[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තුනුරුවනට පහන් සිතින් භව ගමනින් නිවන් පුරට

තුනුරුවනට පහන් සිතින් භව ගමනින් නිවන් පුරට

අපගේ ශාස්තෘ භාග්‍යවත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේදී සංගාරව නම් වූ එක්තරා බ්‍රාහ්මණයෙක් පැමිණ බුදුරජාණන් වහන්සේට වැඳ එකත් පසෙක හිඳ මෙසේ කී ය.

භවත් ගෞතමයන් වහන්ස, අපි බමුණෝ වෙමු. අපි (දෙවියන් වෙත) යාග කරන්නෝ වෙමු. අනුගාමිකයන් පැමිණි විට යාග කරවන්නේ ද වෙමු. මේ අනුව අපි ද, අනුගාමික බොහෝ දෙනා ද , ඒ පුද පූජාවන් කිරීම් හේතුකොට ගෙන පුණ්‍ය ප්‍රතිපත්තීන්ට පිළිපන්නෝ වෙමු. (එහෙයින් බොහෝ දෙනා ඒ පින් බලෙන් සුගති ආත්ම ලබති.) භවත් ගෞතමයන් වහන්ස, එහෙත් ඔබගේ ශාසනයේ යමෙක් ගිහිගෙයි නික්ම පැවිද්ද ලබා තමා ම දමනය කෙරේ. එක් කෙනෙක් වශයෙන් කෙලෙස් නිවීම් කෙරේ. මෙසේ තමාගේ පැවිද්දෙන් එක් කෙනෙක් ම පමණක් පුණ්‍ය ප්‍රතිපදාවන්හි යෙදී සුගති ප්‍රතිඵල ලබයි යනුවෙනි.

බමුණ, එසේ නම් මේ කාරණයෙහිලා ඔබගෙන් ම විමසීමක් කරමි. ඔබට හැඟෙන පරිදි එයට මම පිළිතුරු අපේක්ෂා කරමි. බමුණ, දැනගතයුතු සියල්ල දන්නා (සබ්බඤ්ඤුතා ඥානය) සියලු කෙලෙස් නැසූ (ආසවක්ඛය ඥානය) නිර්වාණ මග අනුමානයෙන් නොව ප්‍රත්‍යයෙන් දැන (නිබ්බාන මග්ගඥාන) නිවනට සැපත් (අරහත්ඵල ඥාන) භාග්‍යවත් තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකයේ ඉපිද මෙසේ කියයි. ඔබලා මෙහි එන්න. මේ දුකින් මිදෙන මාර්ගයයි. මේ එයට ප්‍රතිපදාවයි. මේ මාර්ග බ්‍රහ්මචරියාවේ හැසිර ඔබ ද චතුරාර්ය සත්‍ය අවබෝධ කොට සියලු දුකෙන් මිදෙන්න යයි අනුශාසනා වශයෙන් දෙසයි. අන්‍ය බොහෝ දෙනා සිය ගණනින් ද, දහස් ගණනින් ද, ලක්ෂ ගණනින් ද මෙය අසා ප්‍රතිපත්තියෙහි යෙදී ප්‍රතිඵල ලබති. බ්‍රාහ්මණය, මේ කරුණ ගැන ඔබට කුමක් හැඟේ ද? මේ සාසනයේ ඇති මේ පැවිද්දෙන් ප්‍රතිඵල ලබන්නේ එක් අයෙක් වේ ද? බොහෝ වේ ද?

ස්වාමීනි, මේ පැවිද්දෙන් ද බොහෝ දෙනාට පුණ්‍ය ආනිශංස ලැබේයයි බමුණා කී ය. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ මේ සමීපයේ සිට බමුණාගෙන් මෙසේ ඇසීය. බ්‍රාහ්මණය, මේ ප්‍රතිපදා දෙක අතුරෙන් කවර ප්‍රතිපදාවක් අඩු කටයුතු ඇත්තේ ද, අඩු පීඩා ඇත්තේ ද, වැඩිමහත්ඵල ආනිසංස ඇත්තේ යයි ඔබට හැඟෙන්නේ ද?

සංගාරව බමුණා ප්‍රශ්නයට පිළිතුරු මගහරිමින් දෙනම වහන්සේලා වර්ණනා කරන්නට විය. “භවත් ගෞතමයන් වහන්සේ ද, භවත් ආනන්දයන් වහන්සේ ද උත්තමයෝ ය. මවිසින් පිදීමට හා ප්‍රශංසාවට නිසි ය’යි වශයෙනි. මෙහි දී ආනන්ද ස්ථවිරයන් වහන්සේ දෙවන තෙවන වරද පළමු සේ ම ඇසූ නමුත් තෙවර ම ප්‍රශංසා පමණක් ම කළේය .

