[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනියනං

දික්වැල්ලේ ධම්මාලෝක නා හිමි

මාතර වෙලේවත්ත – නාවිමන පාරේ, වේරදුව ගම් පියසේ පිහිටි, වසර සියයකට වඩා පැරැණි ඉතා රමණීය පුණ්‍ය භූමියකි. වේරදුව වේළුවනාරාමය. එම ආරාමයේ විහාරාධිපති තනතුර අවුරුදු 36 කට වැඩි කාලයක් දරමින් විශේෂයෙන් ගමේ සහ අවට ගම්වාසීන්ටත්, පොදුවේ සම්බුද්ධ සාසනයටත් අග්‍රගණ්‍ය සේවාවක් ඉටුකළ දික්වැල්ලේ ධම්මාලෝක නාහිමියන්ගේ “හයවන ගුණ සැමරුම්” උත්සවය පසුගියදා පැවතිණ.

දික්වැල්ලේ ධම්මාලෝක නාහිමියෝ 1914 අගෝස්තු 13 වැනිදා දික්වැල්ලේ වත්තේගම ‘ගම් පියසේ දී උපත ලැබූහ. එච්.ආර්. දනෝරිස් සිල්වා මහතා පියාණන් වූ අතර, ආර්.දිනෝහාමි මහත්මිය මෑණියෝ වූ හ. මූලික පාසල් අධ්‍යාපනය දික්වැල්ලේ මොග්ගලීපුත්තතිස්ස විද්‍යාලයෙන් (වර්තමාන කුමරතුඟු මුනිදස් මහවිදුහල) ලැබූහ. දහතුන් වැනි වියේ දී 1927 අගෝස්තු 12 වනදා එවකට වේළුවනාරාම විහාරාධිපතිව වැඩ විසූ පාතේගම ශී‍්‍ර ආරියවංශ හිමිපාණන්ගේ ආචාර්යත්වයෙන් “දික්වැල්ලේ ධම්මාලෝක හිමි” නමින් පැවිදි බිමට ඇතුළත් වූහ.

1928 පෙබරවාරි 10 වැනිදා මාතර වල්පොල සිරිමංගල පිරිවෙණට ඇතුළත්ව මූලික පිරිවෙන් අධ්‍යාපනය ලැබූහ. අනතුරුව ඇතුළත්වූයේ කෝට්ටගොඩ සෞගතෝදය පිරිවෙණට ය. ඒ අතර දික්වැල්ලේ ධම්මාලෝක සාමණේර හිමියෝ 1935 ජූලි 08 වැනිදා උපසම්පදාව ලැබූහ.

1935 දෙසැම්බර් 20 වැනිදා පානදුරේ ගොරකපොළ විද්‍යාරාජ පිරිවෙනට ඇතුළත් වී අධ්‍යාපනය ලැබූ අතර, ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයෙන් සාමාර්ථ්‍යය ලැබූහ.

එවකට විහාරාධිපතිව වැඩ විසූ දෙවිනුවර සුමනසාර නාහිමියන්ගේ අනුශාසනා හා උපදෙස් අනුගමනය කළහ. සතර පේරුවේ දායක පින්වතුන්ගේ ඉමහත් ප්‍රසාදය දිනාගනිමින් වේළුවනාරාමයේ උන්නතිය වෙනුවෙන් නිරන්තර කැපවීමෙන්, අප්‍රතිහත ධෛර්යයෙන් ක්‍රියා කළ නිසා මෙම පින්බිමට නව ආලෝකයක් උදාවිණ.

දික්වැල්ලේ ධම්මාලෝක හිමිපාණන් වහන්සේ ආරම්භ කළ සත් ක්‍රියා අතර “හැරවුම් ලක්ෂ්‍යය” වූයේ, තම ආචාර්ය හිමිපාණන් වහන්සේ නමින් ශ්‍රී ආර්යවංශ දහම් පාසල 1944 ආරම්භ කිරීම ය. මාතර දිස්ත්‍රික්කයේ පැරැණි දහම් පාසල් අතර මෙම අධ්‍යාපනස්ථානයට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයකි.

