[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඓතිහාසික තිස්සමහාරාම මහා විහාර පෙරහර මංගල්‍යය

ඓතිහාසික තිස්සමහාරාම මහා විහාර පෙරහර මංගල්‍යය

පොසොන් පොහොය යනු ශ්‍රී ලාංකේය ජනතාව අභිමානවත්ව සමරන ප්‍රධාන උතුම් පොහෝ දිනයකි. එදින දෙවැනි වන්නේ අසිරිමත් තෙමඟුල සිහිපත් කරන වෙසක් පොහොය දිනයට පමණි. නැකතට දඩ කෙළියේ යාමත්, ගස් ගල් ඇදහීමත් පුරුදු වී සිටි ජනතාව එයින් නිදහස් කොට මගඵලලාභී රහත් මුනිවරුන්ගේ පරපුරක් බවට පත් වූයේ පොසොන් පොහෝ දවසේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන රාජකීය ධර්මදූත පිරිස වෙතින් ලත් මහානීය දායාදය වූ බුදු දහමේ මහිමයෙනි.

මහාවංශයට අනුව රෝහණයේ ජනාවාස බිහිවීම ආරම්භ වන්නේ මහානාග යුවරජු රෝහණයට පලා ඒමත් සමගිනි. නමුත් මහාවංශයේ ම ශ්‍රී මහාබෝධි රෝපණය කිරීම පිළිබඳ දක්වා ඇති තොරතුරුවල දී චන්දන ග්‍රාමයේ සහ කාචර ග්‍රාමයේ ක්ෂත්‍රියයන් එම අවස්ථාවට සහභාගී වූ බව සඳහන් වේ. ගෝඨාභය රජු විසින් කතරගම විසූ දසභාතිය රජුන් මරුමුවට පත්කොට ඇත. බුදුරදුන්ගේ ලංකා ගමන ගැන සඳහන් වන අවස්ථාවේ දී, කතරගම, තිස්සමහාරාමය වැනි රුහුණේ විවිධ ස්ථානවලට වැඩම කළ බව සඳහන්ව ඇත.

දෙවනපෑතිස් මහරජතුමාගේ මූලිකත්වයෙන් අනුරාධපුර මහා විහාරය ඉදි වූ අතර, කාවන්තිස්ස මහරජතුමාගේ මූලිකත්වයෙන් රුහුණේ තිස්ස මහා විහාරය ඉදි වුණි.

1900 වර්ෂයේ ප්‍රතිසංස්කරණයෙන් පසු මෙම චෛත්‍යයෙහි තවත් සර්වඥ ධාතූන් වහන්සේලා 19 නමක් තැන්පත් කළ බව තිස්ස මහා විහාර වංශයේ සඳහන් වේ.


මාතර කන්දබඩපත්තුව ඇතුළු හම්බන්තර පළාතේ ප්‍රධාන සංඝ නායක තිස්සමහාරාම
සඳගිරි උභය රාජමහා විහාරාධිපති
‘ශ්‍රී ධර්මකීර්ති ශ්‍රී ධම්මදින්න පඤ්ඤාලෝක’
ආචාර්ය
දේවාලේගම ධම්මසේන නා හිමි

බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් තුන්වන ලංකා ගමනයත් සමඟ ඒකාලෝක වූ තිස්සමහාරාම පුදබිම පන්සියයක් රහතන් වහන්සේලා සමඟ බුදුරදුන්ට සමවත් සුවයෙන් වැඩසිටීමට ඉඩ හසර සැලසිණි. දකුණු ලක බුදුරදුන් වැඩ සිටිය සොළොස්මස්ථානයක් වන තිස්සමහාරාම පුදබිම වත්මන දක්වා ම ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජයට නිවැරැදි හා සෘජු නායකත්වයක් සපයයි.

කාලයාගේ ඇවෑමෙන් පෙර රජ දවසින් පසුව ජරාවාස වූ තිස්සමහාරාම පුදබිම වසර 1835 දී ශාසන මාමක වේපතඉර සුමන සාමණේරයන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යෙන් කටුකොහොල් හැර පිළිසකර කොට කොත් පැළඳවීම සිදුවූයේ මහත් අභිමානයෙනි. අනතුරුව 1873 දී ගර්භ නිධානෝත්සවය හා වසර 1900 දී වල්පිට මේධංකර මාහිමියන් විහාර කාර්යය සාධක සමිතිය ගොඩනැගුවේ තිස්ස මහා සෑ රදුන් ජීවමානත්වයට පත් කරලීමේ දෘඪ අධිෂ්ඨානයකිනි. එදවසින් ආරම්භ වූයේ පළමු පෙරහරයි. පන්දම් ආලෝකය මගින් පන්දම් පෙරහර සිදුකොට මෑත ඉතිහාසයේ ප්‍රථම පෙරහරට මුල පිරිණි. අනතුරුව තත්කාලීන යතිවරයන් වහන්සේලා මේ උතුම් ආමිස පූජාව වසරින් වසර සංවර්ධනය කර වූයේ වර්තමානයේ ශ්‍රී ලාංකේය පෙරහර සංස්කෘතිය තුළ අභිමානවත් සකලවිධ වූ සංස්කෘතිකාංගයන්ගෙන් සමන්විත උතුම් පෙරහර මංගල්‍යයක් ලෙසිනි.

වර්තමාන විහාරාධිපති මාතර කන්දබඩපත්තුව ඇතුළු හම්බන්තර පළාතේ ප්‍රධාන සංඝනායක තිස්සමහාරාම සඳගිරි උභය රාජමහා විහාරාධිපති ශ්‍රී කාවන්තිස්ස මහ පිරිවෙනෙහි අධ්‍යක්ෂ, ශ්‍රී කාවන්තිස්ස වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ‘ශ්‍රී ධර්මකීර්ති ශ්‍රී ධම්මදින්න පඤ්ඤාලෝක’ ආචාර්ය දේවාලේගම ධම්මසේන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අප්‍රතිහත සංවිධානාත්මක ශක්තිය ශාසන මාමකත්වය තුළ පොසොන් මහා පෙරහර මංගල්‍යය 119 වරටත් මෙම වර්ෂය තුළදී සංවිධානය කරනු ලබන්නේ මහත් අභිමානයෙනි. වසර 119 ක් පුරාවට විවිධ වූ හැලහැප්පිලි මත වුව ද බුදුරජාණන් වහන්සේ උදෙසා මෙම උතුම් ආමිස පුජාව සිදුකිරීමට ලැබීම මහත් භාග්‍යයකි.

පන්දම් පෙරහර, මල් පෙරහර යන විරුදාවලි නාමයන් ඉසිලූ තිස්සමහාරාම මහ පෙරහර වත්මනෙහි ලෝ වැස්සන්ගේ ගෞරව බහුමානයට ලක් වන්නේ ‘තිස්සමහාරාම මහා විහාර පෙරහර මංගල්‍යය’ ලෙසිනි. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ මහින්දාගමනයෙන් ශෝභමාන වන පොසොන් පොහොයට සමගාමීව තිස්සමහාරාම මහා විහාර පොසොන් පෙරහර සංවිධානගත විය. වත්මනෙහි තිස්සමහාරාම පොසොන් මහ පෙරහර මංගල්‍යය, මහ පෙරහරට පමණක් සීමා නොවී මහා පුණ්‍යොත්සවයක් බවට පත් කිරීමට උත්සුක වූයේ වත්මන් විහාරාධිපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සංවිධානාත්මක ශක්තිය හා ධෛර්ය නිසා යැයි පැවසීම යුක්ති යුක්ත ය.

2019 වසරේ තිස්සමහාරාම පොසොන් මහා පුණ්‍යොත්සවය සහ පොසොන් මහ පෙරහර මංගල්‍යය සංවිධාන ගත වූයේ විහාරාධිපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධාන අනුශාසනා පරිදි විහාරස්ථ මහා සංඝරත්නය සමඟ පෙරහර සංවිධාන කමිටුව හා දායක සභාව මෙන්ම නිලමේවරුන්ගේ සහභාගීත්වයෙනි.

මෙවර පොසොන් පුණ්‍යොත්සවය තිස්සමහාරාම මහා විහාරය තුළින් ඒකාලෝක වන්නේ මෙලෙසිනි.

මැයි මස 21 සිට ඇරැඹුණු බෝධි පූජා පින්කම් හා දම් දෙසුම් ජුනි මස 13 දින දක්වා , ජුනි මස 01 දින සිට ජුනි මස 13 දින දක්වා අටවිසි බුද්ධ පූජා පින්කම් ද, ජූනි මස 7 දින සිට ජුනි මස 13 දින දක්වා සති පිරිත් දේශනාවද, ජුනි මස 08 වන දින තිස්ස මහ සෑ රදුන් වන්දනා නෙළුම් මල් පූජාවද, ජුනි මස 13 වන දින දේවදූත පෙරහර හා දොරකඩ අස්න අනුශාසනාවද, ජුනි මස 14 වන දින මහා සංඝගත දක්ෂිණාවද, පැවැත් වේ. ජූනි මස 14 වන දින තෙසැත්තෑ ඤාණ පූජාව, 14 වන දින මළුවේ පෙරහරද, ජුනි මස 15 වන දින වීථි සංචාර පෙරහර.

ජුනි මස 16 වන පොසොන් පුන් පොහෝ දින තිස්සමහාරාම මහ පෙරහරද,

ජුනි මස 17 වන දින පුණ්‍යානුමෝදනා බෝධි පූජා ද, ජුනි මස 22 වන දින දෙවොල් මඬු ශාන්තිකර්මය, ජුනි මස 23 වන දින මහා දේව දානය ද පැවැත්වේ .

මෙම පුණ්‍ය ධර්මයන් සංවිධාන කටයුතු කළ හැකි වූයේ යශෝධා සමූහ ව්‍යාපාරය මෙන්ම ශාසනාභිවෘද්ධි සැදැහැවතුන් නිසාවෙනි.

සෑම වර්ෂයක දී ම රාජ්‍ය අනුග්‍රහය ලබන්නා වූ පොසොන් පෙරහර මංගල්‍ය මෙවර ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අනුශාසකත්වයෙන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පූර්ණ අනුග්‍රහයෙන් පවත්වනු ලබන අතර, නිලමේවරුන් හා විහාරස්ථ දායක සභාව ලබා දෙන්නේ නිරන්තර දායකත්වයකි.

දෙවනපෑතිස් රජු දවස මිස්සක පවුවට වැඩම වූ විශ්වීය සද්ධර්මය වත්මන දක්වා නොකඩවා පවත්වන්නේ සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා යන උදාර සංකල්පයෙනි. රටේ පැවතියා වූ විවිධ දුර්භාග්‍ය සම්පන්න වූ කාල අවදීන් තුළ පවා සද්ධා හිතකාමීහු ස්වකීය යුතුකම හා වගකීම ඉටු කිරීමට වහ වහා උත්සුක වූහ.

ලාංකේය ශාසනික සම්ප්‍රදායන් තුළ රෝහණයේ (මාගම්) රාජධානිය ලෙස තිස්සමහාරාම මහා විහාරය උක්ත ශාසනික හැඟීම සිදු කරන්නේ මහත් වූ පරිශ්‍රමයකිනි. පුරා මාසයක් පුරාවට ශ්‍රී ලාංකික රටවැසියන්ටත්, ලෝ වැස්සන්ටත්, සාමය සෞභාග්‍යය අභිවෘද්ධිය සැලසේවා යන අදිටනින් තිස්සමහාරාම මහා විහාර පොසොන් මහා පුණ්‍යෙීත්සවය වාර්ෂිකව උත්කර්ෂවත්ව සමරනු ලබයි.

වත්මන තුළ රට මුහුණ දෙන්නා වූ අවාසනාවන්ත සිද්ධි දාමයන් උතුම් තෙරුවනේ බලෙන්, අනුහසින් සමනයට පත්වේවා යන උදාර චේතනාවෙන් මෙවර පින්කම් හා පෙරහර පැවැත්වීමට විධිවිධාන යොදමින් පවතියි. රටේ පවත්නා ආරක්ෂක ක්‍රියා මාර්ගයන්ට අනුගත වෙමින්, මහජන ආරක්ෂාවට මුල්තැන ලබා දෙමින් යම් සීමාවක් තුළ හිඳිමින් වුව, පෙරහර නොකඩවා පවත්වා ගැනීම අප සතු යුතුකමක් හා වගකීමකි. රෝහණයේ මහා කලා මංගල්‍යය ලෙස තිස්සමහාරාම මහා පෙරහර මෙවර ද පවත්වන්නේ විශේෂයෙන් ම ශ්‍රී ලාංකික ජන ජීවිතයට, රටට, සාමය සෞභාග්‍යය උදා වී මේ අභාග්‍ය සම්පන්න කාල අවදිය ඉක්මනින් දුරු වේවා යන අදහසිනි.

ජුනි මස 16 වන පොසොන් පුන් පොහෝ දින තිස්සමහාරාම පොසොන් මහා පෙරහර 2019 වසරේදීත් 119 වන වරට වීථි සංචාරය කිරීම තුළින් ඒකායන අපේක්ෂාව වන්නේ ලක්වැසි මෙන්ම ලෝවැසි දනන්හට උතුම් මහා සෑ රදුන්ගේ ආශිර්වාදය ලැබේවා මෙන්ම සියලු සත්වයෝ සුවපත් වේවා යන්න යි.

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජුනිමස 10 වන දා සඳුදා පූර්ව භාග 00.36 ට ලබයි. එම දා අපරභාග 10.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 10 වනදා සඳුදාය.

මීළඟ පෝය ජුනි මස 16 වනදා ඉරිදාය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 16

Second Quarterඅව අටවක

ජූනි 25

Full Moonඅමාවක

ජූලි 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]