මෙහිදී බුදුරජාණන් වහන්සේ ආනන්දයන්ගේ කරුණු සහිත ප්‍රශ්නය බමුණා නො විසඳන බවත් දෙදෙනාම වෙහෙසට පත්වත බවත් දැන කථාව වෙනතකට යොමු කරවන අදහසින් බමුණ අද රජ ගෙදර කිනම් අතුරු කථාවක් වී දැයි ඇසී ය. (මේ බමුණා රජගහනුවර භාණ්ඩ අලුත්වැඩියා කරන ආයතනයක අයකැමියෙකි. රජ පිරිස් ද නිතර ඇසුරට ලැබේ. එහෙයින් මෙසේ ඇසූ සේක්හ.) බමුණා පිළිතුරු දෙන්නේ ස්වාමීනි, මෙවන් කතාවක් වුණි. ‘පෙරදා භික්ෂුහු සෘද්ධි ප්‍රාතිහාර්ය පෑහ. එහෙත් අද භික්ෂුහු බොහෝ වෙති. එහෙත් ස්වල්ප දෙනෙක් ම පමණක් සෘද්ධි ප්‍රාතිහාර්ය දක්වති යනුවෙනි.

මෙහිදී බුදුරජාණන් වහන්සේ වදාරන්නේ බ්‍රාහ්මණය ප්‍රාතිහාර්යය තුනෙකි. (ප්‍රාතිහාර්යය යනු පුදුම එළවන සුළු, අද්භූත, ආශ්චර්ය ක්‍රියාකාරකම් ය.)

සෘද්ධි ප්‍රාතිහාර්යය

මේ ලෝකයෙහි ඇතැමෙක් නන් වැදෑරුම් සෘද්ධි ප්‍රභේද දක්වති. වරෙක එක් අයෙක්ව සිට බොහෝ දෙනෙකු සේ ද, වරෙක බොහෝ දෙනෙකු සේ පෙනී නැවැත එක් අයෙක්ව ද පෙනේ. වරෙක නොපෙනී යයි. බිත්ති, ප්‍රාකාර, පර්වත තුළින් නො ගැටී අහසින් මෙන් යයි. පොළොවෙහි කිමිදෙයි. දියෙහි ගොඩමෙන් ඇවිද යයි. පක්ෂියෙකු සේ අහසෙහි හැසිරේ. මෙසේ සෘද්ධි ප්‍රාතිහාර්ය ඇත්තා බඹලොව තෙක් සියල්ල තම සිරුරින් වසඟයට ගනී.

ආදේශනා ප්‍රාතිහාර්යය

බමුණ, මේ ලෝකයේ ඇතැමෙක්, කෙනෙකුගේ දක්නට ලැබෙන ලකුණු (නිමිති) අනුව ඔබේ සිත මෙසේ වෙයි. ඔබේ සිත මේ ආකාරයෙන් ද වෙයි. ඔබගේ සිත මෙසේ මෙසේ ද වේ යයි ප්‍රකාශ කරයි. මෙසේ බොහෝ කොට කියන හෙයින් (එයින් කීපයක් හෝ) එය එසේම වෙමි. අන් පරිද්දෙකින් නොවේ. තවත් සමහරු මෙසේ නිමිතිවලින් නො කියයි. මිනිසුන්ගේ හෝ අමනුෂ්‍යයන්ගේ හෝ දේවතාවන්ගේ හෝ ශබ්ද අසා ඔබේ සිත මෙසේ මෙසේයි පළමු දැක්වූවාසේ කියයි. එයද බොහෝ කොට කියන හෙයින් එසේම වෙයි. බ්‍රාහ්මණය, ලෝකයේ ඇතැමෙක් ඉහත කී දෙ ආකාරයෙන් ම ප්‍රකාශ නොකොට කල්පනා කරන්නවුන්ගේ (විතර්ක) සලකා බලන්නවුන්ගේ (විචාර) මැත දොඩවන ශබ්ද අසා ඔබගේ සිත මෙසේ මෙසේත් යයි පළමු කී දෙ ආකාරයෙන් ම සිතේ ස්වභාවය කියයි. මෙය ද බොහෝ කොට කියන හෙයින් (තරමක් හෝ) එසේම වෙයි. අන් පරිදි නොවේ. ඇතැමෙක් ඉහත කී තුන් ආකාරයෙන්ම නොව විතක්ක විචාර රහිත සමාදියට සමවැදී (රූපාවචර තෘතීය ධ්‍යානය වැනි ලෞකික සමාධියකට පත්ව පරචිත්ත විජානන වැනි ඤාණයකට පත්ව) තම සිතින් අනුන්ගේ සිත පිරිසිඳ ඔබගේ දැන් සිත මෙසේ ය. අනතුරුව ඇතිවන සිත මෙසේ යයි කියත්. මෙයද එය එසේම වන්නේ ය. බ්‍රාහ්මණය මේ ආදේශනා ප්‍රාතිහාර්ය යි. (අප ශාස්තෘ බුදුරජාණන් වහන්සේ ලොව පහළවන විට බ්‍රාහ්මණ දහම හෙවත් චතුර්වේදය ප්‍රබලව තිබූ අතර එහි අතුරු අංගයෝ ලෙසින් නක්ෂත්‍ර, යන්ත්‍ර, මන්ත්‍ර, ආයුර්වේදාදි කොටස් තුළින් හා රූපාවචර, අරූපාවචර ධ්‍යාන තුළින් හා රූපාවචර, අරූපාවචර ධ්‍යාන තුළින් හා රූපාවචර, අරූපාවචර ධ්‍යාන තුළින් ඉහත සඳහන් ආදේශනා ප්‍රාතිහාර්යයෝ කරමින් තිබී ඇත. (මේ සියලු ධ්‍යාන ලෞකික වෙති. දිනක් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා පිරිසක් ගඟෙන් එගොඩවීමට තොටියා එනතුරු ගංතෙර සිටියදී පසුව පැමිණි බමුණෙක් සෘද්ධියෙන් ගඟ තරණය කිරීම ආදී උදාහරණ රාශියක් ත්‍රිපිටකයෙන් ලබාගත හැක.)

අනුශාසනා ප්‍රාතිහාර්යය

බ්‍රාහ්මණය, මේ ලෝකයේ ඇතැමෙක් මෙසේ මෙසේ මෙනෙහි නො කරන්න. මෙය දුරු කරන්න. මෙයට පැමිණ වාසය කරන්න වශයෙනි. මේ අනුශාසනා ප්‍රාතිහාර්ය යි. බ්‍රාහ්මණය, මේ ප්‍රාතිහාර්යය තුනෙන් වඩා යහපත් වඩා උතුම් කුමක් යයි ඔබට වැටහේ ද? බමුණා එයට පිළිතුරු දෙමින් සෘද්ධි හා ආදේශනා යන යම් ප්‍රාතිහාර්යයක් වේ ද එය ඔහුටම (කරන්නාට පමණක්) වේ. ඔහුම වින්දනය කරයි. භවත් ගෞතමයන් වහන්ස, මේ දෙපරිදි වූ ප්‍රාතිහාර්යයෝ මායාවක් සේ මට වැටහේ. මට පෙනේ. ස්වාමීනි, එහෙත් අනුශාසනා ප්‍රාතිහාර්යය ම ඉතා යහපත් ය. ඉතා ප්‍රණීත යයි ද මට වැටහේ. ගෞතමයන් වහන්ස, ඔබගේ සුභාෂිතය ආශ්චර්ය ය, අද්භූත ය. ඔබ වහන්සේ විසින් ඉතා මනාකොට වදාරණ ලද්දේ ය. ඔබ වහන්සේ මේ ත්‍රිවිධ ප්‍රාතිහාර්යයෙන් ම සමන්විතයයි අපි ධාරණය කරන්නෙමු. ඔබ වහන්සේ බඹලොව තෙක් සියල්ල තමා වසඟයෙහි පවත්වමින් නානවිධ සෘද්ධි දක්වන සේක. විතක්ක, විචාර රහිත සමාධියට සමවැදී සිය සිතින් අනුන්ගේ සිත් පිරිසිඳ දන්නා සේක. මෙසේ සිතන්න, මෙසේ නො සිතන්න. මෙය දුරු කරන්න. මෙයට පැමිණ වාසය කරන්න යයි අනුශාසනා කරන සේක්යයි බමුණා කී ය.

මෙවිට බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණය, ඒකාන්තයෙන් මගේ ගුණ සිහිකොට මගේ ගුණ වෙතට යොමු කරන ලද වචන ඔබ ප්‍රකාශ කළේ ය. එහෙයින් මම තවදුරටත් ඔබට මෙසේ ද දේශනා කරමි. මේ ත්‍රිවිධ ප්‍රාතිහාර්යයන්ගෙන් ම මම පොහොසත් වන්නෙමි කියා යි.

ස්වාමීනි, ඔබ වහන්සේ හැර මේ තුන් ප්‍රාතිහාර්යන්ගෙන් ම මම පොහොසත් වන්නෙමි කියා යි.

ස්වාමීනි, ඔබ වහන්සේ හැර මේ තුන් ප්‍රාතිහාර්යයෙන් යුක්ත වූ තවත් එක භික්ෂුවක් හෝ වේ ද? බ්‍රාහ්මණය, එකෙක් සියයක්, දෙසීයක්, පන්සියයක් නොව බොහෝ භික්ෂූහු වෙති. ස්වාමීනි දැන් ඒ භික්ෂුහු කොහි වාසය කරත් ද? බ්‍රාහ්මණය, ඒ භික්ෂු සංඝයා මේ අතරෙහි ම යයි වදාළ සේක.

භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි, ඉතා මැනැවි අද පටන් මා දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු සේ දරන සේක්වායි කී ය.

බුදු දහම මුල, මැද, අග හෙවත් සත්ත්වයා කොහි සිට කෙසේ මෙහි ආයේද? (මුල) උපන් සත්ත්වයා කෙසේ මෙලොව යහපත අයහපත සලසා ගන්නේ ද? (මැද) මරණයෙන් පසු සත්ත්වයාට කුමක් වන්නේ ද? කවරක් කරගත හැකි වන්නේ ද? (අග) යනාදි වශයෙන් අර්ථ සහතික කොට පුද්ගලයා (සාත්ථං) ඒ ඒ පදයන්ට ඒ ඒ අක්ෂර නිවැරැදිව යොදා (සඛ්‍යඤ්ජ්ජි) කිසිම පදයක් සංඛ්‍යාවක් අක්ෂරයක් නො අඩු හෝ නො වැඩි කොට සියල්ල සම්පූර්ණව (කෙවලපරිපුණ්ණං) මෙත් කරුණා සිත්ම පෙරදැරිව ලෝකාමිෂ අපේක්ෂාවන්ගෙන් තොරව, ලාභ සත්කාර නො තකා (පරිසුද්ධං) සතර බ්‍රහ්ම විහරණයෙන් ම යුතුව (බ්‍රහ්මචරියං) දේශනා කරන ලද්දක් බව කීයෙන් කී දෙනෙක් දනී ද? අන්‍ය බොහෝ දහම්හි මැද ඇත. මුල, අග නැත, තවකෙකු දෙවියන්ගේ කැමැත්තෙන් එති. දෙවියන්ගේ කැමැත්තෙන් යති. (ඊශ්වර - බ්‍රහ්ම නිර්මාණවාද) අන්‍ය දහමක ඉබේ සිද්ධවන බව තවත් දහමක සියල්ල කර්මයෙන් සිදුවන බව (පුබෙබකතකර්මවාදි) ආදී කොට ගත් ශාස්තෘ දහම් වෙත්. බුදුගෙහි දැල්වෙන පහන උප්පාද ඨිති, භංග උගන්වයි. අනිච්ච, දුක්ඛ, අනාත්ම උගන්වයි. ජීවිතං අනියතං මරණං නියතං කියාදේ. අනෙක් තැන්හි කියන්නේ කුමක් ද? පිළිතුරක් සොයා යමු.

කරුණු කාරණා මෙසේ හෙයින් යමෙක් තුනුරුවන් කෙරෙහි අටතැන් සැක දුරු කරයි ද, ඔහුට සසර විඳින්නට වන දුකෙන් වැඩි කොටසක් නිවී යයි. සැක ඉතිරිව තිබේනම් මහ පින්කම් කළත් ලොකු පිනක් අත් නොවේ. ශ්‍රද්ධාවෙන් කෙරෙන සුළු පින්කමකින් වුව ද මහත්ඵල මහානිසංස ලැබේ.

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජුනිමස 10 වන දා සඳුදා පූර්ව භාග 00.36 ට ලබයි. එම දා අපරභාග 10.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 10 වනදා සඳුදාය.

මීළඟ පෝය ජුනි මස 16 වනදා ඉරිදාය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 16

Second Quarterඅව අටවක

ජූනි 25

Full Moonඅමාවක

ජූලි 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk