තෙවළා බුදු වදන් අතරින් 32:
කිව යුතුදේ කිවයුතුහොඳම ක්‍රමය
කොළඹ විශ්වවිද්‍යාලයේ
බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත ආචාර්ය
උඩුහාවර ආනන්ද හිමි
දිනක් භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම් ලෙහෙණුන්ගේ අභය භූමියක් වූ
වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි එහි පැමිණි මගධ මහා ඇමැති වස්සකාර බ්‍රාහ්මණයා
බුදුරදුන් හා සතුටු සාමීචියෙහි යෙදී අනතුරුව, “ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස! යම්
කිසිවෙක් තමා දුටු දේ දක්නා ලදැ’යි කියයි ද (දිට්ඨ), එහි දෝෂයක් නැත.
තමා ඇසූ දේ (සුත) අසන ලදැ’යි කියයි ද එහි දෝෂයක් නැත. තමා විඳීන ලද (ගන්ධ රස ස්පර්ශ
වශයෙන් ) දේ විඳීන ලැදැ’යි (මුත) කියයිද එහි දෝෂයක් නැත. තමා දැනගත් දේ (විඤ්ඤාත)
දක්නා ලැදැ’යි කියත්ද එහි ද දෝෂයක් නැත. භාග්‍යවතුන් වහන්ස, මම මෙබඳු වාද ඇත්තෙමි,
මෙබඳු දෘෂ්ටි ඇත්තෙමි.” යනුවෙන් ප්‍රකාශ කළහ.
වස්සකාර මගධ මහා ඇමතිවරයාගේ ප්‍රකාශය සාවධානව අසා සිටි භාග්‍යවතුන් වහන්සේ,
“බ්‍රාහ්මණය, මම දක්නා සියල්ල කිවයුතු යැයි ද නොකියමි. නොකිවයුතු යැයි ද නොකියමි.
අසන ලද සියල්ල -------- විඳීන ලද සියල්ල (ගන්ධ රස ස්පර්ශ) ----- දැනගත් සියල්ල
කිවයුතු යැයි ද නොකියමි. නොකිවයුතු යැයි ද නොකියමි. එහෙත් බ්‍රාහ්මණය, යම් දෙයක්
කියන විට අකුසල ධර්ම වැඩේ නම්, කුසල ධර්ම පිරිහේ නම්, මෙබඳු දුටු දෙය, ඇසූ දෙය,
විඳීන ලද දෙය, දැනගත් දෙය නොකිවයුතු යැයි කියමි. එහෙත් යම් දෙයක් කියන විට කුසල
ධර්ම වැඩේ නම්, අකුසල ධර්ම පිරිහේ නම් ඒ දුටු දෙය ඇසූ දෙය, විඳීනලද දෙය, දැනගත් දෙය
කිවයුතු යැයි කියමි.” යනුවෙන් කරුණු පැහැදිලි කළහ. බුදුරදුන්ගේ මෙම පිළිතුරෙන් සතුට
ට පත් වස්සකාර බ්‍රාහ්මණ මහා ඇමැතිවරයා තථාගතයන් වහන්සේට නමස්කාර කොට උන්වහන්සේගෙන්
සමුගෙන ගියේ ය.
අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ වස්සකාර සූත්‍රයේ එන ඉහත සංවාදය වර්තමාන ලෝකයට
බෙහෙවින්ම වැදගත් වේ. තොරතුරු තාක්ෂණය ඉතා දියුණු මෙම අවදියේ ලොව කවර තැනක වුව
සිදුවන ඕනෑම සංසිද්ධියක් ඉතා සැණෙකින් පුද්ගලයා වෙත ළඟා වේ. එසේම තොරතුරු දැනගැනීමේ
උනන්දුව ද සැම අයෙක් වෙත ම එකසේ පවතී. එමගින් පුද්ගලයා දැනුවත් වන අතරම අනෙක් අතින්
ඔහු අසහනයටත්, කෝපයටත් පත්වනු දැකි ය. හැකිය. එබැවින් මිනිසා වෙත ළඟාවෙන තොරතුරු
සියල්ල ඔහුගේ යහපත පිණිසම හේතු නොවේ. ඇතැම් තොරතුරු පුද්ගලයාට පමණක් නොව සමාජයේ
යහපැවැත්මට ද අහිතකර වේ. පුද්ගලයා ලෝකය අත්දකින්නේ ෂඩ් ඉන්ද්‍රියන්ගෙනි. තොරතුරු
යනු එසේ පුද්ගලයා විසින් තම ඉඳුරන් ආශ්‍රයෙන් ඒකරාශීකරගත් දත්ත ය. එම දත්ත ඔහු තුළ
තැන්පත්කරගනිමින් අන්‍යයන් වෙත බෙදාහැරීම ද සිදුකරනු ලැබේ. එසේ ඒකරාශීකරගත් දත්ත හා
තොරතුරු අන්‍යයන් වෙත ලබාදීම සඳහා විවිධ මාධ්‍ය භාවිත කෙරේ. අතීතයේ මෙන් වාචික
සන්නිවේදනය පමණක් නොව වර්තමානයේ ඒ සඳහා බහුවිධ මාධ්‍ය භාවිත වේ. ඒ සියල්ලේම ඒකායන
අරමුණ වන්නේ පුද්ගලයා වෙත කඩිනමින් විවිධ තොරතුරු සැපයීම ය. මේ උනන්දුව නිසා බහුවිධ
මාධ්‍ය නියෝජනය කරන පුද්ගලයන් හා සංවිධාන අතර නිසර්ගයෙන්ම තරගකාරිත්වයක් ඇති වී
තිබේ. තොරතුරු ඉදිරිපත් කිරීමේ දී තමන් ප්‍රමුඛයා බවට පත්වීමටත්, වැඩි ශ්‍රාවක
පිරිසක් ග්‍රහණය කරගැනීමත් ඔවුන්ගේ එකම අභිලාසය බවට පත්ව තිබේ. මෙම පසුබිම යටතේ
මාධ්‍ය සදාචාරය ගැන පුළුල් කතිකාවක් නිර්මාණය වී ඇත.
ඉහතින් දැක් වූ වස්සකාර මගධ මහා ඇමතිවරයාගේ ආකල්පය වූයේ තමා දකින ලද, අසන ලද,
අත්දකින ලද, අවබෝධකරගත් සියල්ල අන්‍යයන් වෙත ප්‍රකාශ කළ යුතු බවයි. වර්තමානයේ
පිළිගත් මතය ද එයයි. එහෙත් බුදුරදුන්ගේ අනුශාසනය එයට වෙනස් එකකි. ෂඩ්
ඉන්ද්‍රියන්ගෙන් ලබා ගන්නා අත්දැකීම් අන්‍යයන්ට ප්‍රකාශ කිරීමේ දී සදාචාරාත්මක
පාලනයක් අවශ්‍යයය යන්න යථෝක්ත බුද්ධානුශාසනයෙන් පැහැදිලි වේ. වස්සකාර මහා
ඇමැතිවරයාගේ අදහස වන සියල්ල ප්‍රකාශ කළ යුතුය යන්න බුදුරජාණන් වහන්සේ ඒ ආකාරයෙන් ම
අනුමත නොකළහ. ඒ වෙනුවට උන්වහන්සේ යෝජනා කළේ ප්‍රකාශ කළ යුතු තොරතුරු මෙන්ම ප්‍රකාශ
නොකළ යුතු තොරතුරු ද තිබෙන බවයි. එබැවින් බුදුරජාණන් වහන්සේ මෙහිදී තවදුරටත් පෙන්වා
වදාළේ සියල්ල ප්‍රකාශ කළ යුතුය යන්න මෙන්ම සියල්ල ප්‍රකාශ නොකළයුතුය යන අදහසෙහි
තමන්වහන්සේ පිහිටා නොසිටින බවයි. එපමණක් නොව තොරතුරු ප්‍රකාශනය සම්බන්ධයෙන් අනුගමනය
කළ හැකි සදාචාරාත්මක නිර්ණායකයක් ද බුදුරජාණන් වහන්සේ වස්සකාර මහා ඇමතිවරයාට
නිර්දේශ කළහ.
ඒ අනුව කිසියම් ප්‍රකාශනයක් හෝ පුවතක් මගින් අකුසල ධර්ම වැඩේනම්, කුසල ධර්ම
පිරිහේනම් එය ප්‍රකාශ නොකළ යුතුය. බෞද්ධ සදාචාර දර්ශනයේ එන කුසල හා අකුසල යන වචන
මගින් අතිශය පුළුල් එමෙන්ම ගැඹුරු සදාචාරාත්මක ඉගැන්වීම් සමූහයක් ඉදිරිපත්කොට තිබේ.
ඒ හෙයින් එම වචන විවරණය කිරීමේ දී අප වඩාත් සැලකිලිමත් විය යුතු වේ. බුද්ධ වචනය
අනුව ලෝභ දෝස මෝහ යන ත්‍රිවිධ මනෝ භාවයන් අකුසල මූල වේ. ඒවා මූලික කරගෙන සිදුවන
සියලුම ක්‍රියා ද සාකල්‍යයෙන්ම අයහපත් ඒවා වේ. එම ක්‍රියාවල ප්‍රතිඵලය ද පුද්ගලයාට
මෙන්ම සමාජයට ද හානිකර ය. මේ අනුව යම්කිසි කෙනෙකු දුටු දෙයක්, ඇසූ දෙයක්, අත්විඳීන
ලද දෙයක් හෝ අවබෝධකරගත් දෙයක් ප්‍රකාශයට පත්කළ විට එම ප්‍රකාශය හේතුවෙන් අසන්නා හා
කියවන්නා තුළ ලෝභ දෝස මෝහ මූලික කරගත් අකුසල සිතිවිලි හා ඒ හා පදනම්කරගත් අකුසල
ක්‍රියා වර්ධනය වේ නම්, එය ප්‍රකාශයට පත් නොකළ යුතු එකක් ලෙස සැලකේ. එසේම එම
ප්‍රකාශය හේතුවෙන් සමාජය තුළ යම් කැලඹීමක්, සාමය කඩවීමක්, අන්තර් පුද්ගල ගැටුමක්
සිදුවන්නේ නම් ඒ අනුවද එය ප්‍රකාශයට පත් නොකළ යුතු එකක් ලෙස පිළිගත යුතු වේ. එහෙත්
යම් පුවතක් ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් පුද්ගලයා තුළ හෝ සමාජය තුළ අකුසල සහගත
හැගීම් ඇතිවීමට හෝ අකුසල සහගත චර්යා කෙරෙහි යොමුවීමට යම් පෙළඹවීමක්, බලපෑමක් සිදු
නොවේ නම් එවැනි දෑ ප්‍රකාශයට පත් කළ යුතු වේ. මේ අනුව පුද්ගලයාට හා සමාජයට යහපත ගෙන
දෙන තොරතුරු, අත්දැකීම් දැනුම දත්ත පමණක් ප්‍රකාශයට පත්කළ යුතුය යන්න බෞද්ධ
පිළිගැනීම වේ.
මෙහි දක්වන ලද සූත්‍ර දේශනාව මෙකලට බෙහෙවින් අදාළ වේ. ඇතැම් විද්‍යුත් මෙන්ම
මුද්‍රිත මාධ්‍යවල වගකීමෙන් තොරව විවිධ ව්‍යාජ පුවත් ඇතැම් විට වාර්තා කෙරේ. එම
පුවත් කියවන විචාර බුද්ධියෙන් තොර පුද්ගලයන් අතර ඒ හේතුවෙන් විවිධ අර්බුද නිර්මාණය
වේ. විවිධ පටු අරමුණු පෙරදැරිව ප්‍රචාරය කෙරෙන ඇතැම් පුවත් නිසා රටක පුරවැසියන් වන
විවිධ ජාතීන් හා ඔවුන් අදහන ආගම් අතර කොතෙකුත් ගැටුම් හා ප්‍රචණ්ඩකාරී හැසිරීම්
වාර්තා වේ. මාධ්‍ය සදාචාරය බිඳ දමමින් තම මනෝමූලික අවශ්‍යතා පෙරදැරිව තොරතුරු
වාර්තා කරන බහුවිධ මාධ්‍ය නියෝජනය කරන මාධ්‍ය වේදීන්ට බුදුරදුන්ගේ මෙම සදාචාරාත්මක
ප්‍රකාශන විධික්‍රමය මාහැඟි
උපදේශයකි. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය භාවිත කරන්නන් අතර පවතින සදාචාර සම්පන්න නොවන
හැසිරීම් රටාව පාලනය කිරීමට ද මෙම සාදාචාරාත්මක ඉගැන්වීම් අදාළකරගත හැකිවීම
භාග්‍යයකි. එබැවින් පුද්ගලයාට මෙන්ම සමාජයටත් හිතකර දෑ පමණක් ප්‍රකාශයට
පත්කිරීමෙහිලා අවශ්‍ය ආත්ම දමනය කවර තැනැත්තෙකුට වුව අවශ්‍ය වේ. |