සසරේ බිය
දැක ගනිමු
කොළොන්නාවේ
සිරි සුමංගල
මහ නා හිමි
අද ළමා වියේ හිටපු අය හෙට වැඩි වියට පැමිණෙනවා. වැඩිහිටි ඇත්තෝ මහලු වියට
පැමිණෙනවා. දවසින් දවස ගෙවී යනවා මිසක් මොනවද පින්වතුනේ ඔබට ජීවිතේ ගැන හිතෙන්නේ.
වතුර මත ඇඳි ඉරක් වගේ මේ ජීවිතේ. තණ අග පිනි බිඳුවක් වගේ අස්ථිරයි. මේ ජීවිතේ
බලාපොරොත්තු, ආශාවන් පොදි බැඳගෙන ඔබ බලාගෙන ඉන්නවා.
අද අපට ඇසුරට හමුවෙලා තියෙන්නේ කවුද? අඥානයින්. බුදුහාමුදුරුවෝ අපට බාලයන් ඇසුරු
කරන්න එපාය කිව්වා. ගුණවතුන් ඉන්නේ කොහේද?
පින්වතුනේ...එදා බුදුරජාණන් වහන්සේ දේශනා කළ පංච නීවරණ, සිතක ස්වභාවය කොහොමද
පින්වතුනේ.කාමච්ඡන්දය...සායම් පොවපු වතුරකින් මූණ බැලුවම පේනවද? පාට දමපු වතුරකින්
මූණ බලන්න බැරුවා වගේ කාමච්ඡන්දය හරියට ණයක් ගත්තා වගේ. අපි ණයක් ගත්තොත් ඒ ණය වෙන
භවයක හරි ගෙවන්නම එපායැ. කාමච්ඡන්දයත් හරියට ණයක් ගත්තා වාගෙයි.
පින්වතුනේ...එතකොට ව්‍යාපාදය. නටන උණුවතුරෙන්, පැහෙන උණුවතුරෙන්, මූණ බලන්න බැහැනේ.
අන්න ඒ වගේ තමයි පින්වතුනේ ව්‍යාපාදය. ඒ කියන්නේ තරහව, කේන්තිය. තරහව හරියට රෝගයක්
වගෙයි. තරහව, කේන්තිය නමැති රෝගය අඩු කරගන්න ඕනෑ. ජීවිතයකට සැනසීමක් ලබන්න නම්.
ඊළඟට ථීනමිද්දය. ඒ කියන්නේ තිත්ත කරුවලේ වතුරකින් මූණ බැලුවොත් පේනවද? අන්න ඒ වගේ
තමයි ථීනමිද්දය . ඒ කියන්නේ අලසකමනේ. මේ වැඩේ මට දැන් කරන්න බැහැ. සීතල නිසා මේ
වැඩේ කරන්න බැහැ. බඩගිනි නිසා, නිදිමත නිසා කිය කියා අලස කමින් ජීවිතය ගෙවනවද? ඔන්න
මතක තියාගන්න. ථීනමිද්දය හරියට හිරගෙයක් වගෙයි. ඊළඟට උද්දච්ච කුක්කුච්ච. පාසි බැඳුන
වතුරෙන් මූණ බලන්න පුළුවන්ද? සෙවල බැඳිච්ච වතුර, පාසි පිරිච්ච වතුරෙන් මූණ බලන්න
බැහැනේ. අන්න ඒ වගේ තමයි අහංකාර හිත් ඇති ඇත්තෝ,උඩඟු සිත් ඇති ඇත්තෝ එක අරමුණක හිත
නැහැ. සිතේ විපිළිසර ස්වභාවය. පින්වතුනේ මතක .තියාගන්න. උද්දච්ච ,කුක්කුච්ච කිව්වම
හරියට දාස කමක් වගෙයි. ඊළඟට විචිකිච්චාව. සෙලවෙන වතුරකින් මූණ බලන්න බැරුවා වගේ මේ
සිතේ සැකය. හැමදේ ගැනම සැකයි. ධර්මය ගැන සැකයි. අන්න ඒ වගේ හිත් ඇති ඇත්තෝ නිතරම
සිත සතුටින් නැහැනේ. ඒකට කියනවා පින්වතුනේ වැලි කතරක් වගේ ය කියලා. දැන් මතකද?
