Print this Article


ප්‍රණීතව දන් දීම

සත්තුස්සද ලක්ඛණ

බෝධිසත්වයන් වහන්සේ පෙර භවයන් හි තමන් කැමැති ස්ථානයන් හි වාසය කරමින්, මනුෂ්‍ය ආත්මයක් ලබා සිටින අවධියේ “රසතානං” එනම් බොහෝ ප්‍රණීත, රසවත් ආකාරයෙන් දන්දීමේ පුණ්‍ය කර්මය සිදු කළ බව සඳහන් වන සේක.

අට්ඨ කතාවේ මුළු ආහාර වර්ග ම කොටස් පහකට බෙදා විස්තරාත්මකව පැහැදිලි කරනවා. එනම්, “ඛාදනීයානං, භොජනීයානං, සායනීයානං, ලෙහනීයානං, පානානං ලෙසිනි. “ඛාදනීයානන්ති ආදී සු ඛාදනීයානි නාම පිට්ඨඛජ්ජකාදිනී – පිටිවලින් සාදන ලද කැවිලි වර්ග. “භොජනීයානීති පඤ්ච භොජනානි – එනම් භෝජන වර්ග පහක් ගැන සඳහන් වේ. ඒ ඔදනො - බත්, කුම්මාසො - පිට්ටු වර්ග, සත්තු – පිටිවලින් සාදන කෑම වර්ග, මච්ඡො - දිය මස්, මංසං - ගොඩ මස් ලෙසිනි. මේ පිළිබඳව විනය පරිවාර පාලියේ දෙවැනි පොතේ 214 පිටුවේ සඳහන් වේ.

ඒ වගේ ම මේ රසවත් දේ යැයි සඳහන් කාරණාව කොටස් පහකට බෙදා වෙන්කර තිබෙනවා. එනම් “සායනීයානීති සායිතබ්බානි සප්පිනවනීතාදීනි – රසවිඳිය යුතු, උරා රසවිඳිය හැකි දේ. එනම් උක් වැනි දේ ය. “ලෙහනීයානීති නිල්ලෙහිතබ්බානි” – දිවෙන් ලෙව කා ආහාරයට ගත යුතු ආහාර වර්ග. “පිට්ඨපායාසාදිනි” – පිටි තවරන ලද නැවත පිස සාදා ගන්නා රසකැවිලි වර්ග. “පානානීති අට්ඨ පානකානි” – එනම් අඹ පානය, ජම්බු පානය, ඇට සහිත කෙසෙල් පානය, ඇට රහිත කෙසෙල් පානය, මී පැණි පානය, මිදි පානය, ඕලු, නෙළුම්, මානෙල් පානය, මසන් පානය යන අෂ්ඨ පාන වර්ග ය. බෝධිසත්වයන් වහන්සේ සංසාරේ සාරා සංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පුරා දන් දීමේ පුණ්‍ය කර්මය සිදු කර ඇත්තේ රසවත්, ප්‍රණීත වූ ආහාර කොටස් වශයෙන් බෙදා වෙන්කර තිබෙනවා.

වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක් කැමැති රළු දේ දන් දෙන්නට ය. මහා සංඝරත්නයට වූව ත් රළු දේ දන් දීම හොඳ යැයි පවසනවා. රසවත්, ගුණවත් දේ දන් දීම තුළ මහා සංඝයා ඒ දේට ඇළෙනවා යැයි සිතනා පිරිසක් වේ. දන් දීමේ දී එවැනි චේතනාවක් ඇති කර ගැනීම නුසුදුසු කාරණයකි. මෙතන දී සිතිය යුතු කාරණය නම් දෙනවා කියන කාරණය දායකයාගේ ක්‍රියාවකි. ලබනවා කියන කාරණය ප්‍රතිග්‍රාහකයා ගේ ක්‍රියාවකි. ප්‍රතිග්‍රාහකයා ස්වාමීන් වහන්සේ නමක් නම් මේ රසයට ඇලෙනවා ද? නැද්ද යන කාරණය තීරණය කරන්නේ ස්වාමීන් වහන්සේ ය. දෙන තැනැත්තාට එය තීරණය කළ නොහැකි ය. දන් දෙන පුද්ගලයා ඒ දේ තීරණය කිරීමෙන් සිදුවන්නේ ලෝභ චේතනාවක් හටගැනීම ය. එවිට එය සත්පුරුෂ දානයක් හැටියට නොව අසත්පුරුෂ දානයක් හැටියටයි ගැනෙන්නේ. මේ අමතර කාරණය වශයෙන් මදක් පැහැදිලි කළේ රසවත්, ප්‍රණීත දේ දන් දීමේ ඇති වටිනාකම පැහැදිලි කිරීම උදෙසා ය.

භාග්‍යවතුන් වහන්සේ විනය පිටකයේ භික්ඛු විභංගයේ දෙවැනි පොතේ ප්‍රණීත දේ දන් දීම කියන කාරණාව විශේෂයෙන් ම වර්ණනා කර තියෙනවා. එනම් “ප්‍රණීත භෝජන ශික්ෂා පදය” යැයි ශික්ෂා පදයක් සඳහන් වේ. එහි කාරණා නවයක් පිළිබඳව සඳහන් වෙනවා. “සප්පි නවනීතං තෙලං මධු ඵාණීතං මච්ඡො මංසං ඛීරං දධි” මෙය’ කරුණු නවය උපසම්පදා භික්ෂුවකට ඉල්ලීම සුදුසු නොවේ. එනමුත් දන් දෙන්නාට එනම් දායකයාට දීමට හැකි ය. ඉල්ලීම සුදුසු නොවන්නේ ඒ දේ ප්‍රණීත බැවිනි.

කටත්තා, උපචිතත්තා, උස්සන්නත්තා, විපුලත්තා යන ආකාරයෙන් සංසාරේ පුරාවට ම එනම් සාරා සංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පුරාවට ම මේ පුණ්‍ය කර්මය සිදු කිරීමෙන් ඒ පුණ්‍ය කර්මය කළ තැනැත්තා දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලබනවා. දිව්‍ය ලෝක උප්පත්තිය ලද උත්තමයන් වහන්සේ මනුෂ්‍ය ලෝකයේ උප්පත්තියක් ලද පසුව, රසවත්, ප්‍රණීත භෝජන දන් දීම නිසා “සත්තුස්සදො හොති, සත්තස්ස උස්සදා හොන්ති” ශරීරයේ ස්ථාන හතක් පිරිපුන්ව පිහිටනවා.

එනම් “උභොසු හත්ථෙසු උස්සදා හොන්ති” - දෙ අත් පිරිලා පවතිනවා. එනම් නහර, කණ්ඩරා කිසිවක් නොපෙනෙන ලෙස මසින් පිරිපුන්ව පවතිනවා. “උභොසු පාදෙසු උස්සදා හොන්ති” - දෙපා පිරිපුන්ව එනම් නහර හන්දි ආදි කිසිවක් නොපෙනෙන ලෙස දෙපා පිරිපුන්ව පවතිනවා. “උභොසු අංසකූටෙසු උස්සදා හොන්ති” – උරහිස් දෙකත් පිරිපුන්ව පවතිනවා “ඛන්ධෙ උස්සදො හොති” – පිටේ කොඳුනාරටිය අස්ථි ආදී වශයෙන් කිසිවක් නොපෙනෙන ලෙස පිරිපුන්ව පවතිනවා.

මෙන්න මේ ආකාරයෙන් ලක්ෂණ ලැබූ උත්තමයා ගිහි ගෙදරක වාසය කරන්නේ නම් සක්විති රජ පදවිය ලබනවා. සක්විති රජ කෙනෙක් වූ පසුව ලබන ආනිසංසය වන්නේ, ප්‍රණීත රසවත් දේ ලැබීමයි. තමන් දුන් ආකාරයෙන් ම ලබන අතර කිසිදු දෙයකින් කවදාවත් අඩුවක් පවතින කෙනෙකු බවට පත්වන්නේ නැහැ.

ගිහි ගෙදරින් නික් ම සම්මා සම්බුද්ධත්වයට පත් වූ පසුවත් මේ ප්‍රණීත දේ භාග්‍යවතුන් වහන්සේ ලබනවා. කිසදු දෙයකින් කිසිම අඩුවක් පවතින්නේ ද නැහැ. ඒ වගේ ම පිරිපුන් කයක්, පැහැදුණු දර්ශනයක්, දුටුවන් ට ප්‍රිය උපදවන ස්වභාවයක් ද පවතිනවා.

රළු දේ දන් දෙන්නා “මංසන් මිලායාති” කුස පිටට ඇලුණු සේ පිහිටනවා. ඒ වගේ ම ශරීරයේ මස් අඩුයි, ලේ අඩුයි. මනුෂ්‍යයෙක් වූවත් දර්ශනය වන්නේ අමනුෂ්‍ය ස්වභාවයකි. එනම් ප්‍රේතයකුගේ ස්වභාවයයි.