දික්වැල්ලේ ධම්මාලෝක හිමියන්ට අභිධර්මය හා පාලිභාෂාව පිළිබඳ පෘථුල දැනුමක් තිබුණි. ගම් ප්‍රදේශයේ, දානපතින්, පරිත්‍යාගශීලින් හා ආදි ශිෂ්‍යයන්ගේ අනුග්‍රහයෙන් විහාරාංග රාශියක් සපුරා ගැනීමට ධම්මාලෝක නා හිමියෝ සමත් වූ හ.

සුපේශල ශික්ෂාකාමී ගුණයෙන් සමලංකෘතව ශ්‍රී ලාංකේය සම්බුද්ධ ශාසනයේ අභිවර්ධනයට කරන ලද සුවිශාල මෙහවර අගය කරමින් එම හිමිපාණන් වහන්සේට ගෞරව උපහාර වශයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය මගින් ශ්‍රී ආර්යවංශාලංකාර අභිධම්මික ගෞරව සම්මාන උපාධිය පිරිනමා ඇත. මාතර කඩවත් සතර ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ උපසභාපති තනතුරින් ද පිදුම් ලැබූහ. මාතර ප්‍රාදේශීය සංඝ සභාවේ සභාපති පදවිය ද වසර කීපයක් උසුලා ඇත.

වේරදුව වේළුවනාරාම විහාරස්ථානයේ නවෝන්නතිය සඳහා අග්‍රගණ්‍ය සේවාවක් කළ දික්වැල්ලේ ධම්මාලෝක නාහිමියෝ 2013 මැයි 23 වෙසක් පුන් පොහෝ දින අපවත් වී වදාළහ.

ඒ හිමි පාණන්ගේ 6 වැනි වර්ෂ පූර්ණ ගුණ සැමරුම වෙනුවෙන් පින්කම් ගණනාවක් නා හිමිපාණන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය වර්තමාන විහාරාධිපති මාතර කොටුවේගොඩ ජයසුමනාරාම පිරිවෙන්හි ආචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී මිරිජ්ජවිල නාගිත හිමිපාණන් වහන්සේ දායකකාරකාදීන් ගේ සහායෙන් පැවැත්වූහ.

****

කළුබෝවිල විමලසිරි නාහිමි

1912 අපේ‍්‍රල් මස 13 වන දින දොන් දෝණිස් අප්පුහාමි පාඨශාලාධිපතිතුමා සහ සිසිලියා සිල්වා මහත්මිය යන දම්පතීන් ගේ පුත්රුවනක් ලෙස මෙලොව එළිය දුටු පී.ඩී.පබ්ලිස් නම් කුමරුවා හැදී වැඩී 1924 ජූලි මස 24 වන දා කිරුලපනේ උපනන්ද මහා ස්වාමීන් වහන්සේගේ ගුරු උපදේශකත්වයෙන් කළුබෝවිල විමලසිරි නමින් සසුන්ගත විය.

විමලසිරි පොඩි හාමුදුරුවෝ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනට ඇතුළත් වූහ. ධර්ම ශාස්ත්‍ර මනාව ප්‍රගුණ කළ උන්වහන්සේ 1934 ජූලි මසදී කෝට්ටේ කල්‍යාණ සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේදී කිරුලපනේ උපනන්ද මහා ස්වාමීන් වහන්සේගේ නමින් උපසම්පදාව ලැබූහ.

කළුබෝවිල විමලසිරි ස්වාමීන් වහන්සේ හත්බෝධිය රජමහා විහාරස්ථානය පිහිටුවීමට මුල් වූහ. උන්වහන්සේ විසින් හත්බෝධි විහාරස්ථානය සියලු විහාරාංගයන්ගෙන් අංග සම්පූර්ණ කළහ. හත්බෝධි විහාරස්ථානයේ සිදුකළ පින්කම් අතර වාර්ෂික ධර්ම දේශනා පින්කම් මාලාව ප්‍රකට විය.

මඩිහේ පඤ්ඤාසීහ නාහිමි. පිටකෝට්ටේ සෝමානන්ද මහා නාහිමි, මාදුළුවාවේ සෝභිත නාහිමි සහ තලල්ලේ ධම්මානන්ද මහා නාහිමි එම ධර්ම දේශනා මාලාව සඳහා වාර්ෂිකව අඛණ්ඩව එම විහාරස්ථානයට වැඩම කර වදාළහ.

