Print this Article


පහන් සිතක කවි

ආසිරි පතමි

සම්බුදු දහම අනුව ම ඉදිරියට යමින්
කරුණා දයා ගුණ මතුකර සැමට පෙමින්
ගරුතර අපේ මාරස්සන සමිඳු නමින්
අඩ සිය වසර පුද ආසිරි පතමි පෙමින්

දෙසු දම් අමා සවනට මී බිඳු වුණිය
කාටත් නුවණැසින් ඒවා වැට හුනිය
දරු පරපුරට දුන් ඔවදන් මුතු මිණිය
බොදු සිත් සතන් අප සැමගෙම සැනසුනිය

****

කවියක් නොව පැතුමකි

හෙළ වදන් මදිය ඔබෙ ගුණ ලියන්නට
එකම කවිය ද මෙය යි, ඔබේ ගුණ ගයන්නට
’අම්මා’ යන වදන පමණි නැහැ වදනින් තෝරන්ට
පාරමිතා සසර පුරමි ඔබෙ ‘රාහුල’ පුතු වෙන්නට

****

දෙගුරුන් පුදමු

දුක සැප සොයා ඔසු දී සලසමින් සෙත
නහවා කවා සතපා සුව අසුන් මත
රැකගමු මව්පියන් වැනි තම හඳුන් පත
උපහාරයකි පුදනා බුදුරදුන් වෙත

රන්කිරි පොවා අන්දා දී රස හාදු
යහමග යවා නැණ ගුණ නුවණැස පෑදූ
නිති දුක් ගැහැට විඳ අපෙ සුවසෙත සෑදූ
දෙගුරුන් වඳිමු පුදනා මෙන් බුදු සාධූ

****

දහමෙන් බිඳක්

සුදු බුදු රැසින් තුන් ලෝතල තෙමා හළ
සඳු හිරු රැස් දහර පරදා එළිය කළ
මුදු ගුණ මහා මෙත් කරුණා ගුණය මුල
බුදු හාමුදුරුවනි මම ඔබෙ සිරිපාද මුල

පෙන්වා ලොවෙහි ඇති තතු දුක් අරිය සත
දුන්නා ගැලවුමට මාවත ඒ චතු සත
ගන්නා සිතට හිමි සඳුනේ එ පිළි වෙත
යන්නා දුක් බවය හැර මම නිවන වෙත

****

පොඩි හිමිගේ වියෝව

ඉහළට වඩින නුවණැස පමණට වැඩිය
හැම විට ගුරු අණට යටහත් බව දිිටිය
සැම හට සුහද ම ය හිතවත් කම දැඩිය
භවයට සමු දෙමින් හිමි අප හැර වැඩිය

දුටු විට සිඟිති මුව, පිපි කුසුමක හැඩය
හැම විට මුව රඳන බණ දහමේ හඬය
ඇසු විට පැන, ලැබෙන පිළිතුරු හරි දැඩිය
අකලට මිලින වුණි, පිපුනා හැඩ වැඩිය

****

මටත් පින් ටිකක්

තල්ලු කරගෙන අත් කරත්තය
යමි වරින් වර මහා සෑ වට
පරමලින් පුරවා බඳුන් ටික
රැගෙන යමි මලු දොරින් ඉවතට

ගතට දැනුනත් දැඩි විඩාබර
නොපෙන්වමි කිසිවකුට ඒ වග
ලැබෙනමුත් දිවි රකින සොච්චම
මං කරන්නේ ‘දේව කාරිය’

වැතිරිලා සෑ රජුගෙ පාමුල
පුදන්නට සිතුනත් නෙලුම් මල
අනේ! නැති හැටි ඊට ඉඩකඩ
ඉතින් අහිමි ද සදා පින් මට

****

අම්මා

අම්මගෙ සුසුම්වල ඇය හෙළු කඳුළු වල
තිබෙනා අගය කවියෙන් කළ නොහැක මිල
මිනිසුන් සිටී නම් මේ ගැන මෙනෙහි කළ
උන් සැප විඳිනු ඇත දෙව් ලොව විමන් වල

අප දැඩි වෙලා මව් සෙවණේ බොළඳ පපා
අම්මගෙ නුගුණ කිසි දවසක කියනු එපා
ඉන්නට කැමැති නම් නොවැටී සතර අපා
අම්මගෙ නෙතින් උණු කඳුළැලි හෙලනු එපා

****

මරණය

ඉටි පහන් දැල්ල
සුළඟට පිටුපා
ඉන්නට නොනිවී
දඟලයි
කඳුළු රූරා වැටී
නිවී යයි
මේ
මරණය ද

****

පිරිතෙහි බලය

තිලොව තිලක බුදු හිමියන් සත වෙත අම මෙත
ඇතිව දෙසන ලද පිරිතෙහි මහ ගුණ බල ඇත
මෙලොව සැමගෙ එලොව මෙලොව පිණිස අපරිමිත
දෙසුව පිරිත් අසමු ගයමු පහදා තුන් සිත

****

මෙත් බලය

මෛත්‍රී බලය
පතුරවමින්
සත් සිත්
පුබුදුවමින්
සත්ත්වයා හට
සෙත් දෙමින්
සිත් මහත්
නිවමිනා...

****

මෑණියනි

ඔබ මට දුන්න කිරි
තවමත් මගෙ
සිරුරේ නහරවල
රැඳී ඇත
නැත, එහි
පැරැණි බවක්
අදත් ඒ නැවුම් සුවඳ
දැනේ මගෙ නැහැයට
උදේ හවා