Print this Article


ඛුද්දක නිකායෙහි උදාන පාලිය : අසිරිමත් ය අප සම්බුදුරජාණන්

ඛුද්දක නිකායෙහි උදාන පාලිය :

අසිරිමත් ය අප සම්බුදුරජාණන්

අද සිට අප සිත පහදවා ගන්නේ, ඛුද්දක නිකායෙහි උදාන පාලියට අයත් උතුම් සම්බුද්ධ දේශනාවන් පිළිබඳව යි. උදාන පාලිය ඉතාම රසවත් ය. මිහිරි ය. ප්‍රණීත ය. සදහම් රසයෙන් හද ගැබ සුවපත් කරවන සුළු ය. උදානයන්හී ඇති උතුම් දහම් කරුණු එකිනෙක ගෙන විවේක සිතින් විමසා බලන කල්හි අප සිත තුළ ඇතිවන්නේ වචනයෙන් කිව නොහැකි තරම් අසීමිත සැනසුමකි.

අපගේ ශාස්තෘන් වහන්සේ වන ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තම දමිත, සමිත වූ ධම්ම විලාසිත චරිතාපදානය වනාහී, ලොව ඇති අතිශයින්ම සුන්දර අසිරිමත් චරණ ධර්මය යි. උන්වහන්සේ තුළ පී‍්‍රති සොම්නස්භාවයක් හටගත් කල්හි, එය උද්දීප්ත වන්නේ සොඳුරු දහම් පදයකිනි. එමෙන් ම භාග්‍යවතුන් වහන්සේ තුළ උපේක්ෂාවෙන් යුතු ධර්ම සංවේගයන් හටගත් කල්හි, එය මතු වන්නේත් දහම් පැදියකිනි. ධර්මයෙන් හටගත් , ධර්මයෙන් ම නිර්මිත , ධර්ම ප්‍රතිමූර්තියක් වන් බුදුරජාණන් වහන්සේ තුළ ඇතිවූ ප්‍රසාද සංවේගයන් ආයාසයෙන් මතු වී ආ කල්හී, ඒවා අපට දායාදවන්නේ විස්මිත දහම් කරුණු ලෙස ය. එම අසිරිමත් දහම් පර්යායන් නවාංග ශාස්තෘ ශාසනයට ඇතුළත්ව තිබෙන්නේ උදාන යන නාමයෙනි.

දීඝ නිකාය අටුවාවේත්, උදාන අටුවාවේත්, උදාන නිර්වචනය කර ඇත්තේ මෙලෙසින් ය. “තෙලක් මිම්මට ගත නොහැකිව වැගිරී යන්නේ ද, එය ගලායාමකි. යම් ජලයකින් පොකුණක් පිරීමෙන් පසුව උතුරා යන්නේ ද, එය ඕඝයකි. එසේ යම් පී‍්‍රතියක් හදවතට අසීමිතව දරාගත නොහැක්කේ ද, එය උදානය යි.” මේ අනුව උදාන යනු පිරිසුදු නික්ලේසී හදවතකින් උතුරා යන්නා වූ නිරාමිස පී‍්‍රති වාක්‍යය යි. උදාන පාලියෙහි වර්ග අටක් ඇත්තේ ය.

එනම්, බෝධි වර්ගය, මුචලින්ද වර්ගය, නන්ද වර්ගය, මේඝිය වර්ගය, සෝණ වර්ගය, ඡච්චන්ධ වර්ගය, චුල්ල වර්ගය හා පාටලීගාමීය වර්ගය වශයෙනි. එක් එක් වර්ගයකට සූත්‍ර දහය බැගින් ඇතුළත්ව අසූවක් උදානයන්ගෙන් , උදාන පාලිය සමලංකෘතය. උදාන පාලිය විස්තර විභංග කරමින් පරමත්ත දීපනී නම් වූ උදාන අට්ඨ කතාව රචනාකර ඇත්තේ අර්ථකතාචාර්ය බුද්ධඝෝෂ මා හිමියන් විසිනි. උන්වහන්සේ උදාන අටුවාවන් අරඹමින්, තෙරුවන් නමස්කාර කොට අනතුරුව මෙසේ සඳහන් කර තිබේ. මහර්ෂි වූ ලොවට හිතැති බුදුරදුන් විසින් සුද්ධ වූ ජීවිතකථා පිළිබඳ යම් උදාන දේශනා කර තිබේ නම්, ඒ සියල්ල ධර්ම සංග්‍රාහික රහතන් වහන්සේලා විසින් එක් තැනකට එකතු කිරීම් පිණිස සංග්‍රහ කරන ලද ධර්මය උදාන නම් වේ. එය බුදුරජාණන් වහන්සේ ගේ ධර්ම සංවේගය හා පී‍්‍රතිය ප්‍රකට කිරීම සඳහා, සොම්නස් සහගත සිතින් දේශනා කරන ලද ගාථාවන්ගෙන් යුක්ත වේ.” කියා ය.

උදාන පාලිය – පඨම බෝධි සූත්‍රය

මෙය උදාන පාලියේ සඳහන් මුල්ම සූත්‍රය යි. ඒ දිනවල උතුම් වූ සම්බුද්ධත්වයට පත්වී, තථාගතයන් වහන්සේ වැඩසිටියේ උරුවෙල් ජනපදයේ නේරංජනා ගංතෙර ශ්‍රී මහා බෝධි සෙවනේ යි. භාග්‍යවතුන් වහන්සේ එක දිගට සත් දිනක් ම එක පළගින්ම විමුක්ති සැපය විඳිමින් වැඩ සිටි සේක. ඉන්පසුව එම සත් දින ඇවෑමෙන් සමාධියෙන් නැඟී සිටි භාග්‍යවතුන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මය අනුලෝම වශයෙන් ඉතා හොඳින් මෙනෙහි කොට වදාළ සේක. එනම්, මේ අයුරින් මේ හේතුව තිබෙන විටයි මේ ඵලය ඇතිවන්නේ. මේ හේතුව උපදින විටයි මේ ඵලය උපන්නේ “කියායි. (ඉති ඉමස්මිං සති ඉදං හෝති. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති)

“අවිද්‍යාව හේතු කරගෙන, සංස්කාර ඇතිවෙනවා. සංස්කාර හේතු කොට ගෙන, විඤ්ඤාණය ඇතිවෙනවා. විඤ්ඤාණය හේතුකොටගෙන නාමරූප ඇතිවෙනවා. නාමරූප හේතු කොට ගෙන, ආයතන හය ඇතිවෙනවා. ආයතන හය හේතුකොට ගෙන ස්පර්ශය ඇතිවෙනවා. ස්පර්ශය හේතු කොට ගෙන, විඳීම ඇතිවෙනවා. විඳීම හේතු කොටගෙන, තණ්හාව ඇතිවෙනවා. තණ්හාව හේතු කොටගෙන, බැඳීම ඇතිවෙනවා. බැඳීම හේතු කොටගෙන, විපාක පිණිස කර්ම සකස් වීම නම් වූ භවය ඇතිවෙනවා. විපාක පිණිස කර්ම සකස්වීම හේතු කොටගෙන ඉපදීම ඇතිවෙනවා. ඉපදීම හේතු කොටගෙන, ජරාවට පත්වීම, මරණයට පත්වීම, ශෝක කිරීම, වැළක්වීම, කායික දුක් මානසික දුක්, සුසුම් හෙළීම් හටගන්නවා. මේ ආකාරයටයි මේ මුළු මහත් දුක් රැසම හටගන්නේ” යනුවෙනි.

එම අවස්ථාවේ තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ උදාන ගාථාව පිළිබඳව පොසොන් පුර අටවක පෝදා ( ජුනි 10 ) පත්‍රයේ පළවේ.