[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප 28: පුරාණ ශ්‍රී ලංකාවේ විශාලතම පුවරු ශිලා ලිපිය ගලින් නිම කළ ගල්පොත

පුරාණ ශ්‍රී ලංකාවේ විශාලතම පුවරු ශිලා ලිපිය

ගලින් නිම කළ ගල්පොත

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

කාලිංග පරපුරට අයත්වන නිශ්ශංකමල්ල රජතුමා ක්‍රිස්තුවර්ෂ 1187 සිට 1196 තෙක් පොළොන්නරුවේ රජ කළේ ය. පොළොන්නරුවේ රජ කළ මහ විජයබාහු, මහා පරාක්‍රමබාහු සහ නිශ්ශංකමල්ල රජු ඉතා ප්‍රබල රජවරුන් ලෙසින් සැලකේ. නිශ්ශංකමල්ල රජතුමාගේ කාලයේ දී මෙම රජතුමාගේ අනුග්‍රහයෙන් ඉතා විශාල සංඛ්‍යාවක් ශිලාලේඛන ලියවා ඇත. ඒ අනුව ඉතා විශාල සංඛ්‍යාවක් ශිලාලේඛන අයත් වන්නේ මෙම රජතුමාට ය.

එපමණක් ද නොවේ, ලංකාවේ විශාලතම ශිලා ලේඛනය කරවන ලද්දේ කවුරුන් ද යන්නට පිළිතුර වන්නේ ද නිශ්ශංකමල්ල රජතුමා යන්න යි. මේ විශාලතම ශිලා ලේඛනය තිබෙන්නේ ද පොළොන්නරු වේ ම ය. එය ගලින් කළ පොතක් ලෙසින් හඳුන්වන නිසා “ගල්පොත” යන නාමයෙන් මෙම විශාල ශිලා ලේඛනය හඳුන්වයි. (ශ්‍රී ලංකාවේ පුරාණ උරුමය අංක 1 සිරිසමන් විජේතුංග පි. 160 2012 සමුද්‍ර පොත් ප්‍රකාශකයෝ )

මෙතරම් දීර්ඝ විස්තර අඩංගු කර ලියූ ශිලා ලේඛනයක් මෙතෙක් හමු වී නැත. එම ශිලා ලිපිය ලිවීමට මේ සඳහා ගල්කුට්ටියක් මෙම ස්ථානයට ගෙන ආ යුතු ය. ආයත චතුරශ්‍රාකාර වූ එම ගල්පොත ශිලා ලිපිය පොළොන්නරුවේ දළදා චතුරශ්‍රයේ පිහිටුවා තිබේ.

ගල්පොත ශිලා ලිපිය අඩි 26 අඟල් 10 දිග් වූ එම පුවරුවේ පළල අඩි 4 අඟල් 7 කි. එම ශිලා ලිපිය ලියා ඇති ගල් පුවරුවේ මතුපිට ඉතා හොඳින් ඔප මට්ටම් කර තිබේ. මෙම මතුපිට තිරස් හා සිරස් රේඛාවලින් කොටස් තුනකට බෙදා තිබේ. මෙසේ බෙදන ලද එක් එක් කොටසෙහි රූල් අතර තියුණු ලෙසින් කොටන ලද අකුරු ලියූ පේළි 72 (හැත්තෑ දෙක) මෙහි ඇති අකුරු 4500 ට වඩා වැඩි ය. ගඩොල් බැම්මක් මත ඔසවා තබා ඇති ගල්පොත ශිලා ලේඛන මධ්‍යකාලීන සිංහල භාෂාවෙන් රචනා කර තිබේ. සංස්කෘත භාෂාව මිශ්‍ර වූ කාව්‍යමය භාෂාවකින් මෙය ලියා ඇත. නිශ්ශංකමල්ල රජතුමා පිළිබඳ බොහෝ තොරතුරු මෙම ශිලා ලිපියෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙතරම් දීර්ඝ විස්තර ඇතුළත් වෙනත් ශිලා ලිපියක් ශ්‍රී ලංකාවේ රජ කළ කිසිදු රජ කෙනෙකු විසින් කරවා නැත. ඒ ශිලා ලිපිය කරවීමට අවශ්‍ය පාෂාණ (ගල්) කුට්ටිය පවා වෙනත් දුර බැහැර ප්‍රදේශයකින් (සෑගිරියෙන්) ගෙන්වා ගත්තකි. ඒ සඳහා විශේෂ හමුදා භටයන් යෙදවීමට සිදු වූ බව මෙම සෙල්ලිපියෙහි ම සඳහන් වෙයි. මෙම රජුගේ ශිලා ලිපිවලට ඇතුළත් කර ඇති කරුණු අතර අතිශයෝක්තියෙන් යුක්ත වු කරුණු බහුල බව ඉතිහාසඥයෝ වැඩි පිරිසක් ප්‍රකාශ කරති. එහෙත් එසේ වූ පමණින් ඒවා සියල්ල ප්‍රලාපයන් සේ සලකා නොවිමසා බැහැර කිරීම බුද්ධිගෝචර නොවේ. නිශ්ශංකමල්ල රජතුමාගේ පරපුර රජකමට පත් වූ අන්දම, වීර ක්‍රියා , සුබසාධන කටයුතු, ආගමික කටයුතු හා විදේශීය යුද්ධ, මහජනතාවට දුන් අවවාද ආදි වශයෙන් බොහෝ කරුණු විස්තර සහිතව මෙහි ඇතුළත් කර තිබේ. සිංහලයන්ගේ ආදි පුරුෂයා බව කියැවෙන විජය රජු කාලිංග වංශිකයෙකු බවත්, මේ රජු ද ඔහුගේ පරපුරෙන් පැවත එන බවත්, නිශ්ශංකමල්ල රජු මෙම ශිලා ලිපියෙහි තහවුරු කර කියා සිටී. කාලිංග පරම්පරාව පිළිබඳ වෙනත් කිසිදු මූලාශ්‍රයකින් නොලැබෙන ඓතිහාසික සාක්ෂි මෙම ගල්පොත වැනි ශිලා ලිපිවලින් හෙළි වේ. කාලිංග පරම්පරාවට විරුද්ධව සිටි පාණ්ඩ්‍ය පරම්පරාව මෙම රජුගේ ශිලා ලිපිවල තදින්ම විවේචනයට භාජනය කෙරේ. (පොළොන්නරුවේ ශිලා ලිපි – පියතිස්ස සේනානායක පි. 6 මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රකාශනයකි 1998)

