Print this Article


ඛුද්දක නිකායෙහි උදාන පාලිය: අසිරිමත් බුදුරජාණන් වහන්සේ

ඛුද්දක නිකායෙහි උදාන පාලිය:

අසිරිමත් බුදුරජාණන් වහන්සේ

මෙම ලිපියේ මුල් කොටස පසුගිය 02 වැනිදා අමාවක පෝදා බුදුසරණ පුවත්පතේ පළවිය.

සම්මා සම්බුදු පදවිය ලැබ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ සෙවනේ සත් දිනක් එක දිගට එක පළඟින් ම විමුක්ති සුවයෙන් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ සමාධි සුවයෙන් නැඟී සිට පටිච්ච සමුප්පාද ධර්මය අනුලෝම වශයෙන් මෙනෙහි කොට දේශනා කිරීමෙන් පසු යථාර්ථය නුවණින් ප්‍රත්‍යක්ෂ කරගෙන, එම අවස්ථාවේ මේ උදාන ගාථාව වදාළ සේක.

දා හවේ පාතුභවන්ති ධම්මා
ආතාපිනො ඣායතො බ්‍රාහ්මණස්ස
අථස්ස කංඛා වපයන්ති සබ්බා
යතො පජානාති සහේතු ධම්මන්ති

“ ඒ අරහත් උතුමන්ට සියලු කෙලෙස් තවන වීරිය තිබෙනවා. උන්වහන්සේ ධ්‍යාන වඩනවා. ඉතින් ඒ අරහත් උත්තමයාට යම් වෙලාවක බෝධිපාක්ශික ධර්ම තමන් තුළ ඇතිවෙනවානම්, ඒ මොහොතේ තමන් තුළ තිබුණු හැම සැකයක් ම දුරුවී යනවා. ඒ තුළින්මයි මේ හේතුඵල ධර්මයේ යථාර්ථය අවබෝධ කරගන්නේ.”

දුතිය බෝධි සූත්‍රය හෙවත් සම්බුද්ධත්වය පිළිබඳ වදාළ දෙවන උදාන ගැන සඳහන් වන්නේ මෙලෙස යි. එදා රාත්‍රියේ මධ්‍යම යාමයේ දී භාග්‍යවතුන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මය ප්‍රතිලෝම වශයෙන් ඉතා හොඳින් මෙනෙහි කොට වදාළ සේක. එනම් “ මේ අයුරින් මේ හේතුව නැතිවෙන විටම මේ ඵලය නැතිවෙනවා. මේ හේතුව නිරුද්ධ වෙන විට ම මේ ඵලය නිරුද්ධ වෙනවා “ යනුවෙනි.

’ඉමස්මිං අසති ඉදං න හෝති. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ඣති’ අවිද්‍යාව නිරුද්ධවීමෙන්, සංස්කාර නිරුද්ධ වෙනවා. සංස්කාර නිරුද්ධ වීමෙන්, විඤ්ඤාණය නිරුද්ධ වෙනවා. විඤ්ඤාණය නිරුද්ධ වීමෙන්, නාමරූප නිරුද්ධ වෙනවා. නාමරූප නිරුද්ධ වීමෙන් ආයතන හය නිරුද්ධ වෙනවා. ආයතන හය නිරුද්ධ වීමෙන්, ස්පර්ශ නිරුද්ධ වෙනවා. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙනවා. විඳීම නිරුද්ධ වීමෙන්, තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ වීමෙන්, බැඳීම නිරුද්ධ වෙනවා. බැඳීම නිරුද්ධ වීමෙන් විපාක පිණිස කර්ම සකස්වීම නම් වූ භවය නිරුද්ධ වෙනවා. විපාක පිණිස කර්ම සකස්වීම නිරුද්ධ වීමෙන්, ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන්, ජරාවට පත්වීම, මරණයට පත්වීම, ශෝක කිරීම, වැළපීම, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙළීම නිරුද්ධ වෙනවා. මේ අයුරිනුයි මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වන්නේ” යනුවෙනි.එවිට භාග්‍යවතුන් වහන්සේ, මේ යථාර්ථය නුවණින් ප්‍රත්‍යක්ෂ කරගෙන ,ඒ වෙලාවේ නිරාමිස සතුටින් මේ උදාන ගාථාව වදාළ සේක.

යදා හවේ පාතුභවන්ති ධම්මා – ආතාපිනො ඣායතො බ්‍රාහ්මණස්ස
අථස්ස කංඛා වපයන්ති සබ්බා – යතො ඛයං පච්චයානං අවේදිතී

ඔහුට සියලු කෙලෙස් තවන වීරිය තිබෙනවා. ඔහු ධ්‍යාන වඩනවා. ඉතින් ඒ අරහත් බ්‍රාහ්මණයාට යම් වෙලාවක බෝධි පාක්ෂික ධර්ම තමන් තුළ ඇතිවෙනවා නම්, ඒ මොහොතේ තමන් තුළ තිබූ හැම සැකයක් ම දුරුවෙලා යනවා. ඒ තුළින්ම යි මේ හේතුඵල ධර්මයේ යථාර්ථය අවබෝධ කරගන්නේ”

අනතුරුව සඳහන් වන තතිය බෝධි සූත්‍රයේ දැක්වෙන්නේ සම්බුද්ධත්වය ගැන වදාළ තෙවන උදානය යි. එදා රාත්‍රී පශ්චිම යාමයේ භාග්‍යවතුන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මය අනුලෝම – ප්‍රතිලෝම වශයෙන් ඉතා හොඳින් මෙනෙහි කොට වදාළා. එනම් “ මේ අයුරින් මේ හේතුව ඇතිවන විට, මේ ඵලය ඇතිවෙනවා. මේ හේතුව උපදින විට මේ ඵලය උපදිනවා. මේ හේතුව නැති වෙන විට මේ ඵලය නැතිවෙනවා. මේ හේතුව නිරුද්ධ වෙන විට මේ ඵලය නිරුද්ධ වෙනවා” කියායි. එවිට භාග්‍යවතුන් වහන්සේ මේ යථාර්ථය නුවණින් ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ අවස්ථාවේ දී ශාන්තව, සතුටින් යුතුව මේ උදාන ගාථාව වදාළ සේක.

යදා හවෙ පාතුභවන්ති ධම්මා
ආතාපිනෝ ඣායතො බ්‍රාහ්මණස්ස
විධූපයං තිට්ඨාති මාරසේනං
සූරියොව ඕභාසයමන්තළික්ඛන්ති

“ සියලු කෙලෙස් තවන වීරිය තිබෙනවා. ධ්‍යාන වඩනවා. ඉතින් ඒ අරහත් බ්‍රාහ්මණයාට යම් වෙලාවක බෝධි පාක්ෂික ධර්ම තමන් තුළ ඇතිවෙනවා නම්, ඒ මොහොතේ අහස් කුස බබළන හිරු මඬලක් සෙයින් මාර සේනාව කම්පා කර වැඩ සිටිනවා. අපටද ඒ උතුම් සම්බුද්ධත්වය පිළිබඳව වඩ වඩාත් චිත්ත ප්‍රසාදය ඇති කරගන්නට මෙම උතුම් දේශනා උපකාර වේවා.!