අනුවණ දන
මෙලොව මත් වෙති යොවුන් මදයෙන්
මහාචාර්ය
දේවාලේගම මේධානන්ද හිමි
මද යනු පාලි ව්‍යවහාරයෙකි. අත්තුක්කංසනය හෙවත් තමා උසස් කොට සලකා ගනිමින්, පරවම්භනය
හෙවත් අනුන් පහත් කොට සලකා ගැනීම, තමා වෙත ඇතැයි සිතාගත් අනේකාකාර විශේෂත්වයක් නිසා
මත්වීම, උඩඟුවීම, මානය එයින් අදහස් වෙයි. අංගුත්තර නිකාය මද සූත්‍රය මද තුනක් ගැන
ද, අභිධර්ම අටුවාවන්හි මද විසිහතක් ගැන ද සඳහන් කරයි. බුදු බණ නෑසු, බුදුදහම
නොදන්නා, එබැවින්ම ජීවිතයේ ඇති තතු වටහා නොගත්, නුදුටු අනුවණයෝ යොවුන් මදයෙන්
මත්වෙති. ජාතිය, ගෝත්‍රය මුල් කොටගෙන මදයට ප්‍රමාදයට පත්වෙති. කවර කරුණක් නිසා හෝ
මද මාන උපදවා ගැනීම කවරෙකුගේ වුව ද මෙලොව පරලොව පිරිහීමට ම හේතු වන්නේ ය.
මද අතුරින් යොබ්බන මදය ප්‍රධාන ය. ඉන් අදහස් වන්නේ තරුණකම මුල්කොටගත් මත්වීම යි.
මානය යි. තරුණ තරුණියෝ නම් කායික වශයෙන් ශක්තිය ඇත්තෝ ය. කයින් සවිමත් වන්මෝ ය.
එසේම මානසික වශයෙන් ද ඔවුහු ශක්තිමත් වෙති. සිතින්ද සවිමත් වෙති. සිය හැඩරුව
පිළිබඳව වැඩි උනන්දුවක් ඇති නව යෞවන යෞවනියෝ වඩාත් අභිමානවත් ද, ආවේගශීලි ද, වන්නෝ
ය. ඔවුන් යොවුන් මදයෙන් මත්වීම
සැබැවින්ම කනගාටුදායක ය. ඔවුන් සතු කායික හා මානසික
ශක්තිය ද නිදහස් සිතුම් පැතුම් ද , නොපසුබස්නා කැපකිරීම් ද තුළින් තමාටත්, ලෝකයාටත්
කළ හැකි යහපත ඉන් වැළකී යයි. බුදුදහම පෙන්වා දෙන පරිදි “බුදුබණ නොදන්නා එබදු අනුවණ
තරුණ, තරුණියෝ කයින් ද, එනම් ක්‍රියාකාරකම් වලින් ද වරදට යොමු වෙති. පව්කම් කරති.
වදනින් ද, එනම් භාෂණයෙන් ද, වරදටම පෙළඹෙති. පව්කම් කරති. සිතින් එනම් චින්තනයෙන් ද
වරදට යොමුවෙති. පව්කම් කරති.’ (අංගුත්තර නිකාය මද සූත්‍රය) ඔවුහු වැඩිහිටියන්,
අත්දැකීම් බහුල වූ පැසුණු වෘද්ධයන් නොසලකා හරිති. විටෙක ඔවුන් අවමානයට, උපහාසයට ලක්
කරති. තමන් ම නිවැරැදි යැයි ද නුවණ ඇත්තවුන් යැයි ද සලකා කටයුතු කරති. මන්මත් වෙති.
වැඩිහිටියන්ගේ ඔවදන් නොතකා හරිති. ඔවුන් සමඟ වාද විවාද කරති. තමන් උසස් යැයි ද,
නුවණක්කාරයැයි ද සිතති. අනුන් හෙළා දකිති. මෙම මානසික තත්වය හා එයින් උපදනා
ක්‍රියාදාමය ගැටුමක්, කලහයක් දක්වා වර්ධනය විය හැකි ය. එයට පරම්පරා ගැටුම යැයි ද
කියනු ලැබේ. එනම් තරුණ පරපුර හා වැඩිහිටි පරපුර අතර ඇතිවන ගැටුම යි. අදහස් සිතුම්
පැතුම් අතර නොගැළපීම යි.
“වැඩිහිටි බව වූකලි ගෞරවයටම භාජනය විය යුත්තකි. වැඩිමහල්ලා ගරු කළ යුත්තෙකැ ‘යි
දන්නා තැනැත්තෝ එය ක්‍රියාවට නගයි.වන්දන මානන පුජාආදිය කරයි. දැක හුනස්නෙන්
නැගිටියි. සත්කාර කරයි. උවටැන් කරයි. ඔවුහු මෙලොවදී ම නුවණැති සත්පුරුෂයන්ගේ
පැසසුමට ලක්වෙති. මරණින් මතු සුගතිගාමී වෙති”යි බුදුරජාණන් වහන්සේ වදාළහ. (ජාතක
පාලි) එසේ බාලයන් විසින් වැඩිහිටියන්ට ගරු කිරීම වුද්ධාපචායනය යි. එකී වතාවත් කිරීම
පින්කිරියවතෙක් වේ. එම පිළිවෙත ඇත්තේ දෙවියන්ගෙන් ද පැසසුම් ලබන්නේ යැයි දම්පියාව
උගන්වයි. එහෙත් තරුණ මදයෙන් මත්වූයේ එසේ නොකරයි. වැඩිහිටියන් වෘද්ධයන් මහලුවියට
පත්වූවන් කිසිවක් නොදන්නා, කිසිත් හැකියාවක් නැති. දුබලයන්, මෝඩයන් ලෙස සැලකීමට
යොවුන් මදයෙන් මත්වු තරුණ තරුණියෝ පෙළඹෙති. ඒ වූකලි මහා ඛේදවාචකයකි. දියුණු
මිනිසුන් විසින් පිළිකුල් කරන්නකි. අනුවණ කමෙකි.
“අනුවණයෝ තරුණ වයසෙහි උසස් පිළිවෙත් ද නොපුරා ධනය ද සපයා නොගෙන නියඟයෙන් දිය සිඳී
ගිය, මසුන් නැති දිය විලෙක, මඩෙහි එරී (විල දියෙන් පිරි පැවැති අවදියෙහි එහි සිටි
මසුන් ගොදුරට ගැන්මට නොහැකි වීම නිසා පසුතැවෙන) කොස්වාලිහිණියෙකු මෙන් පසුකලෙක
පසුතැවිලි වෙති. දුනුවායෙකු සිය කාය ශක්තිය මැනැවින් යොදා මුදාහරින ඊතලය හඬා නගාගෙන
අධිවේගයෙන් යන්නේ ය. එහෙත් එය දුනුවායාගෙන් ලැබුණු ජවය අවසන් වූ විට බිම පතිත වෙයි.
තවත් ඉදිරියට යා ගත නොහැක්කේ. ඇද වැටුණු තන්හි ම දිරායයි. උසස් පිළිවෙත් ද නොපුරා,
ධනෝපායන ද නොකොට හුදෙකලා යෞවනයෙන් මත්ව, දුසිරිතෙහි ද පාප මිත්‍ර සේවනයෙහි ද නිරත
වු තරුණයා ද එබඳුයැ’යි ධම්මපදයෙහි කියැවෙයි. දම්පියා අටුවාවෙහි දැක්වෙන පරිදි ඉහත
කී බුදුවදන ප්‍රකාශ වූයේ යොවුන් මදයෙන් මත්ව මද්‍යසාර භාවිතය, පාප මිත්‍ර ආශ්‍රය
ඇතුළු අනේකවිධ නුසුදුසු පුරුදුවලට ඇබ්බැහිවී තම පියාගෙන් උරුම වු මහා ධන සම්පත් ද,
තම බිරිඳ නිසා දායාද වු මහා ධන සම්පත් ද, විනාශ කරගත් මහ ධන සිටු පුත් අරභයා ය.