වැලිකතරක්ය කියන්නේ කාන්තාරයක්නේ. කාන්තාරයක ස්වභාවය කොහොමද? මේ ධර්මය වුනත් සංසාරේ
පින් ඇති අයට මිහිරියි. අනිත් අය ධර්මය හරියට තේරුම් නොගෙන බැලුවොත් මොකද වෙන්නේ.
නිතරම බුදුගුණ, බුදු බලය විශ්වාස කරන්න. එතකොට ඔබට ජීවිතේ වරදින්නේ නැහැ.
පින්වතුනේ. රාගය අඩු සිත, ද්වේශය අඩු සිත, මෝහය අඩු සිත.....ජීවිතේ ජයග්‍රහණය
කරගන්න වෙහෙස වෙන සිත්. මිනිසුන් විදිහට මේ ලෝකයේ ඉපදිලා අපේ ආරක්ෂාව සලස්වාගෙන ද
තියෙන්නේ. මොකක්ද පින්වතුනේ මිනිසාගේ ආරක්ෂාව කියන්නේ. සිතලා වැඩ කිරීමනේ. සතුන්
නම් දන්නවා, ඒ සතාගේ ආරක්ෂාව සලසා ගන්න හැටි. ඒත් පින්වතුනේ, මිනිසුන් වෙලා ඉපදුන
අපි දන්නවද අපේ ආරක්ෂාව සලසා ගන්න හැටි. අලියා දන්නවා ඒ සතාගේ ආරක්ෂාව සලස ගන්න
හැටි. කොටි වලසුන්ගේ පටන් පුංචි සතුන් පවා ඒ බව දන්නවානේ. සතුන්ට තුවාලයක් හැදුණොත්
ඒ සතාට බේත් තියනවද? . ඒ වුනත් ඒ සතා දන්නවා තුවාලය හොඳ කරගන්න හැටි.
පින්වතුනේ...කිඹුලෙක් ගංතෙරට ඇවිත් රතුපාට පස් දුටුවම ගිලගෙන, ගිලගෙන යනවා. මස් ය
කියලා හිතලා ගිලිනවා. අන්න ඒ වගේ තමයි පින්වතුනේ, මේ සසරේ බිය නොදන්නා ඇත්තා
අධාර්මිකව හම්බකරලා ඒවායින් ජීවත් වෙනවා. ඒත් දන්නවාද? මේ භවයේ සැප විඳින්නට, යාන
වාහන ගේ දොර ඉඩකඩම් හොඳට තියාගන්නට,අධාර්මිකව හම්බ කරනවා නම් වන විපත සසරේම
ගෙනියන්න එපායැ. එක ආත්මෙකට විතරක් රැවටෙන්න එපා. මේ ගමන එක ආත්මෙකින් නිමා වෙන්නේ
නැහැනේ.
පින්වතුනේ සසරේ පුරුදු කරගෙන එන හොඳ දේ හොඳයි. ඒත් අපේ සිත නිතරම නරක දේම පුරුදු
කරගෙන ආවොත් ඒවායේ විපාක මේ භවයෙදී විතරක් නෙමෙයි. සසර ගමනම ගෙනියන්න එපාය.
ස්වභාවධර්මය පවා හරි පුදුමයි. ගහකොළ වුනත් ස්වභාව ධර්මය සමඟ අපි බැඳීමක් තියනවා.
අපි බෝධි පුජාවක් තියනකොට අපේ සිතට මොන තරම් සහනයක් , සැනසීමක් දැනෙනවද? ලොව්තුරු
දහමින් හැමදෙනාටම සැනසිල්ලක්ම වේවා! |