ශ්‍රී ලංකාව ජනාවාස කළ විජය රජු කාලිංග චක්‍රවර්ති පරපුරට අයත් වූ හෙයින් ලක්දිව සිංහාසනය හිමිවන්නේ එම පරපුරේ අයට පමණක් ය යන්න ජනතාවගේ සිත්වලට ඒත්තු ගැන්වීමට සෑම අවස්ථාවක් ම උපයෝගී කරගෙන ඇත. මෙම ශිලා ලිපියෙන් ඒ බව මැනවින් පැහැදිලි වෙයි. මෙම ගල්පොත ශිලා ලේඛනයේ සඳහන් වන පරිදි ජයඝෝෂ රජතුමා ඔහුගේ පියා ය. පාර්වති මහාදේවිය මව ය. නිශ්ශංකමල්ල රජුගේ පියා ගැන දකුණු ඉන්දියාවේ සෙල්ලිපිවල කිසිදු සඳහනක් නැත. ඒ නිසා ඔහු දකුණු ඉන්දියාවේ සුළු ප්‍රාන්තයක රජෙකු වන්නට ඇත.

පොළොන්නරුවේ “ගල්පොත ශිලා ලිපිය පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක් වූ Epidraphia- Zeylanica දෙවැනි වෙළුම 1912-1927 ග්‍රන්ථය ලියූ එවක රජයේ ශිලා ලේඛනය ද ඩී.එම්.ඩී.ඉෂඩ් වික්‍රමසිංහ මහතා විසින් ඉහත සඳහන් ග්‍රන්ථයේ පිටු අංක 98 සිට 122 තෙක් Polonnaruwa Galpotha Slab Inscription නමින් ශාස්ත්‍රීය ලිපියක් ලියා ඇත. එම ග්‍රන්ථයට පොළොන්නරු යුගයට අයත් ශිලා ලේඛන 42 පිළිබඳ විග්‍රහ කර ලියා තිබේ. මෙහි භාෂා විලාසය අවබෝධ කර ගැනීම පිණිස ඉතා සුළු කොටසක් මෙසේ ය.

“පුලස්තිපුර නමැති කාලිංගකපුරයෙහි වැඩවසන සෙයෙක් ස්වමඬල පරමඬළ ය. චාර චක්ෂුසින් සතතයෙන් දකුදු අප ලක්දිව සෙ මෙහි තිබූ පරිදි ප්‍රත්‍යක්ෂ කළ (මැනවැ) යි සිවුරඟ සෙනඟ පිරිවරා ත්‍රිසිංහලයෙහි ගම් නියම්ගම්, රාජධානි, ජල දුර්ග ,ගිරි දුර්ග, වන දුර්ග. පංක දුර්ග හා එක් කොටැ ක්‍රීඩාභවනයක් හිමෙන් ඇවිද බලා වදාරා ප්‍රත්‍යන්ත වාසි බහුජනයන් ද මහාදාන වර්ෂාවෙන් පිනවා, තුන් රජයෙහි බැලූ මියුගුණ මහාවෙර (වෙහෙර) (මාහගම කැලණි ආදි වූ විහාර වල ද නවකම්මාන්ත කරවා දම්බුලු ලෙණැ හොත් උන් සිටී. පිළිම දාගැබ රන් ගාවා ලක්ෂයක් ධන වියදම්කොටැ (මහා) පූජා කරවා ( ඉහත සඳහන් ග්‍රන්ථයේ 106 පිටුව)

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජුනිමස 10 වන දා සඳුදා පූර්ව භාග 00.36 ට ලබයි. එම දා අපරභාග 10.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 10 වනදා සඳුදාය.

මීළඟ පෝය ජුනි මස 16 වනදා ඉරිදාය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 16

Second Quarterඅව අටවක

ජූනි 25

Full Moonඅමාවක

ජූලි 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk