Print this Article


සියවස සපිරෙන  දෙල්ලව ශ්‍රී නාථාරාම විහාරය

සියවස සපිරෙන  දෙල්ලව ශ්‍රී නාථාරාම විහාරය

රුහුණේ අසිරිමත් සිංහරාජ වනපෙත ආසන්නයේ පිහිටි ඉපැරැණි සුන්දර ගම්මානයක් ඇත. ගාලු දිසාවේ අන්තය ද වෙමින් ගාල්ල සිට සැතපුම් පනහක් පමණ ඈතින් පිහිටි එම ගමට නෙළුව කඩිහිංගල මාර්ගයේ පොල්ගම්පලින්, මොරවක නෙළුව මාර්ගයේ දංගල මංසන්ධියෙන් පිවිසිය හැකි ය. ඉපැරැණි සිංහල ගමක හැඩරුව අත්දැකිය හැකි එම සුන්දර ගම්මානය දෙල්ලව නමින් හැඳින්වේ.

එම ගමමැද කඳුගැටයක පිහිටි ශ්‍රී නාථාරාම විහාරය වසර සියයකට පෙර ආරම්භ වූ සිද්ධස්ථානයකි. තිහගොඩ ඌරාපොළ පුරාණ විහාරාධිපති අකුරුගොඩ රතනජෝති මාහිමිපාණන් වහන්සේගේ උපදෙස් පරිදි ආරම්භ වූ මෙම විහාරය ‘අභිනවාරාමය’ නමින් මුලින් හඳුන්වා ඇත. මුල්කාලයේ ස්ථිර වශයෙන් භික්ෂූන් වහන්සේ නමක් වැඩ නොසිටි මෙම විහාරයේ දායක පිරිස මාතර ගල්කන්දේ පුරාණ රාජමහා විහාරස්ථානයේ වැඩසිටි දෙල්ලව පුඤ්ඤානන්ද හිමිපාණන් වහන්සේට ආරාධනා කර වඩමවා නතර කරගෙන ඇත. උන්වහන්සේ විසින් අභිනවාරාමය යන නම වෙනස්කර නාථාරාමය යන නම තබා ඇත.

මෙම ස්ථානයේ මුලින්ම පූජනීයත්වයට පත්වූයේ පාරිභෝගික චෛත්‍යය වූ බෝධින් වහන්සේ ය. එය දඹදිව ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ඵලරුහ බෝධියක් වශයෙන් 1932 වර්ෂයේ රෝපණය කළබවත්, එය ලබාදීමට පුඤ්ඤානන්ද හිමිපාණන් වහන්සේ මූලික වූ බවත් පැරැණි සටහනක සඳහන් වේ. විහාර මන්දිරයේ ඇති දර්ශනීය බුද්ධ ප්‍රතිමාවේ නේත්‍ර තැබීම 1933 වර්ෂයේ පෙබරවාරි මස සිදුකර ඇති අතර එම පින්කමට කඹුරුපිටියේ වනරතන මාහිමිපාණන් වහන්සේ වැඩම කර ඇත. පැරැණි චෛත්‍යයේ ධාතු නිධානය හා කොත් පැළඳවීම 1970 වර්ෂයේ සිදුකර ඇත.

වත්මන් දියුණුවේ නිර්මාතෘවරයා වූ දෙල්ලව පුඤ්ඤානන්ද මාහිමිපාණන් වහන්සේ ජරාවාස වූ සංඝාවාසය ප්‍රතිසංස්කරණය කර, ස්ථානයේ දියුණුව සඳහා පියවර රැසක් ගත්හ. විහාරස්ථානයේ දියුණුවට උදාර සේවාවක් සිදුකළ පුඤ්ඤානන්ද හිමිපාණෝ 1981 නොවැම්බර් මස අපවත් වූ හ. ඉන්පසු විහාරාධිපති ධුරයට පත් දෙල්ලව ජිනරතන නාහිමියෝ පුඤ්ඤානන්ද හිමිපාණන් වහන්සේ සිදුකළ ජාතික,ආගමික කටයුතු නොපිරිහෙලා ඉටුකළ අතර උන්වහන්සේට පවා සිදුකිරීමට අපහසු වූ සීමාමාලකය සම්මත කර සීමාමන්දිරයක් සෑදවීම, දහම්පාසලක් ආරම්භ කර පවත්වා ගෙන යාම හා පිරිවෙණක් ආරම්භ කර පවත්වා ගෙන යාම සිදු කෙරේ.

විහාරාධිපති නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි විහාරාධිකාරි ශාස්ත්‍රපති දෙල්ලව ධම්මරතන හිමිපාණන් වහන්සේ ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ලබා ගනිමින් දැනට සකලාංග සම්පූර්ණ විහාරස්ථානයත් බවට පත්කර ඇත. අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත්පැළඳවීම සඳහා සිදුකළ අතිඋත්කර්ෂවත් පුණ්‍යෙීත්සවය පසුගිය වසරෙහි සිදුකෙරිණි.

මෙම විහාරස්ථානය ආරම්භ කර වසර සියයක් සම්පූර්ණ වීම නිමිතිකරගෙන මෙම මස 11 වැනි දින සිට 15 වැනි දින දක්වා බුද්ධ පූජා, බෝධිපූජා, ධර්මදේශනා පිරිත්දේශනා, සංඝ ගත දක්ෂිණා ආදිය ඇතුළත් පින්කම් මාලාවක් සිදුකර දෙල්ලව පුඤ්ඤානන්ද මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන අපවත් වු මහ සඟරුවනටත්, විහාරස්ථානය ආරම්භයේ සිට ආධාර උපකාර කළ මියගිය දායක දායිකාවන්ටත් පුණ්‍යානුමෝදනා කිරීමට විහාරස්ථ භික්ෂූන් වහන්සේලා හා දායක පිරිස බලාපොරොත්තුවෙති.