විමලසිරි නායක ස්වාමීන් වහන්සේගේ 25 වන ගුණ සැමරුම නිමිත්තෙන් ඉකුත් 31 වනදා බලපිටිය මහා කප්පින සීමාමාලක විහාරයේ ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලයේදී මහා සංඝගත දක්ෂිණාවක් පිරිනමා පින් අනුමෝදන් කිරීමට විහාරාධිපති කනවරැල්ලේ කස්සප ස්වාමීන් වහන්සේ සහ කිතුලම්පිටිය ආනන්ද පිරිවෙන් විහාරාධිපති තල්පාවිල නන්ද ස්වාමීන් වහන්සේගේ උපදෙස් මත හත්බෝධි විහාරයේ දායක සභාව බෝධිරාජ කුලඟන සමිතිය සැලසුම් කර තිබිණි.

****

සියඹලාගොඩ ජිනරතන හිමි

පානදුර කෙසෙල්වත්ත ශ්‍රී ගංගාතිලක පිරිවෙන් විහාරය, මාතර අකුරැස්සේ සියඹලාගොඩ ශ්‍රී අභිනවාරාමය යන උභය විහාරාධිපති , ශ්‍රී ගංගාතිලක පරිවේණාධ්‍යක්ෂ, සියඹලාගොඩ ජිනරතන හිමිපාණන් වහන්සේ ශාසනික සේවාවන් රැසක නිරතවන ශික්ෂාකාමී යතිවරයෙකි.

මාතර පිටබැද්දර සියඹලාගොඩ නමැති ග්‍රාමයෙහි විසූ කලුආරච්චිගේ සෝමාවතී මහෝපාසිකා මාතාවගේ හා රණසිංහ හරමානිස් අප්පුහාමි මහෝපාසක මහතාණන් ගේ පුත්‍රයෙකු ලෙස 1966 ජුනි 06 වැනි දින ජිනරතන හිමියෝ ජන්මලාභය ලැබූහ. සියඹලාගොඩ බටහිර කණිෂ්ඨ විද්‍යාලයෙන් ගිහිකල ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ අතර 1981 පෙබරවාරි 15 වැනි දින ප්‍රව්‍රජ්‍යාභාවයට පත්වූහ. එහි දී ජිනරතන හිමියන්ගේ ආචාර්යවරයන් වහන්සේලා වූයේ ආභිධම්මික උයන්ගොඩ සීලරතන, වෛද්‍යායචාර්ය දෙහිගස්පේ හේමරතන යන මාහිමිවරුන් දෙනම ය.

අකුරැස්සේ ශ්‍රී ගංගාරාමස්ථ විද්‍යානන්ද, මාතර මහා මන්තින්ද, පානදුර පින්වත්ත ශ්‍රී සද්ධර්මාකර යන පිරිවෙන් වෙතින් ජිනරතන හිමියෝ මූලික හා උසස් පිරිවෙන් අධ්‍යාපනය මැනවින් ලැබූ හ. 1987 මැයි මස 20 වැනිදා මහනුවර මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී උපසම්පදා සම්පත්ති ප්‍රතිලාභය ලැබූ හ.

1998 දී පානදුර පැරැණි ගාලු පාරේ සුන්දර බොල්ගොඩ ගඟ අසබඩ පිහිටි ඉතා දර්ශනීය භූමි භාගයක ජිනරතන හිමි අභිනව විහාරස්ථානයක් ඉදි කරවී ය. අද වන විට විහාර මන්දිරය, චෛත්‍ය රාජයාණන් වහන්සේ, බෝධීන් වහන්සේ, ධර්ම ශාලාව, දේවාල මන්දිර, සිරි සීලරතන නාහිමි අනුස්මරණ දාන ශාලාව සහ දෙමහල් සංඝාවාසය සහ පසුගියදා ඉදිකළ අලංකාර වාහල්කඩ යන සියලු විහාර අංගයන්ගෙන් සමලංකෘත ප්‍රදේශවාසී සැදැහැවතුන්ගේ මුදුන්මල්කඩව පවත්නා පුණ්‍ය භූමියකි.

මෙම විහාරස්ථානය කේන්ද්‍රකරගෙන 2001 දී “ශ්‍රී ගංගාතිලක මූලික පිරිවෙණ” නමින් පරිවේණස්ථානයක් ආරම්භ කළහ. ස්වකීය ශාසනික සේවාවන් ඉදිරියට පවත්වාගෙන යාමට සමත් ශාස්ත්‍රවේදී ලත්පඳුරේ චන්දරතන, ශාස්ත්‍රවේදී ලත්පඳුරේ ඉන්දරතන, හඟුරන්කෙත විමලරතන, ඉරිදන්වල සීලරතන, ලත්පඳුරේ නන්දරතන, දියදාවේ සමිත යන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සසුනට දායාද කිරීම ද සියඹලාගොඩ ජිනරතන හිමියන් පිළිබඳ ඉහළින්ම ඇගයිය යුතු තවත් කාලීන මෙහෙවරකි.

****

සියඹලාගහකුඹුරේ විජිතසාර හිමි

වියලුව කන්දකැටිය මාලියැද්ද පිහිටි නාගොල්ලේ ශ්‍රී නන්දාරාම විහාරස්ථානය පැරැණි බෞද්ධ පූජනීය විහාරස්ථානයකි.

කුඩා කාලයේ දී ම ශාසනයට ළැදිව කටයුතු කළ සියඹලාගහකුඹුරේ විජිතසාර ස්වාමීන් වහන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම බුද්ධ පුත්‍රයෙකු ලෙස කටයුතු කළ සේක. සිය ගුරු හිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පසු ඉතාම නොදියුණුූ තත්වයක පැවති මෙම ගම්මානයේ දායක කාරකාදීන්ගේ සියලු ආගමික කටයුතු නොපිරිහෙලා ඉටු කරමින් විහාරස්ථානයත්, ශාසනයත්, ආරක්ෂා කරගනිමින් සියලු දෙනාගේ ම සිත් දිනාගෙන කටයුතු කළහ.

විහාරස්ථානයේ දහම් පාසල ද පවත්වා ගනිමින් දරුවන්ගේ නැණැස පෑදු අතර කිසිම මාර්ග පහසුකමක් නොතිබුණු එම යුගයේ දි සැතපුම් ගණන් පයින් වැඩම කරමින් දානමාන පාංශුකූල හා ධර්ම දේශනා ආදී සියලු ආගමික කටයුතු අනුකම්පාවෙන් ඉටුකර දුන සේක. කුඩා දරුවාටත්, වැඩිහිටියාටත් උන්වහන්සේ එකසේ සම සිතින් හා සම මෙතින් යුතුව කාරුණිකව කටයුතු කළ සේක. ඉතා නිහතමානී, නිහඬ චාම් දිවි පෙවෙතක් ගතකළ උන්වහන්සේ අටලෝ දහමින් කම්පා නොවී කටයුතු කළ ආකාරය ප්‍රශංසනීය වේ. උන්වහන්සේගේ අඩි පාරේ යමින් සම්බුද්ධ ශාසනයට ඇතුළත්ව බුදුසසුන බබළවන්නා වූ කුලදරුවන් අද බොහෝ දෙනෙක් නාගොල්ල, පල්ලෙකන්ද, බුදුගේකන්ද ,තැන්නපංගුව ආදි අවට ගම්වලින් පැවිදිව සසුන් කෙත සරු කරමින් වැඩ සිටින බව සිහිපත් කරන්නේ සතුටිනි.

අවුරුදු 86 ක් පමණ ආයු වළදා 2019 මැයි 26 දින උන්වහන්සේ අපවත්වී වදාළ සේක. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන කටයුතු මැයි 29 වන බදාදා සවස නාගොල්ල කණිෂ්ඨ විද්‍යාලය ආශි‍්‍රත ආදාහන භූමියේ දී මහත් ගෞරවයෙන් සිදුකරන ලදී.

අපවත්වී වදාළ සියඹලාගහකුඹුරේ විජිතසාර ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට නිවන් සුවය අත්වේවා !

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජුනිමස 10 වන දා සඳුදා පූර්ව භාග 00.36 ට ලබයි. එම දා අපරභාග 10.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 10 වනදා සඳුදාය.

මීළඟ පෝය ජුනි මස 16 වනදා ඉරිදාය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 16

Second Quarterඅව අටවක

ජූනි 25

Full Moonඅමාවක

ජූලි 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk