[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පස් පවින් වැළකේවා නිති සිල් සුවඳ දේවා

පස් පවින් වැළකේවා නිති සිල් සුවඳ දේවා

නමෝ තස්ස භගවතෝ අරහතො සම්මා සම්බුද්ධස්ස

යො පාණමති පාතෙති - මුසාවාදංච භාසති
ලොකෙ අදින්නං ආදියති - පරදාරංච ගච්ඡති
සුරා මෙරය පානංච - යො නරො අනුයුංජති
ඉධෙව මෙසො ලොකස්මිං - මූලං බණති අත්තනො

සුපින්වත්නි,

සකල සතවෙත පතළ මහා කරුණා ගුණ ඇති අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩවසන සමයෙක පන්සියයක් උපාසක පිරිස අරබයා මෙම ගාථා ධර්මය දේශනා කළ සේක.

අනේපිඬු සිටුතුමා විසින් සිව්පනස් කෙළක් ධනය වියදම් කොට සාදවා පූජා කළ මෙම ජේතවනාරාමය නන් දෙසින් පැමිණෙන භික්ෂු, භික්ෂුණී උපාසක, උපාසිකා වන්ගෙන් ද, රාත්‍රී භාගයේ පැමිණෙන දෙවි දේවතාවන්ගෙන් ද පිරී පවතින අතර තෙරුවන් ගුණ බලමහිමයෙන් හා සිරියාවෙන් බබළන්නේ ය. ශ්‍රද්ධාවෙන් ධර්මය අසන, දන්පැන් දෙන, ප්‍රඥාවේ ධර්මය සාකච්ඡා කරන සිල්වත් ගුණවත් උතුමන් යළි ආපසු යන්නේ දෙව්මිනිස් නිවන් සම්පත් ලබාගැනීමේ පරම පවිත්‍ර අධිෂ්ඨානයෙනි.

මෙම ජනයා අතර පන්සියයක් පමණ දෙනෙක් තම තමන් ආරක්ෂා කරන සිල්පද පිළිබඳ වාද විවාද ඇති කළහ. මෙම වාද විවාදවල තීරණයක් ලබා ගැනීමට ඔවුහු බුදුරදුන් වෙත පැමිණ සැළකර සිටියහ.

සත්ත්වයාගේ ස්වභාවය, තම තමන්ගේ මානසික ගැටීමෙන් පෙරට එන අරමුණට සාපේක්ෂව ගන්නා තීරණය සත්‍යබව තීරණය කිරීමයි. මෙම උපාසකයන් අතර ඇතමෙක් ප්‍රාණඝාත අකුසලෙන් මිදීම පමණක් හොඳයයි සිතූහ. ඇතැමෙක් අදින්නාදානය පමණක් සීලය යැයි නිගමනය කළහ. මෙසේ පන්සිල් පිළිබඳව ද වාද ප්‍රතිවාද කරමින් සිට බුදුරදුන්ගේ අදහස් විමසූ විට අප බුදුරජාණන් වහන්සේ මෙම ධර්ම දේශනාවෙන් පස්පව්වලින් සිදුවන මහා විපාක හා පන්සිල්වලින් ලැබෙන ආනිශංසත් විස්තර කර වදාළ සේක. මනුලොව සත්ත්ව පරපුර බිහි වූ දා පටන් කෙනෙකුගේ ජීවිතයක් විනාශකොට තවත් ජීවිතයක් රැකීමේ ප්‍රවණතාවය නොකඩවා පවතින්නේ ය. මෙම ස්වභාවය පාලනය වීමට මිනිසා විසින්ම ආගම්, දර්ශන, නීතිරීති, නියෝග සකස් කරගෙන පැවැත්මේ ප්‍රමාණයකට පාලනය කරගෙන එන්නේ ය.

පින්වත්නි, පස් පව්වලින් ප්‍රථමයෙන් දක්වා ඇති ප්‍රාණඝාතය මහා පාප කර්මයක් බව බුදුදහමේ දැක්වේ. ආගමක්, දර්ශනයක්, චින්තාවක් ඇතිවන්නට නම් ජීව පරපුරක් විශේෂයෙන් මානව පරපුරක් ප්‍රථමයෙන් සිටිය යුතු වන්නේ ය.

“පාණාතිපාතො භික්ඛවෙ ආසෙවිතො භාවිතො බහුලීකතො නිරය සංවත්තනිකොහොති තිරච්ඡානයොති සංවත්තනිකො හොති. පෙත්තිවිසය සංවත්තනිකො හොති යො සබ්බලහුසො පාණතිපාතාස්ස විපාකො මනුස්සභූතස්ස අප්පායුක සංවත්ත නිකොහොති” ආදී නයින් දේශනා කළ පරිදි ප්‍රාණඝාත අකුසලය නරක, තිරිසන්, ප්‍රේත ලෝකවල ඉපදීමට හේතුවකි. මනුලොව උපන්නත් අල්ප ආයුෂ ඇතිව මරණයට පත්වන්නේ ය.

ප්‍රාණඝාතය හෙවත් ජීවයක් විනාශ කිරීමට සිතීම් මාත්‍රය පවා මනෝද්වාරයෙන් වන්නා වූ මහා පාපයකි. හොරකම, කාම මිථ්‍යාචාරය, බොරුකීම මත්ද්‍රව්‍ය පානය යන අකුසල් ද මෙලොවදී විවිධ කරදර හිරිහැර නින්දා අපහාස, සන්තාප බාධක ඇතිවීමට හේතුවන අතර මරණින් මතු සතර අපායේ ඉපදෙන්නට හේතු වන්නේ ය. ප්‍රාණඝාත අකුසලයෙන් වන දිට්ඨධම්මවේදනීය ප්‍රතිවිපාක අපමණ ය. සත්වයෙකුගේ ජීවිතය දැන දැන විනාශකිරීම නිසා විනාශ කරන්නාගේ ජීවන ඉන්ද්‍රිය ද ඉතා ඉක්මනින් අක්‍රියවන්නේ ය. ඉතා ස්වල්ප දෙයකින් බිය, ත්‍රාසය, සන්තාපය, ශෝකය ඇති වී තැවෙන්නේ ය. ගොවිතැන් කර්මාන්තයෙහි නොපවත්නා ගවයෙකු පිදුරු දමා පුළුස්සා කෑ මිනිසෙකු ඒ මහා පාප කර්මයෙන් අවීචි මහා නරකයෙහි ඉපිද වසර කෝටි ගණන් පැසී එයින් මිදී සියක් ආත්ම භාවයන්හි ගින්නෙන් දැවි දැවී දුක්වේදනා විඳි අයුරු දහම් කතාවක දැක්වෙන්නේ ය.

එවංච සත්තා ජානෙය්‍යුං
දුක්ඛාය ජාති සම්භවො
න පාණෙ පාණිනං හඤ්ඤෙ
පාණ ඝාතාහි සෝචති

අදින්නාදානය හෙවත් හොරකම ශිෂ්ට සමාජයට කරන මහා විපත්තියකි. විශේෂයෙන් දුප්පත්කම නිසා හෝ, පුරුද්ද නිසා හෝ අනුන්ගේ දෙයක් අනුදැනීමක්, සංඥාවක් නැතිව ගැනීම, සෙලවීම, අනුබලදීම පුද්ගලිකව තමාට කරගන්නේ අපරාධයකි. සමාජ ප්‍රගතියට බාධාවකි.

වර්තමාන ලෝකයේ මානව සමාජය මෙතරම් සංකීර්ණ වන්නේ හොරකම, කාමමිථ්‍යාචාරය, බොරුව, සුරාපානය වැනි අකුසල කර්ම නිසා ය. පස්පව් නොකිරීම්, පන්සිල් ආරක්ෂා කිරීම ලෝකයේ ප්‍රධාන සමාජ ධර්මතාවයක් ලෙස සම්මත කරගන්නේ නම්, මෙතරම් අපරාධ සිදුවන්නේ නැත. ජගත් සමාජය තුළ පහත සඳහන් සාධාරණ සම්මුතීන් ඇතිකර ගන්නේ නම් අපරාධ දූෂණ අඩු වී ජනතාවට මෙයට වඩා සහනයක් ඇති වන්නේ ය. බෞද්ධ පංචශීල ප්‍රතිපත්තිය ලෝක සම්මතයක් කිරීම, ලෝක ජන සමාජයේ ඇති නැති පරතරය අඩු කිරීම, න්‍යෂ්ටික අවි ආයුධ භාවිතය සීමා කිරීම, බෞද්ධ දර්ශනය විශ්ව ශක්තියක් කිරීම, ජගත් සංවිධානවලට මේ පිළිබඳව දැනීමක් දීම වශයෙනි.

බුද්ධාගමේ පදනම පන්සිල් වන අතර එම ප්‍රතිපත්තිය ඉතා සුහදතාවයෙන්, මනෝ විද්‍යානුකූලව මේ උතුම් ධර්මය නොදත් එහෙත් කැමැත්තෙන් සිටින කෝටි සංඛ්‍යාත ජනතාවට අවබෝධයක් දීමට ජගත් නායකයන් ප්‍රමුඛව ක්‍රියා කළයුතු කාලය පැමිණ ඇත.

පස් පව් දුරුවේවා, පන්සිල් සුරැකේවා , මෙත් සිත් වැඩේවා, සැමට සගමොක් සුව ලැබේවා, ඔබ සැමට තෙරුවන් සරණයි

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජුනිමස 10 වන දා සඳුදා පූර්ව භාග 00.36 ට ලබයි. එම දා අපරභාග 10.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 10 වනදා සඳුදාය.

මීළඟ පෝය ජුනි මස 16 වනදා ඉරිදාය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 16

Second Quarterඅව අටවක

ජූනි 25

Full Moonඅමාවක

ජූලි 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk