තෙවළා බුදු වදන් අතරින් 33:
කුසල් වැඩෙන
අකුසල් දුරු කෙරෙන දෘෂ්ටිය
කොළඹ විශ්වවිද්‍යාලයේ
බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත ආචාර්ය
උඩුහාවර ආනන්ද හිමි
ආයුෂ්මත් මහාකච්චායන මහරහතන් වහන්සේ වරණ නුවර කද්දම නම් විල් තෙර වැඩ වෙසෙන සමයෙහි
ආරාම දණ්ඩ නම් එක් බ්‍රාහ්මණයෙක් උන්වහන්සේ වෙත පැමිණ; “භවත් මහා කච්චායන හිමියෙනි
! යම් කරුණක් හේතුකොට ගෙන ක්ෂත්‍රියයෝ ක්ෂත්‍රියන් සමගත්, බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණයන්
සමගත්, ගෘහපතියෝ ගෘහපතියන් සමගත්, ඔවුනොවුන් එකිනෙකා සමග වාද කෙරෙත් නම් එයට හේතු
කවරේද? එසේම ශ්‍රමණයෝ ශ්‍රමණයන් සමගත්, ඔවුනොවුන් හා වාද කිරීමට හේතු කවරේද?”
යනුවෙන් පිළිවිසී ය.
ආරාමදණ්ඩ බමුණා ඇසූ පැනයට පිළිතුරු දුන් මහාකච්චායන මහරහතන් වහන්සේ “ බ්‍රාහ්මණය ,
කාමරාගයෙහි සිත ඇතුළුවීම, කාමරාගයෙන් බැඳීම, එහි ගිජුවීම, සිත එහි ඇලීම හා ගැලීම
නිසා ක්ෂත්‍රියයෝ ක්ෂත්‍රියන් සමගත්, බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණයන් සමගත්, ගෘහපතියෝ
ගෘහපතියන් සමගත් එකිනෙකා හා වාද කරති. එසේම දෘෂ්ටිරාගයෙහි සිත බැසගැනීම, එහි ඇලීම
හේතුවෙන් ශ්‍රමණයෝ ශ්‍රමණයන් සමගත් වාද කරති” යනුවෙන් පැවසූ සේක. අංගුත්තර නිකායේ
දුකනිපාත සමචිත්ත වග්ගයේ එන ආරාමදණ්ඩ සූත්‍රයෙහි මූලික හරය වන්නේ සාමාන්‍ය මිනිසුන්
ඔවුනොවුන් හා වාද විවාද ඇතිකර ගැනීමටත් ආගමික කණ්ඩායම් අතර ඇතිවන වාද විවාද කෙරෙහි
බලපාන හේතු කවරේද යන්නත් පැහැදිලි කිරීම ය.
මහාකච්චායන මහාරහතන් වහන්සේ විස්තරාත්මකව ධර්මය දේශනා කිරීමේ හැකියාව ඇති රහතන්
වහන්සේලා අතර අගතැන් පත් වූවෝ වෙති. උන්වහන්සේ හමුවන ආරාම දණ්ඩ බ්‍රාහ්මණයා
සාමාන්‍ය ගිහි සමාජයට අයත් බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, ගෘහපති කණ්ඩායම් අතර වාද විවාද
ඇතිවීමට බලපාන හේතු කවරේදැයි පළමුව විමසයි. එයට පිළිතුරු සපයන මහාකච්චායන මහාරහතන්
වහන්සේ ප්‍රකාශ කොට වදාළේ කාමරාගය හේතුවෙන් සාමාන්‍ය මිනිසුන් අතර වාද විවාද ඇති වන
බව යි. කාමරාග යනුවෙන් මෙහිදී අදහස්කොට ඇත්තේ පංචකාම ලෝකයට අයත් රූප, ශබ්ද, ගන්ධ,
රස, ස්පර්ශ යන පංචවිධ කාම වස්තු කෙරෙහි පවතින ඇලීම හා බැඳීම යි. එය ධර්මයෙහි
කාමරාග, පංචකාම, වස්තුකාම ආදි නොයෙක් නම්වලින් හඳුන්වනු ලැබේ. ඉතා සරලව පවසන්නේ
නම්, පංචකාම වස්තූන් මූලික කරගත් භෞතික දෑ කෙරෙහි පවතින අධික වූ රාගය හා තෘෂ්ණාව
සාමාන්‍ය ජනයා අතර ගැටුමට හේතුව යි. මිනිසා පරිභෝජනය කරන සියල්ල පංචකාම ලෝකයට අයත්
වේ. භෞතික වශයෙන් අත්පත්කරගන්නා කවර දෙයක වුව ද අරමුණ වන්නේ පංච ඉන්ද්‍රියන්
පිනවීමයි. මිනිසා පරිභෝජනය කරන බාහිර වස්තු කාම නොවේ. ඒ කෙරෙහි ඔහුගේ චිත්ත
සන්තානයේ පවතින දැඩි ඇලීම, බැඳීම හා ඒ කෙරෙහි වන තෘෂ්ණාව කාමරාග නම් වේ. ඒ අනුව
ගැටුමට මුල්වන්නේ බාහිර වස්තු නොව එම වස්තු කෙරෙහි පවතින දෘඪතර බැඳීම හා ඇල්ම යි.
සාමාන්‍ය ජනයා ඔවුනොවුන් එකිනෙකා අතර විවිධ ආකාරයේ ගැටුම්, මතවාද, විවාද ඇතිකර
ගන්නේ යටකී රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන අංග හතරට අයත් දෑ සම්බන්ධයෙනි. මෙම
ගැටුම පුද්ගලික මට්ටමේ සිට ගෝලීය මට්ටම දක්වා ව්‍යාප්තව තිබෙන අයුරු ඉතා ගැඹුරින්
පරීක්ෂා කිරීමේ දී පැහැදිලි වේ. මිනිසා තමන් පරිහරණය කරන ඉඩකඩම්, දේපළ පමණක් නොව
තමන් නියෝජනය කරන රට, ජාතිය, ජනවර්ග සම්බන්ධයෙන් ද ගැටුමට මුල්වන්නේ ඒ කෙරෙහි පවතින
කාමරාගයයි. නැතහොත් තෘෂ්ණාව යි. අන්‍යයන් අබිබවා යමින් සියල්ල තමන්ට පමණක් හිමිවිය
යුතුය යන ආකල්පය නිසා අත්පත් කරගැනීමේ අරගලයේ නිරත වේ. කාමරාගය නිසා ඇතිවන ගැටුම්
ඇතැම් විට කෙළවර වන්නේ විශාල මිනිස් සංහාරයකින් හෝ දේපළ විනාශයකින් විය හැකි ය.
භෞතික දේ කෙරෙහි පවතින දැඩි වූ ආශාව හා තෘෂ්ණාව හෙවත් කාමරාගය සාමාන්‍ය ජනයා අතර
ගැටුම් නිර්මාණය වීමට හේතුවන බව මහාකච්චායන හිමියෝ පැහැදිලි කළ සේක. මෙය වර්තමානයට
බෙහෙවින් අදාළ වේ.
කාමරාගය සාමාන්‍ය ජනයා අතර ගැටුමට හේතුවන්නේ නම් කාමරාගය නැතිකිරිමෙහිලා උත්සුක වන
ශ්‍රමණ කණ්ඩායම් හෙවත් ආගමික සංස්ථාව අතර ඔවුනොවුන් හා වාදවිවාද ඇතිවීමට බලපාන
හේතුව කවරේදැයි ආරාම දණ්ඩ බ්‍රාහ්මණයා මහාකච්චායන මහාතෙරුන්ගෙන් විමසී ය. එයට
පිළිවදන් දුන් උන්වහන්සේ දෘෂ්ටි රාගය නිසා ආගමික කණ්ඩායම් අතර ගැටුම් නිර්මාණය වන
බව පැහැදිලි කළහ. සාමාන්‍ය ජනයා භෞතික දෑ අත්පත් කර ගැනීමෙහිලා සටන් වදින අතර එම
භෞතික ලෝකයට තිබෙන ඇලීම හා බැඳීම අත්හල ආගමික කණ්ඩායම් විවාද කරන්නේ හෝ සටන් කරන්නේ
තමන් පිළිගත් ආගමික දෘෂ්ටිය සම්බන්ධයෙනි. තමන් පිළිගන්නා ආගමික දෘෂ්ටිය නිවැරැදිය.
අන්‍යන්ගේ ආගමික විශ්වාසය හා දෘෂ්ටිය සාවද්‍ය යන්න ඔවුන් අතර ඇතිවන ආකල්පය යි. එසේ
වන්නේ තමන් පිළිගත් ආගමික මතයට හෝ විශ්වාසයට දැඩිලෙස ආසක්තව දෘෂ්ටිරාගයෙන් යුතුව
කටයුතු කිරීම නිසයි. එබැවින් ඔවුනොවුන් එකිනෙකා අතර පවතින්නේ ආගමික ඉගැන්වීම් පදනම්
කර ගත් ගැටුමකි. ලොව ප්‍රචලිත ආගම් අදහන බොහෝ දෙනෙකු අතර එකිනෙකා කෙරෙහි වන වෛරී
ආකල්ප ගොඩ නැගීමෙහිලා මෙම දෘෂ්ටි රාගය හේතු වී ඇති බව පැහැදිලි ය. බුදුරදුන් දේශනා
කොට වදාළේ තමා පිළිගත් මතය හා දෘෂ්ටිය නිවැරැදි ය, සත්‍ය ය, අන් අය පිළිගත් මතය
සාවද්‍ය ය, (ඉදමේව සච්චං මෝඝමඤ්ඤං) යනුවෙන් කල්පනා කිරීම නිවැරැදි නොවන බවයි. ආගමික
දෘෂ්ටි මූලික කරගත් ගැටුමද ඉතා බිහිසුණු එකකි. තමා පිළිගත් ආගමික දෘෂ්ටිය පරම සත්‍ය
ලෙස පිළිගත් පුද්ගලයා එම දෘෂ්ටියෙන් ආසක්ත වූ මත්වුණ අයෙකු බවට පත් වේ. එවැන්නෙකුට
එම දෘෂ්ටිය නොපිළිගන්නා තැනැත්තා පෙනෙන්නේ පරම මිථ්‍යා දෘෂ්ටිකයෙකු ලෙස ය. සියලු
මිථ්‍යා දෘෂ්ටිකයන් සමූල ඝාතනය කොට තමන් සිතන ආකාරයේ සම්‍යග් දෘෂ්ටිය පිළිගත්
පුද්ගලයන් පමණක් ඉතුරු කොට එකම ආගමක් හා එකම ආගමික විශ්වාසයක් සහිත සමාජයක්, රටක්,
ලෝකයක් නිර්මාණය කළ යුතුය යන බිහිසුණු ආකල්පය හා විශ්වාසය නිර්මාණය වන්නේ ද මෙම
ආදානග්‍රාහී දෘෂ්ටිරාගයේ බලපෑම නිසයි. එබැවින් කාමරාගය මෙන්ම දෘෂ්ටිරාගයත් ඉතා
බිහිසුණු ක්‍රියා සඳහා පුද්ගලයා මෙහෙයවන අකුසල සහගත මනෝ භාවයන් ලෙස නම් කළ හැකි ය.
ආගමික ඉගැන්වීම් පදනම්කරගත් දෘෂ්ටි පමණක් නොව දේශපාලනය, ජාතිකත්වය, සංස්කෘතිය,
භාෂාව, කුලය, ජනවර්ගය ආදිය මූලික කරගත් දෘෂ්ටි කෙරෙහි ද දැඩි ලෙස ආසක්තවීම, ඇලී
සිටීම, තෘෂ්ණාවෙන් එම දෘෂ්ටි වැළඳ ගැනීම අන්තර්පුද්ගල ගැටුම් නිර්මාණය වීමට හේතුවේ.
මහාකච්චායන මහාරහතන් වහන්සේ විසින් කාමරාගය හා දෘෂ්ටිරාගය පැහැදිලි කළ පසුව ආරාම
දණ්ඩ බ්‍රාහ්මණයා, කාමරාගය හා දෘෂ්ටිරාගය මුළුමණින්ම සමතික්‍රමණය කළ කෙනෙකු දැනට
ලොව වෙසේදැයි උන්වහන්සේගෙන් විමසී ය. එවැනි උතුමෙකු ලොව වෙසෙන බව උන්වහන්සේ පැවසූහ.
සියලු කාමරාග හා දෘෂ්ටිරාග සමතික්‍රමණය කළ එම උතුමා කොහි වෙසේදැයි ආරාමදණ්ඩ
බ්‍රාහ්මණයා විමසී ය. කාමරාග හා දෘෂ්ටිරාග සමතික්‍රමණය කළ සම්මා සම්බුදු රජාණන්
වහන්සේ පෙර දිග ජනපදයකට අයත් සාවත්ථි නගරයේ වැඩ වෙසෙන බව පැවසූහ. මෙය ඇසූ ආරාම දණ්ඩ
බ්‍රාහ්මණයා අසුනින් නැගිට තම උතුරු සළුව ඒකාංශ කොට, දකුණු දණ ම¼ඬල බිමතබා
බුදුරදුන් වැඩ සිටින දිශාවට නමස්කාර කොට තෙවරක් උදන් ඇනී ය. සියලු දෘෂ්ටි බැහැර කළ
(දිට්ඨිංච අනුපගම්ම) බුදුරදුන්ගේ දහම ගැටුමට තුඩු දෙන කාමරාගය මෙන්ම දෘෂ්ටිරාගයත්
සමතික්‍රමණය කළ ලොවට සිව්බඹ විහරණය පතුරුවන, සෙත සදන විසිතුරු දහම කි. බුදුරදුන්
වදාළේ අකුසලය වැඩෙන, කුසලය පිරිහෙන දෘෂ්ටිය බැහැර කොට, ඒ වෙනුවට කුසලය වැඩෙන අකුසලය
දුරුකෙරෙන දෘෂ්ටිය සේවනය කළ යුතු බවයි. ලෝකය බුදුරදුන් සමග වාද කළ ද උන්වහන්සේට හෝ
උන්වහන්සේගේ ධර්මයටත්, එය අනුගමනය කරන ශ්‍රාවකයාටත් ලෝකය සමග වාදයක් හෝ විවාදයක්
නැත. ගැටුමක් හෝ අර්බුදයක් ද නැත. |