Print this Article


කරදර අභිබවා යන්නට ...

කරදර අභිබවා යන්නට ...

අපේ සමාජයේ ජීවත්වන සමහර පින්වතුන්ගේ නිවාසවලට හරියට කරදර පැමිණෙනවා කියල ඔබත් අසා ඇති. සමහර අයට නොයෙක් ලෙඩ රෝග හට ගන්නවා.

තවත් සමහර විට අහළ පහළ නිවාසවල අය අමනාප වෙනවා. ආර්ථික කඩාවැටීම් මේ ආදී නොයෙක් දේ ජීවිතය පුරාම එනවා. අන්න ඒ අයුරෙන් තමන් අකැමැති කරදර එකදිගට පැමිණෙන වේලාවල දී අප කුමක්ද කළ යුත්තේ කියා හිතා බලා තිබෙනවා ද?

උදාහරණයකට අපේ ගමේ එක් නිවසකට එක දිගට අර කියූ කරදර පැමිණෙනවා කියල හිතමු. අප ඇසුරු කරන අය එබඳු වෙලාවක දී අර නිවසට ගොස් ඒ අයට උපදෙස් දෙන්නේ කොහොමද? එහෙම යන බොහෝ දෙනා උපදෙස් දෙන්නේ, සමහරවිට ගෙදර දෝෂයක් වෙන්න ඇති, නැතිනම් අමනුස්ස දෝෂයක්, වෙන්න ඇති. එහෙමත් නැතිනම් කොඩි විනයක් වෙන්න ඇති. ප්‍රේත දෝෂයක් වෙන්න ඇති. නැතිනම් භූමි දෝෂයක් වෙන්න ඇති. නැතිනම් නිවාසයේ උළුවහු ගණන වැරැදිලා ඇති. එබඳු උපදෙස් නේ දෙන්නේ. ඒ සමඟම ඒ කරුණු කියන්නෙ කොහොමද කියලත් හිතල බලන්න. සාධක සහිතව, රස කර, හර කර මේ දේ නොකෙරුවොත් කවදාවත් එය හරියන්නේ නෑ කියල. අර ගැටලුවෙන් අසරණ වෙලා, සිටින නිවසේ ඇත්තන්ගේ අර අසරණකම ඒ උපදෙස්වලින් තවත් වැඩි වෙනවා. එහෙම අසරණකම වැඩිවීම නිසා එබඳු තැනැත්තා නොයෙක් අන්ධ දේ පිටුපස යනවා.

එහෙම අන්ධ දේ පසුපස ගිය තැනැත්තාගේ ආර්ථික තත්ත්වය තිබුණටත් වඩා පසුපසට ම යනවා. සමහර අය අර අසරණ වෙලා ඉන්න ඇත්තන් තවත් රවටා ගන්නවා.නරකයෙන් නරකට, දුකෙන් දුකට ඒ නිසා පත් වෙනවා. කරදර, කම්කටොලු, බාධක එක දිගටම පැමිණෙන විට බුදුහාමුදුරුවෝ ඒ ගැන දේශනා කර තිබෙන්නේ කුමක්දැයි සොයන අය ඒ වගේ දේ කරන්නේ නෑ.

බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව අපේ ජීවිතවලට ඒ වගේ දුක් කරදර එක දිගටම පැමිණෙන්නේ මොනවා නිසාද? සමහර අසනීප, ඇති වුණාම දක්ෂම වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ගත්තත් සුවවෙන්නෙ නෑ. සුව වුණේ නෑ කියනවා. එක අංශයක් සවිමත් කරනවිට තවත් අංශයක් කඩාගෙන වැටෙනවා. දිගින් දිගටම එබඳු තත්ත්වයන් උදාවන විට කුමක්ද? ඒ පෙර කරන ලද කර්මයක්, එහෙමනම් කර්මය පඩිසන් දීමට පටන් ගත්තොත් මොකුත්ම කර වැඩක් තිබෙනවාද?

මොකුත්ම නැත්තෙ නෑ. කළයුතු දේ තිබෙනවා. කර්මයට සියල්ල බාර දී බලා ඉන්න කියා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑ. අප ශ්‍රද්ධා සම්පන්න නම් හැම වෙලාවකම අපට නිවැරැදි දෘෂ්ටියක් ඇතිවිය යුතුයි. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි යනුවෙන් කීවිට අප තුළ නිවැරැදි දෘෂ්ටියක් තිබිය යුතු යි. අප නිවැරැදිව කටයුතු කළ යුතුව තිබෙනවා. එසේ නිවැරැදිව කටයුතු කළේ නැතිනම් බැලිය යුතුයි. තමා දැනට එසේ නිවැරැදිව කටයුතු කරනවාද? යන කරුණ පිළිබඳව. ඇත්තටම කරදරකාරී තත්ත්වයන්ට හේතුව කර්මයයි. ඒ කරදරකාරී තත්ත්වයන් අභිබවා යන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. ක්‍රම හතරක් තිබෙන බව. මොනවද මේ ක්‍රම හතර භාවිත කාය, භාවිත චිත්ත, භාවිත සීල, භාවිත ප්‍රඥා යන ක්‍රම හතරයි.

කාය යනුවෙන් සඳහන් කරන්නේ වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කොටසට සඳහන් කරනව චිත්ත යනුවෙන්. කාය පස්සද්ධිය, චිත්ත පස්සද්ධිය කීවත් ඒ ආකාරයටමයි. මේ කරුණුවලින් අපට පැහැදිලි කර දෙනු ලබන්නේ අපේ මේ ජීවිතය නිවැරැදිව හැසිරවිය යුතු බවයි.මේ සඳහන් කර තිබෙන්නේ. භාවිත සීල යම්කිසි ආකාරයකට සීලය ආරක්ෂා කරන්නට පටන්ගතහොත් තමන්ගේ සිත ආරක්ෂා කරගන්නට ඕනෑ. තමන්ගේ කය නිවැරැදිව තබා ගත යුතුයි. වේදනා ආදිය පවතින්නේ මේ කය ආශ්‍රය කරගෙන බව අමතක නොකළ යුත්තක්. එහෙම නම් කයෙන් නිවැරැදි ක්‍රියාම සිදු කරන්නට ඕනෑ. සීලය ආරක්ෂා කිරීම සහ සිත නිවැරැදි කර ගතයුතුයි. ඊළඟට භාවිත ප්‍රඥා සමාධිය වඩා ප්‍රඥාව දියුණු කරගත යුතුයි. ප්‍රඥාව දියුණු කර ගැනීම කියල සඳහන් වන්නේ ධර්මය අවබෝධ කර ගැනීමයි.

සීල, සමාධි, ප්‍රඥා සහ විදර්ශනා භාවනාව සහ සමථ භාවනාවෙහි යෙදෙමින් තමන්ගේ සිත ඒකාග්‍රතාවය ඇතිකරගැනීම සහ ප්‍රඥාව දියුණු කර ගත යුතු යි. ඒවා සම්පූර්ණ කර ගැනීමෙන් කර්මයන් ක්ෂය වෙනවා. මීට කෙතරම් ගැලපුමත් තිබෙනවාද බලන්න. ලෙඩ ඇති වන්නේ කයට යි. කයේ ඇතිවන ලෙඩ බලපාන කරුණු සතරක් පවතිනවා.