගැටපදය, සමන්ත පාසාදිකාව, දිව්‍යාවදානය, හියුටන්සන් වාර්තා, ෆාහියන් වාර්තා ආදි
ඓතිහාසික තොරතුරු ඇසුරෙන් ආර්යයන්ගේ ලංකාගමනය තහවුරු වෙයි. ආර්යයන්ගේ පැමිණීම ලංකා
ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් වෙයි. ලක්දිව මුල්ම නගරය වූ අනුරාධපුර නගරය විධිමත්
සියලු අංගෝපාංගයන්ගෙන් පරිපූර්ණ නගරයක් බවට පත්කරන ලද්දේ පණ්ඩුකාභය රජතුමා විසනි. ඒ
වග“...........නිමිත්ත ශාස්ත්‍ර දන්නන්දන එසේම වාස්තු විද්‍යා දන්නන්ද විචාරවා හි
(අනුරාධ) ගම් හිමි උතුම් නුවරක් කරවී යැවෙති.
අනුරාධපුර ග්‍රාමය ලෝක ප්‍රසිද්ධ ඓතිහාසික අනුරාධපුරය බවට පත්කරනු ලබන්නේ පණ්ඩුකාභය
රජතුමා විසින් බව පැහැදිලි වේ. එතුමාගේ පටන් පළමුවැනි විජයබාහු රජතුමා දක්වා සියලු
රජවරුන්ගේ මාලිගා පිහිටියේ ඇතුළු නුවර ය. ඇතුළු නුවර දකුණු දිගින් රාජකීය
උද්‍යානයක් මහා මේඝ උද්‍යානය හෙවත් මහ... උයන පිහිටා තිබුණි. මෙය විශිෂ්ට, අලංකාර
උද්‍යානය, බවට පත්කරන්නේ දේවානම්පියතිස්ස රජතුමා ය.
රාජකීයයන් ඇතුළු ජනතාවට ධර්ම දේශනා කිරීම සඳහා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ
අනුරාධපුර නගරයට වැඩම කළ ද ජනාකීර්ණ ප්‍රදේශයක වැඩ සිටීමට අකැමැති වූ හෙයින් රජතුමා
විසින් මහමෙවුනාව උන්වහන්සේට පූජා කරන ලදී. විශේෂයෙන්ම මෙහිදී රජතුමා මුළු
අනුරාධපුරයට ඇතුළත් වන පරිදි සිය මඟුල් ඇතුන් ලවා අද්දවා, රන් නඟුලකින් තමා විසින්ම
මායිම් නගා, අතපැන් ගන්වා මහ මෙවුනාව පූජා කළවග මහා වංශයෙහි සඳහන් වේ.
පුරසිය අච්චාසන්නත්වා
අසාරුප්පත්ති හාසිනේ
මහා මේ සවනුස්සානං
නාති දාන සන්තිකේ
රම්ම චායුදඤජෙතං –
නිවාසෝ තත්ත රෝචතු
නිවන්ති තබ්බං භන්තෙහි –
ථේ රෝ නත්ථි නිවත්තපි
පසු කලෙක මහා විහාරය නමින් ප්‍රසිද්ධියට පත්වූයේ මේ මහමෙවුනා උයනේ පිහිටි ජය ශී‍්‍ර
මහා බෝධීන් වහන්සේ, රුවන්වැලි මහ සෑය, ලෝවාමහාපාය ඇතුළු සිද්ධස්ථාන ආශි‍්‍රතව
පැතිරී ගිය භූමි භාගය යි. ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදායේ කේන්ද්‍රස්ථානය යි. මහාචාර්ය
සෙනරත් පරනවිතානයෝ” මහා විහාරය වූ කලී අනුරාධපුර පැරැණි නගරයට දකුණෙන් පිහිටි
උද්‍යානයකි. එය භික්ෂූන් වහන්සේගේ වාසය පිණිස දේවානම්පියතිස්ස රජු විසින් සංඝයා
විෂයෙහි පූජාකරන ලදී” යනුවෙන් සඳහන් කරති.
අනුරාධපුර පුණ්‍ය භූමියෙහි පිහිටා ඇති අනුරාධපුර මහා විහාරය ශ්‍රී ලංකාවේ පළමු
විහාරය යි. දේවානම්පියතිස්ස යුගයේ සිට අඛණ්ඩව, නොනැසී පවතින්නා වූ ඓතිහාසික,
පෞරාණික විහාරය වන්නේ ද මහා විහාරය යි. මහා විහාරයට අයත් අටමස්ථානය මුළු මහත්
ලෝකයාම ඉමහත් ගෞරවයෙන් සිහිපත් කරති. බුදු පියාණන් වහන්සේ දුටුවා සේ ම සතුටු වෙති.
මේ අතරින් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ද මුදුන් මල් කඩක් සේ බෞද්ධයෝ සලකති. තම
පණටත් වඩා ආදරය කරමින් ආරක්ෂා කළහ. ආරක්ෂා කරති. ජාතියේ මුර දේවතාවා වශයෙන් සලකති.
පොසොන් පොහොය වූ කලී හුදෙක් පොහොය දවසක්ම නොවේ. එය සිංහල ජාතියේ, සිංහල සංස්කෘතියේ
ද, බුදුදහමේ සංකේතය යි. මහින්දාගමනයට පෙර යුගයේ පැවති තත්ත්වය පිළිබදව විමසා
බැලීමෙහිදී එය වඩාත් තහවුරු වෙයි. බ්‍රාහ්මණ ආගම ප්‍රධාන කොට ජෛන පරිබ්‍රාජක,
ආජීවක, තාපස වැනි ශ්‍රමණ ඉගැන්වීම් පමණක් නොව යක්ෂ, නාග, දේව පමණක් නොව වෘක්ෂ, ඉර,
හඳ. තාරකා. අග්නි, පර්ජන්‍ය ආදි වස්තූන් දේවත්වයෙහිලා සැලකූ සමාජයක් එකල පැවති බව
පෙනේ.
මෙවැනි අසංවිධිත, අඳුරු මිථ්‍යා මතවලින් ගහණ සමාජයකට මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනය
පූර්ණ සූර්යා ලෝකයක් බඳු විය. බුදු දහම මෙරටට හඳුන්වාදීමෙන් අනතුරුව ඉහත කී සියලු
ආගමික මත නව මාවතකට පිළිපන්හ. බොහෝ මතවාද බෞද්ධ සංකල්ප වලට පරිවර්තනය විය. විශ්වය
මෙන්ම සියලු සතා සිව්පාවා නිර්මාණය වූයේ සර්ව බලධාරි දෙවියන් විසින් යන සංකල්පය
බැහැර වී තමාගේ විමුක්ති දායකයා තමාම ය. “ශුද්ධි අශුද්ධි පච්චත්තං” යන උතුම් දහමට
අනුව සමාජය වෙනස් විය. රජුන්ට අවවාද අනුශාසනා කළ බමුණු පුරෝහිතයන් වෙනුවට භික්ෂූන්
වහන්සේගේ අවවාද අනුශාසනාවලට අනුව හැඩ ගැසුණු රාජ්‍ය පාලන ක්‍රමයක් බිහිවන්නේ
භික්ෂූන් වහන්සේලාගේ මාර්ගෝපදේශකත්වයෙනි. සතර සංග්‍රහ වස්තු වලට අනුගතව, සතර
අගතියෙන් තොර දස රාජ ධර්මයෙන් හා පංචශීල ප්‍රතිපදාව. දස සක්විතිවත්, සතර බ්‍රහ්ම
විහරණ, සප්ත අපරිහාණිය ධර්ම ආදී බුදුදහමේ ඉගැන්වෙන ධර්මෝපදේශයන්ට අනුගත රාජ්‍ය
පාලනයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය විය.
මිනිසුන්ගේ හදවත්වල දයාව, කරුණාව, ඉවසීම, වැඩිහිටියන්ට සැලකීම, දෙමාපියන්ට සැලකීම,
අන්‍යයන්ට ගරු කිරීම, වෛර නොකිරීම ආදි උතුම් ගුණ ධර්මවලින් සපිරි ආධ්‍යාත්මික මානව
සමාජයක් ගොඩනැගුණේ එදා පොසොන් පොහොය දවසේ ලක්දිවට වැඩම කොට පාදස්පර්ශයෙන් සිරිලක්
මිහිතලය පාරිශුද්ධ කළ අනුබුදු මිහිඳු මාහිමියන් නිසා ම ය. උන්වහන්සේ ගේ අවවාද
අනුශාසනයෙහි පිහිටීම නිසා රජය හා බුදුදහම අතර පැවතියේ අවියෝජනීය සබඳතාවයකි.
අතීත නරපතීහු සිය ජීවිතය පිළිබඳව නොසිතා බුදු දහමත්, රටත් ආරක්ෂා කිරීමට කටයුතු
කළහ. දුටුගැමුණු නරපතීන්” මාගේ මේ ව්‍යායාමය රජ සැප පිණිස නොවේ. සම්බුද්ධ ශාසනයේ
චිරස්ථිතිය සඳහාය” යන්නෙන් ප්‍රකාශ කිරීමෙන් එය පැහැදිලි වේ. පාත්‍ර ධාතුව, දන්ත
ධාතුව ආරක්ෂකයා රජු වශයෙන් පිළිගැනීමට මෙරට වැසියෝ පෙළඹුණේ ඒ නිසා ය.
මහා විහාරය බෞද්ධාගමික කාර්යයක් පමණක් නොව රාජ්‍ය තන්ත්‍රය ද පාලනය කරන
මධ්‍යස්ථානයක් විය. එය භික්ෂු අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් විය. පිරිසුදු ථේරවාදී
බුද්ධ ධර්මය රට පුරාම ව්‍යාප්ත වූයේ එම මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගෙන ය.
රජවරු හා මහා විහාරිය භික්ෂූන් වහන්සේලා අතර පැවතියේ දැඩි සම්බන්ධතාවයකි. එහි
ප්‍රතිඵලයක් වශයෙන් රජුන් පත් කිරීම,ඔවුන්ට උපදෙස් දීම, අභිෂේක උත්සව පැවැත්වීම,
රජුන් සමගි කිරීම, බුදු සසුන ලක් රජයට පූජා කිරීම, රටට, ජාතියට, බුදුදහමට එරෙහිවන
රජුන් ඉවත් කිරීම, පූජනීය වස්තූන් මුල්කරගෙන පෙරහර පැවැත්වීම ආදි පුජෝත්සව
පැවැත්වීම, රටට විපත්තියක් , කරදරයක් පැමිණි අවස්ථාවලදී මූලිකත්වය ගැනීම යන
අවස්ථාවලදී භික්ෂූන් වහන්සේ ප්‍රධානත්වය ගත්හ.
ලාංකීය බෞද්ධ සමාජය අධ්‍යාත්මික අතින් පෝෂණය වූවා පමණක් නොව විශිෂ්ට සාහිත්‍ය
කලාවන්ගෙන් ද යුතු සංස්කෘතියක් ද බිහිවිය. ලේඛනය, ගෘහ නිර්මාණ ශිල්පය, මූර්ති
කැටයම් චිත්‍ර ආදී සෑම අතින්ම පොහොසත් සාමජයක් බුදුදහම නිසා මෙරට ස්ථාපනය විය.
අහස්කුස සිපගන්නා මහා කොත් කැරලිවලින් යුතු මහා චෛත්‍ය , මුලු මහත් ලෝකයා මුසපත්
කරවන සමාධි පිළිම වහන්සේ, ලෝවාමහාපාය, පමණක් නොව මහාවාපි සංස්කෘතියක් ශ්‍රී ලංකාව
තුළ ගොඩනැගෙන්නේ එදා පොසොන් පොහෝදා මිහින්තලාවේ අම්බස්තලයට ලංකාවසී සියලු සතුන්
කෙරෙහි අනුකම්පාවෙන් වැඩම කළ අපේ අනුබුදු මිහිඳු මාහිමියන් නිසාම ය. එබැවින් එම
සිහි කිරීම,අනුස්මරණය කිරීම, උන්වහන්සේ දේශිත සමාජයක් ගොඩනැගීමට කටයුතු කිරීම
ලාංකික අප සැමගේ වගකීමකි. යුතුකමකි. එය පුද්ගල පාරිශුද්ධිය ඇති කරගෙන
නිර්වාණාවබෝධයට හේතුවන්නකි. සියල්ලෝ සතුටින් ඇත්තෝ වෙත්වා! උතුම් දහමින් සැනසෙත්වා!
සදා සැනසේවා! නිවන් අවබෝධ කරගනිත්වා! |