Print this Article


සතිපට්ඨාන භාවනාව 56: විතක්ක චක්කය - පාරමී ගමන

විතක්ක චක්කය:

පාරමී ගමන

මෙම ලිපියෙහි මුල් කොටස වෙසක් අමාවක පෝදා(ජුනි 02) පත්‍රයේ පළ විය.

කුරුරට වැඩ සිටි තිස් දහසක් භික්ෂූන් වහන්සේලාට මේ දේශනය අනුපිළිවෙළින් කරගෙන යනවිට උන්වහන්සේලාට ගැඹුරු නුවණක් තියෙන නිසා, වටහා ගන්න පුළුවන්කමක් ලැබුණා.

ඒ නිසා උන්වහන්සේලාට රහත් බව ලබන්න පුළුවන්කම ලැබුණා, සිව්පිළිසිඹියා ඥාන සහිතව. අත්ත පටිසම්භිදා ඥානය, ධම්ම පටිසම්භිදා ඥානය, නිරුක්ති පටිසම්භිදා ඥානය, පටිභාන පටිසම්භිදා ඥානය ආදිය ඥාන හතරට කියන්නේ සිව් පිළිසිඹියා ඥාන කියල යි. එය බොහොම ගැඹුරු ප්‍රඥා හතරක්. ඒවා මහා රහතන් වහන්සේට පමණ යි, ලැබෙන්නේ.

රහතන් වහන්සේ, මහා රහතන් වහන්සේ යනුවෙන් කොටස් දෙකක් වෙයි. රහතන් වහන්සේට සිව් පිළිසිඹියා ඥාන නැහැ. මහා රහතන් වහන්සේට සිව් පිළිසිඹියා ඥාන තිබෙයි. එය විශේෂයෙන් දැන ගන්නට අවශ්‍ය යි. ඕනෑම භාවනාවක් නිවන් සැප ලැබේවා යන පැතුමෙන් සිදු කළොත්, එය ප්‍රතිපත්ති පූජාවක් වෙයි. දාන, සීල, වන්දනා සියලු පින්කම්, බුද්ධ පූජා, වන්දනා මාන සියල්ලම නිවන් සැප ලැබේවා යන අදහසින් කළොත්, ප්‍රතිපත්ති පූජාව වෙයි. මනුෂ්‍ය, දේව, බ්‍රහ්ම සම්පත් පතාගෙන මේ සියලු පින්කම් කළොත්, ඒවා සියල්ලම ආමිස පූජාවට වැටෙනවා, භව සම්පත් පතාගෙන බැවින්.

මේ ගැන කවුරුත් හසළ දැනුමකින්, සම්මා සම්බුද්ධ ශාසනය පිළිබඳව අචල ප්‍රසාදයෙන් කටයුතු කළොත් හැමෝටම ධර්මය අවබෝධ කර ගැනීම අසීරු දෙයක් නො වෙයි. තණ්හාව නැති කරන ක්‍රම උන්වහන්සේ නැවත වතාවක් විතර්ක චක්කයෙන් ඉදිරිපත් කළේ. එසේනම්, තමන්ගේ නුවණින් කල්පනා කර, විතක්ක ඒ අවස්ථාවල පහළ වෙද්දී එය තම තමා නැති කර ගැනීම සඳහා කටයුතු කළ යුතු යි.

විනාඩි පහක් වාඩිවෙලා සිහි නුවණින් ගත කළොත්, ඒ මොහොතේ තණ්හාවට එන්නට ඉඩ කඩ නැහැ.ඒ මොහොතේ අලෝභ චේතනාව පහළ වන අතර එය හොඳ අවස්ථාවක්. එලෙස විවේකයක් ලද විගස තමන්ට තියෙන්නේ තම නුවණ දියුණු කර ගැනීම සඳහා යම් අරමුණක් සිතෙන් මෙනෙහි කළ යුතු යි. රූප විතර්කය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්මයි යනුවෙන් නිතර නිතර මෙනෙහි කරගෙන යනවිට, පව් සිතිවිලි, කෙලෙස් නැතිවී, නික්ලේෂී භාවයට පත් වෙන්න පුළුවන්. රහතන් වහන්සේ නික්ලේෂී බවට පත් වුණා. කෙලෙස් කිසිවක් හට ගන්නන් නැහැ. කෙලෙස් සියල්ල සිඳ බිඳ දැමුවා. ඒ උතුමෝ භාවනා ක්‍රම අනුගමනය කළා.

රාජ රාජ මහා අමාත්‍යවරු , අන්‍ය ආගමික වාදීන් නොයෙක් දෙනා සම්බුදු පාමුල වැඳ වැටී තෙරුවන් සරණ ගියේ මේ දහම වැදගත් නිසයි. එසේම ශීල, සමාධි , ප්‍රඥා යන උතුම් ගුණ දියුණු කරන දහමක්. ඒ දහමට අනුව වැඩකටයුතු කරගෙන යන කිසිම කෙනෙකුට වැරදුනේ නැහැ. අපේ ශාසනයේ සීල ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ සීල ප්‍රතිපත්තියත් ආරක්ෂා කරගෙන ඉදිරියට යාමෙන් සැමගේ ම සියලු අබිමත, ප්‍රාර්ථනාවෝ ඉෂ්ඨ කරගෙන නිවන දෙසට යන්න පුළුවන්. ඒ යන මඟයි, විතර්ක චක්කයෙන් ඉදිරිපත් කළේ. සිතට එන සියලු විතර්ක , අරමුණු අනිත්‍ය , දුක්ඛ , අනාත්ම වශයෙන් සැලකිය යුතු යි. ඒවා ක්‍රම හයක් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම වශයෙන් ගෙන හැර දැක්වූවා. මේ ගැන කවුරුත් ඉගෙන ගෙන තමන්ගේ දැනුම වැඩිකරගෙන කටයුතු කළ යුතු යි. එයින් තමන්ට යහපතක් මිස කවම දවසකවත් අයහපතක් සිදු වන්නේ නැහැ.

බුද්ධ ධර්මය සමස්ත ලෝකයට ම විහිදී ගියේ නිවැරැදි ප්‍රතිපත්තියක් ලෝකයට හමුවුණ නිසා. මේ නිවැරැදි ක්‍රමය ලෝකයට ලැබුණු නිසා තමයි, සැවොම මේ ධර්මය ගැන සොයන්න පටන් ගත්තේ. අද ලොවේ අති විශාල පිරිසක් බුදු දහම සොයනවා. බුදු දහමෙන් කියන්නේ කුමක් ද? අධ්‍යාත්මික ගුණ වගාව කුමක් ද? භාවනා ක්‍රම මොනවා ද? මේ ගැන හොඳට ගවේශණය කරනවා. ඒ නිසා යම් කෙනෙක් බෞද්ධයෙකුගෙන් යමක් ඇසුවොත් මේගැන කියා දෙන්න දැනුම සකසා ගත යුතු යි. ඒ නිසා තුනුරුවන් සරණ යාමේ පටන් සියලු ම ගුණ ධර්ම ටික දියුණු තියුණු කරගනු ලැබුවොත්, අපට තථාගත ධර්මය අවබෝධ කරගන්න අපහසු වන්නේ නැහැ. ගිහි ගෙදර කරදර කම්කටොළු බාධක බහුල වුවත්, ඒ වැඩකටයුතු සිදු කරන ගමන් ම පරලොව ගැන, නිවන ගැන සිතා කටයුතු කළ යුතු යි. විශේෂයෙන් සතර අපායක් තියෙනවා. ඒ අපායෙන් බේරීමට පළමුව වග බලා ගත යුතුයි.

එවිට බුදුදහම වටහාගෙන එයට අනුව වැඩ කටයුතු කිරීම අපහසු කරුණක් නො වෙයි. ඒ ධර්මතා සියල්ල හොඳින් ඉගෙන කියාගෙන බුදු දහමට අනුකූලව වැඩ කර, තම පාරමී ගමන පිරිසුදුවට යන්නට පුළුවන් . එයට අනුකූලව කටයුතු කරන අයට වැරදුනේ නැහැ. නිවන් දක්නා ජාති දක්වා ම පහසු ගමනක් යන්න පුළුවන්කමක් ලැබුණා. සැරියුත් , මුගලන්, ආනන්ද , කාශ්‍යප, වැනි මහ රහතන් වහන්සේලා ගමන් ගත් මඟ වැරදුනේ නැහැ. අපායට ගියේ නැහැ. සුගතියකම වාසය කර අප්‍රමාදී විහරණයෙන් කටයුතු කර, දස පාරමිතාවෝ නියමාකාරයෙන් දියුණු කළා. ඒ නිසා එවැනි උතුමන්ට ලොවුතුරා ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබුණා.

ඔබ අප සැම දෙනා ම ඒ දහමට අනුව කටයුතු කරන්න අධිෂ්ඨාන තබා ගන්න. මේ භාවනා පාඩමත් හොඳින් දියුණු තියුණු කර, ඊළඟ සතිය දක්වා ම මේවා පුුරුදු පුහුණු කරගෙන කටයුතු කළ යුතු යි. මෙයින් ජනිත වන පින හේතු කරගෙන ඔබ අප සියලු දෙනාටම බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වැඩ වදාළ අජරාමර ශාන්ත ලෝකෝත්තර අමා මහා නිවන් සම්පත් පිණිස හේතු වාසනා වේවා!