[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 සිතේ ස්වභාවය මැනවින් හඳුනා ගනිමු

 සිතේ ස්වභාවය මැනවින් හඳුනා ගනිමු

" පසිඳුරන් දක්නට ඇතත් මෘත ශරීරයක පංච ඉන්ද්‍රියන් අක්‍රිය වේ. ක්‍රියාත්මක බවක් නොමැත. නිසොල්මන් ය. එහි දී කයෙන් සිත ඉවත්ව නිරුද්ධ වී ගොස් ඇත. සජීවි, මිනිසාගේ පංච ඉන්ද්‍රියන් බාහිර ආරම්මණ (අරමුණු) අනුව ක්‍රියාත්මකව පවතී. සියලුම ඉරියව්, ක්‍රියාකාරකම් සජීවී ව ම පවතින බව සඳහන් වේ."

දූරංගමං එකචරං
අසරීරං ගුහාසයං
යෙ විත්තං සඤ්ඤමෙස්සන්ති
මොක්ඛන්ති මාරබන්ධනා

“දුර ගමන් යන, තනිව හැසිරෙන, සිරුරක් නැති ගුහාවක වසන සිත සංවර කරන තැනැත්තා මාර බැම්මෙන් මිදේ.”

මෙම ගාථාව ධම්ම පදයේ වග්ග 26 න් චිත්ත වග්ගයට අයත් පස්වන ගාථාව ය. භාගිනෙය්‍ය සංඝරක්ඛිත හිමියන්ගේ සිත විසිරෙන ආකාරය හා සිතේ ස්වභාවය පිළිබඳව බුදුරජාණන් වහන්සේ මනාව දේශනා කළ සේක.

ලෝකයේ ඉතාමත් වේගයෙන් ගමන් කරන විවිධ වූ දේ බොහෝ ය. විදුලිය, අකුණුසැර, දුරකතන ජාලය,ගුවන් විදුලි ,රූපවාහිනී තරංග මිනිස් හා තිරිසන් සතුන්ගේ විවිධ හඬ, ගුවනේ ගමන් කරන විවිධ යානා, පෘථිවියේ සහ මහමුහුදේ ගමන් කරන යානා, මෙහිදී පෙන්වා දිය හැක. ඒ සියලුම දේ අභිබවා ඉතාමත් වේගවත් ම ශක්තිය චිත්ත වේගය ලෙස සඳහන් කිරීමට හැකි ය.

සිතේ වේගය මැනීමට මිම්මක්,

උපකරණයක් තවම සාදා නොමැත. අනාගතයට ද එවන් විශේෂ ක්‍රමයක්, නිෂ්පාදනයක්. යම් කෙනෙකුට නිර්මාණය කිරීමට නොහැකි වනු ඇත.

උදාහරණයක් ලෙස තත්ත්පරය කෝටියට බෙදා ලැබෙන කොටසටත් වඩා සිතේ වේගවත් බව වැඩි ය. චිත්තය ( සිත) ප්‍රධාන කොට යම් යම් ආරම්මණ (අරමුණු) ගන්නා අවස්ථාවේ දී බාහිර වස්තු හරහා සිත ගමක් කරන වේගය සිතා ගැනීමටවත් අපහසු ය. සිත ගැන කරුණු ඉදිරිපත් කිරීමේ දී පංච ඉන්ද්‍රියයන් පිළිබඳව කිවයුතු ම වේ.

චක්ඛු (ඇස) ඉන්ද්‍රිය,
සෝත (කන) ඉන්ද්‍රිය,
ඝාණ (නාසය) ඉන්ද්‍රිය,
ජිව්හා (දිව) ඉන්ද්‍රිය හා
කාය (ශරීරය) ඉන්ද්‍රිය

මේ ඉන්ද්‍රියය පහ මිනිසාගේ ශරීරය තුළ අභ්‍යන්තරව දක්නට ඇත. ජීවමාන මිනිසාගේ මෙන් ම මියගිය මිනිසාගේ ද

පසිඳුරන් දක්නට ඇතත් මෘත ශරීරයක පංච ඉන්ද්‍රියන් අක්‍රිය වේ. ක්‍රියාත්මක බවක් නොමැත. නිසොල්මන් ය. එහි දී කයෙන් සිත ඉවත්ව නිරුද්ධ වී ගොස් ඇත. සජීවි, මිනිසාගේ පංච ඉන්ද්‍රියන් බාහිර ආරම්මණ (අරමුණු) අනුව ක්‍රියාත්මකව පවතී. සියලුම ඉරියව්, ක්‍රියාකාරකම් සජීවී ව ම පවතින බව සඳහන් වේ.

මෙහි දී මිනිස් කය තුළ සිත කුමන තැනක පිහිටියේ ද යන්න ගැන දහම් විවරණයක යෙදිය යුතු ය.

සිත ද්‍රව්‍යයක් හෝ අවයවයක් හෝ නොවන අතර එය විශේෂ ශක්තියකි. විද්‍යාව, නවීන තාක්ෂණය කෙතරම් දියුණු වුව ද, විවිධ වූ පරීක්ෂණ කළ ද සිත ඉවතට ගැනීමට කිසිසේත් බැරි ය. මෙය නොපෙනෙන දෙයකි.හදිසියේ සිහිමූර්ජා වුවද වෛද්‍ය පරීක්ෂණ වලදී රෝගියා සම්පූර්ණයෙන් නිර්වින්දනය (සිහි නැති කිරීම) කළත් සිත පවතින අතර කයෙන් සිත නිරුද්ධ වී නොමැත.

පංච ඉන්ද්‍රියන්ගේ විවිධ ක්‍රියාකාරකම් වලදී සම්බන්ධ වන ඉන්ද්‍රිය, ප්‍රසාද රූපය විඤ්ඤාණ සිත යන කරුණු මුල්කරගෙන නොයෙක් ආකාරයේ සිත් පහළ කරයි.

පසිඳුරන්ගේ ක්‍රියාකාරිත්වය සිදුවෙන අයුරු

මස් ගඩුවක් මෙන් ඇස තිබුණාටම පමණක් පෙනීම නොලැබේ. ඇසෙන් පෙනීම ලැබීමට නම් චක්ඛු ඉන්ද්‍රිය, චක්ඛු ප්‍රසාද රූපය, චක්ඛු විඤ්ඤාණ සිත යන කාරණා තුනම අවශ්‍ය වේ.

ඇසීම හෙවත් ශබ්දය ලැබීමට නම් සෝත ඉන්ද්‍රිය සෝතප්‍රසාද රූපය, සෝත විඤ්ඤාණක සිත යන කරුණු මුල්විය යුතු ය.

ගඳ සුවඳ දැන ගැනීමට, ඝාණ ඉන්ද්‍රිය, ඝාණ ප්‍රසාද රූපය ඝාණ විඤ්ඤාණ සිත යන කාරණා හේතු වේ

රස දැන ගැනීමට ජිව්හා ඉන්ද්‍රිය, ජිව්හා ප්‍රසාද රූපය ජිව්හා විඤ්ඤාණ සිත යන කරුණු අවශ්‍ය වේ.

ස්පර්ශය, හෙවත් පොට්ඨබ්බය දැන ගැනීමට කාය ඉන්ද්‍රිය, කාය ප්‍රසාද රූපය, කාය විඤ්ඤාණ සිත යන කරුණු මුල් විය යුතු ය.

මිනිස් ශරීරය තුළ පිහිටි සියලුම ඉන්ද්‍රියයන් සහ අවයව විවිධ වූ ක්‍රියාකාරකම් සිදු කරනුයේ අදාළ අවස්ථාවේ උපදින සිත්වල හේතුවෙනි. අභිධර්ම දේශනාවට අනුව සිතේ ස්වභාවය මෙලෙස විස්තර කර ඇත.

එකුප්පාද නිරෝධාච
එකාලම්බන වත්ථුකා
චේතෝයුත්තා ද්විපඤ්ඤාස
ධම්මා චේතසිකා මතා

ඒකුප්පාද – එකට උපදී
නිරෝධාච – එකට නිරුද්ධ වේ
ඒකාලම්බන – එකම අරමුණ ගනී
ඒකවත්ථුක – එක වත්ථුවේ උපදී
චේතො යුත්තා ද්විපඤ්ඤාස – චෛතසික
( සිතිවිලි) 52 ක් වේ.

ඉහත ගාථාවට අනුව අභිධර්මයෙහි සතර පරමාර්ථ ධර්ම පෙන්වාදී ඇත. මෙහිදී චෛතසික සහ සිත් පිළිබඳව සරල විග්‍රහයක් කෙරේ. අභිධර්ම දේශනාවට අනුව සිත් 89 හෝ විස්තරාර්ථ වශයෙන් 121 බව ද චෛතසික 52 ක් බව ද, සඳහන් කිරීමට හැකි ය.

මෙහිදී සිත සහ චෛතසික ( සිතිවිලි) එකට ඉපදීමත්, නිරුද්ධ වීමත් එකම අරමුණු ගැනීමත්,

එකම වස්තුවේ ඉපදීමත්, චෛතසික ( සිතිවිලි) වල විශේෂ ලක්ෂණ 4 ක් ඇති බව සඳහන් කළ යුතු වේ . සිතේ සහ චෛතසිකවල ස්වභාවය ඉතා සියුම් ශක්තීන් ලෙස සඳහන් කෙරෙන අතර යෝගාවචරයාට (භාවනා වඩන) සිත ගැන අවබෝධයක් දැකිය හැකි ය.

මිනිස් ජීවිතයක අවසාන සිත චුති සිතෙන් අවසන වී ප්‍රතිසන්ධි (උප්පත්ති) සිතකට අතරක් නොමැතිව සම්බන්ධ වෙයි. ගමන් කරයි. මේ ක්‍රම රටාව භව ආත්ම ලක්ෂ කෝටි ගණනක් සසර ගමනේ දී සිත සැරිසරයි. භවයෙන් භවයට උප්පත්තිය සිදු වුණ ද, කයෙන් වෙනස් වුව ද සිත වෙනස් නොවී සසර ගමන නිමාවන තුරු නිවන් දකින මොහොත දක්වාම සිත පවතින බව මෙ හිදී සඳහන් කිරීමට හැකි ය.

“නිබ්බාණං පරමං සුඛං” නිවන පරම සැපතය. නිවනේ දී සිතක්, කයක් පුද්ගලයෙක් කිසිම දෙයක් නොමැත.

මෙම දහම් කරුණු මනාව අවබෝධ කරගෙන සිතේ ස්වභාවය හඳුනාගෙන ඔබ යහපත් .සත්පුරුෂ මිනිසෙක් වන්නට උත්සාහ ගන්න.

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජුනිමස 10 වන දා සඳුදා පූර්ව භාග 00.36 ට ලබයි. එම දා අපරභාග 10.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 10 වනදා සඳුදාය.

මීළඟ පෝය ජුනි මස 16 වනදා ඉරිදාය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 16

Second Quarterඅව අටවක

ජූනි 25

Full Moonඅමාවක

ජූලි 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]