ප්‍රතිපත්ති පූජාවට ප්‍රමුඛත්වය දෙමු
ගල්දූව යෝගාශ්‍රම සංස්ථාවේ විහාරවාසී
එංගලන්තයේ ලෙච්බර්ත් බෞද්ධ මධ්‍යස්ථානයේ
හෝකන්දර පඤ්ඤාවංස හිමි
ඔබ කවර ආගමක , ජාතියක අයකු වුවත් ප්‍රශ්නයක් නැහැ. නමුත් දැහැමි පුද්ගලයකු විය යුතු
යි.
එය බොදු පිළිවෙතෙහි මූලික අංගය යි. එයට උපකාර වන්නේ භාවනාව යි. භාවනාව අධ්‍යාත්මික
ගුණ වගාකරවන්නක් බව බොහෝ යුරෝපීයයන් පවා පිළිගත් මතයක්.
ඇත්තෙන් ම සැබෑ බෞද්ධයෙක් නම්, ආමිසයට වඩා ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රමුඛත්වය දිය
යුතු ම යි. මානසික සුවතාවය උදෙසා බෝධි පූජාවකට එහා ගිය භාවනාව වැදගත්. විදේශීය රටවල
විහාරස්ථාන ආශි‍්‍රතව බොහෝ විට ඇත්තේ භාවනා වැඩසටහන්. ඒ සඳහා බොහෝ විට පැමිණෙන්නේ
සුදු ජාතික විදේශිය පිරිසක්. ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමිය ආශි‍්‍රතව වුව ද සුදු
ජාතික විදේශිය සහ බුරුම ජාතික පිරිස භාවනාවෙහි නිරත වන අතර ශ්‍රී ලාංකේය සහ
තායිලන්ත පිරිස බහුලව ගාථාවන් සජ්ඣායනා කිරීම දක්නට ලැබෙනවා. එසේනම්, විදේශිකයන්
ප්‍රතිපත්ති පූජාවන්ට ලබා දෙන ප්‍රමුඛත්වය සුවිශේෂී වනවා.
බටහිර රටක් වුවත් එංගලන්තය ‘භාවනාවෙන්’ අන් රටවලට වඩා ඉදිරියෙන් සිටිනවා. එරට යම්
කිසි පුද්ගලයෙක් මානසික ආතතියට පත් වුණොත් ඔහුට පළමුවෙන් ම මිනිත්තු කිහිපයක භාවනා
පුහුණුවක් ලබා දෙනවා. ලෙඩ රෝග, මානසික රෝගවලට බලවත් ඖෂධයක් වන භාවනාව ලෝකයේ
අමෙරිකානු ඩොලර් බිලියන් 1.7ක වටිනා ආයෝජනයක් වනවා. එංගලන්තයේ විහාරස්ථාන,
අමාත්‍යාංශ, පාර්ලිමේන්තු, රැකී රක්ෂා ආයතනයන්හි දෛනික රාජකාරී අරඹන්න පෙර විනාඩි
දහයක පමණ කාලයක් භාවනා වැඩසටහන් සිදු කරනවා. මෙලෙස දවසකට විනාඩි දහයක කාලයක් අඛණ්ඩව
භාවනා කිරීමෙන් දිගු කාලීනව ලැබෙන අධ්‍යාත්මික සුවය කෙතරම් ද? ඇත්තෙන් ම බටහිර
රටකින් අපේ රටට දෙන ආදර්ශය අගය කළ යුතු යි. මෙවැනි ක්‍රම වේදයක් අපේ රටෙත් අනුමත
කළොත්, එය කෙතරම් වටිනවා ද? විද්‍යාත්මකව වුවද භාවනාවෙන් මොළයේ ශෛලයන් වර්ධනය වී
මතක ශක්තිය ඇතිවන බව සොයා ගෙන තිබෙනවා. ශ්‍රී ලාංකික පාසල්වල ගුරුවරුන්, සිසුන්,
රැකි රක්ෂා ආදියෙහි නිරතවන්නන් උදෙසා දෛනික වැඩ කටයුතු ඇරැඹීමට පෙර විනාඩි කිහිපයක
හෝ භාවනාමය පුහුණුවක් දිය යුතු යි.
ඇත්තෙන්ම සෑම කෙනෙකුගේ ම අධ්‍යාත්මික දියුණුව බොහොම වැදගත්. උදාහරණයක් ලෙස ඇතැම්
දරුවකුගේ වැරැද්දක් හමුවේ මව් පියන් අවවාද කළොත්, ඔහු ඒ කෙරෙහි උරණ වනු නො අනුමාන
යි. ඒ උරණවීම හමුවේ ඔහු හෝ ඇය බාහිර හේතූන් ද යොදා ගන්නවා. නමුත් භාවනාවට අවතීර්ණ
වන දරුවා වැඩිහිටියන් පෙන්වා දෙන වැරැද්ද තේරුම් ගන්නවා. තව ද ලංකාවේ රථවාහන ධාවනයේ
දී පවා රියැදුරන්ට කිසිම ඉවසීමක් නැහැ. හැමෝම බලන්නේ තමන්ගේ වාහනය පමණක් ධාවනය
කරන්න යි. ඇතැම් රියැදුරන් ඉදිරිපස වාහන පෝළිමක් තිබියදී පිටුපස වාහනයේ නළාව නාද
කරනවා. ඇතැම් විට වාහනයේ නළාව කිසිදු හේතුවක් නොමැතිවත් විනෝදයකට සේ නොනවත්වා ම නාද
කරනවා. ඇතැමුන් තමන්ගේ වාහනය පමණක් ධාවනය කරගන්න තරගකාරී ලෙස හැසිරෙනවා. නමුත්
එංගලන්තය වැනි රටවල රියැදුරන් මහ මඟදී නොසන්සුන් ලෙස, තරගකාරීව හැසිරෙන්නේ නැහැ.
එයට ඇතැම් විට හේතු වන්නට ඇත්තේ ඔවුන් දෛනිකව ලබන භාවනා පුහුණුව විය හැකි යි.
අපේ රටේ උද්‍යානයක් දෙස බලන්න. බොහෝ විට නිදැල්ලේ, නිස්කලන්කව තම දරුවන් සමඟ
ක්‍රීඩා කරමින් හැසිරෙන්නේ බෞද්ධ නොවන අන්‍ය ආගමික පිරිසක්. අපේ බෞද්ධයන් බහුතරයක්
බොහොම අවිවේකි යි. ඔවුන් රැකියාවට යනවා, නිවසට එනවා, ආහාර ගන්නවා, රූපවාහිනිය
නරඹනවා, නිදා ගන්නවා. ඇත්තෙන්ම ඉන් එහාට යමක් කමක් ගැන සිතන්න ඔවුන්ට විවේකයක්
නැහැ. බොහෝ විට ජීවත්වීමේ අරගලය උදෙසා ලාභ අපේක්ෂාවෙන් නොනවත්වා යන ගමනක් ඇතැමුන්
තුළ දක්නට ලැබෙනවා. අන් පුද්ගලයාට වඩා තමා ඉදිරියෙන් සිටියොත් තමන්ට යම් ලාභයක්
ලැබිය හැකි බව තමා ගොඩ නඟා ගන්නවා. ඇතැම් දෙනෙක් තමන් ඉස්මතු වීම උදෙසා තවත් කෙනෙක්
විවේචනය කරනවා විය හැකි යි. ඇත්තෙන්ම මෙවැනි දේ බෞද්ධ ආකල්ප නො වෙයි. තමාගෙන් යමකුට
මානසිකව හෝ හානි වෙනවාදැ’යි තමන්ම කල්පනා කර යහමඟ යා යුතු යි. බෞද්ධ ආකල්පය වන්නේ
එය යි.
සංඝරත්නයට පවා දානයක දී, පාංශු කූලයක දී, පිරිතක දී කරන ගරුසරුව එදිනෙදා ජීවිතයේ මඟ
තොට දකින, පොදු වාහනයේ දකින සංඝරත්නය කෙරෙහි නැති වෙලා. එසේනම්, ස්ථානය, ලාභය
නොසලකා සෑම විටම සංඝරත්නය කෙරෙහි ගරු සරු කළ යුතු යි.
කෙලෙස් බහුල පුද්ගලයාට භාවනා කරන්න අපහසු යි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ
සත්ත්වයා පටිච්ච සමුප්පන්නව ගමන් කරන්නේ තණ්හාව සහ අවිද්‍යාව ඇති නිසයි. අවිද්‍යාව
කියන්නේ ඇත්ත ඇති සැටියෙන් නො දැකීම යි. භාවනාවෙන් කරන්නේ ඒ යථාභූත ඥාන දර්ශනය
පෙන්වා දීම යි. එසේනම්, ශ්‍රී ලාංකිකයන් වන අපත් ආමිසයට වඩා ප්‍රතිපත්තියට මූලික
තැන දිය යුතු යි. ඒ සඳහා අදාළ බලධාරීන් නිසි මඟ සලසා දිය යුතු යි. |