හෙතෙම පිය උරුමය වූ සිටු තනතුර පමණක් නොව සමාජයෙන් උරුම වු ගෞරවය ද නැති කරගත්තේ ය.
සමාජය විසින් පිළිකුල් කළ හෙතෙම දෙව්රම් වෙහෙර භික්ෂුන් වළඳා ඉවත දමන ඉඳුල්වත් සොයා
පැමිණ සිටියේ සිය බිරිඳත් සමඟ යි.
ඒ නොමඟට ගිය යෞවනය යි. මත් වු උමතු වු තරුණකම යි. සුමගට ගත් යෞවනය, මදයෙන් මත් නොවු
තරුණකම කෙතරම් බලවත්දැයි අපට පැහැදිලි කරගත හැක්කේ බුදුරජාණන් වහන්සේගේ චරිතය හා
උන්වහන්සේට ශ්‍රාවක වු ප්‍රමුඛතම භික්ෂූන් වහන්සේලාගේ චරිතාපදානයන් ද විමසීමෙනි.
සිදුහත් කුමරු ගිහිගෙයින් නික්මෙද්දී, එනම් අබිනික්මන් කරද්දි එතුමාගේ වයස විසි
නමයක් වූයේ ය. එතුමන් කලු කෙස් ඇතිව භද්‍ර යෞවනයෙන් යුතුව මාපියන් හඩාවැටෙන වයසේ දී
ගිහිගෙය හැර පැවිදි වූ බව පෙළදහම කියයි. එසේම එතුමෝ සුකුමාල වූ, අතිශයින්ම සුකුමාල
වූ රූමත් තරුණයෙකු වූහ. එහෙත් යොවුන් මදයෙන් මත් නොවූහ. යෞවනය නිසා උපදවාගත්
මානයෙන්, උමතුවෙන් තොර වූ හ. එබැවින් ම පෙරනිමිති තුළින් දුටු ජීවිතයේ යථාර්ථය
එතුමාගේ නොමද අවධානයට ලක් වූයේ ය. කටුක දුක් දෙන, අනේකාකාර රෝගාබාධවලට ලක්වන, ජරා
ජීර්ණව, වෘද්ධව බෙලහීන වන එසේ ජාති ජරා ව්‍යාධීන් උරුම කොටගත් දුක් සහිත පැවැත්මක්
සත්වයාට උරුමව ඇති බව අවබෝධ කළහ. ගුරුන් සොයා ගිය, දුෂ්කර ක්‍රියා කළ බෝසත් උතුමෝ
අවසන ඒ සියල්ල හැර, එහෙත් ඒ සියල්ලෙන් මුහුකුරාගොස්, අනුන්තර වු සම්මා සම්බුදු බවට
පත් වූ හ. ඒ තිස් පස් වැනි තරුණ වියේදී ය. බුදු බවට පත් උන්වහන්සේ වටා මුල්
අවදියේදී එක්වූයේ ද නව යොවුන් තරුණයෝ වූ හ. පස්වග භික්ෂූන්, තුන් බෑ ජටිලයන්,
ඔවුන්ගේ සිසුන්, යස කුලපුත් හා ඔවුන්ගේ මිතුරන් ද මීට නිදසුන් වේ. මේ යෞවන මදයෙන්
මත් නොවීමේ හා ඇති තතු ඇති හැටියෙන් දුටු නිදහස් නිවහල් විචාර පූර්වක තාරුණ්‍යයේ
අග්‍රඵලය යි. |