Print this Article


දහම පහනකි

දහම පහනකි

" ධර්මයම පහුරක් කොට ගත යුතු ය. ධර්මයම ප්‍රදීපයක් කොට ගත යුතු ය. සත්වයා නිරන්තරයෙන් ගෙන යා නොහැකි දේ උදෙසාම වෙහෙසෙති. සටන් කරති. තමනට තමන්ගෙ ශරීරයවත් හිමි නොවුණ කල්හි කුමන සැපතක් ද? සියල්ල මිත්‍යාවකි. මායාවකි."

ධර්මය යනුවෙන් හැඳින්වෙන්නේ සතර මඟ, සතර ඵල හා නිවන යන නවලෝකෝත්තර ධර්මය හා බුදුරජාණන් වහන්සේ විසින් අවුරුදු 45 ක් තිස්සේ ලෝක සත්වයාට දේශනා කළ සූත්‍ර, විනය හා අභිධර්මය යන ත්‍රිපිටකය ඇතුළු වු දස වැදෑරුම් ධර්මය යි.

එම උතුම් ශ්‍රී සද්ධර්මය පර්යාප්ත , ප්‍රතිවේදය යනුවෙන් ද කොටස් වේ. එයින් පර්යාප්ති නම් සූත්‍ර, විනය හා අභිධර්මය යි. ප්‍රතිපත්ති , ප්‍රතිවේධ යනුවෙන් ද කොටස් වේ. ප්‍රතිපත්ති යනු සතර අපායෙන් මිදීම පිණිසත්, දිව්‍ය මානුෂික සැප සම්පත් ලැබීම පිණිසත් පිරිය යුතු ශාසනික ප්‍රතිපත්ති යි. ප්‍රතිවේධ වන්නේ සතර මඟ. සතර ඵල හා නිවන යන නවලෝකෝත්තර ධර්මය යි.

දානයන් ගත් කල්හි ආමිස දානය, අභය දානය, ධර්ම දානය වශයෙන් කොටස් කිරීමට පුළුවන. ඒ අතරින් ධර්ම දානය ම වැදගත් වන බව බුද්ධ දේශනය යි. කෙනෙකුට අන් දාන ලේසියෙන්, පහසුවෙන් හා අවශ්‍යතාවට අනුව සිදු කළ හැකි වුව ද, ධර්ම දානය එසේ කළ නොහැක්කකි.

බුදුරජාණන් වහන්සේ ධම්ම පදයෙහි තණ්හා වග්ගය තුළින් “සබ්බ දානං ධම්ම දානං ජිනාති” යනුවෙන් දේශනා කළේ අන් සියලු දානයන් අභිබවා ධර්ම දානය ජය ගන්නා බවයි. එසේ නම් එවැනි උතුම් දානයක් සිදු කිරීම හැම කෙනෙකුටම කළ නොහැක්කකි. බොහෝ දෙනෙක් එය සිදු කළ ද එය සිදු කරන්නේ ලාභ අපේක්ෂාවෙන් හෝ කීර්ති ප්‍රශංසා බලාපොරොත්තුවෙන් හෝ අනෙකා පරදා අත්තුක්කංසන පරවම්බන ආකල්පයෙන් ය. එසේත් නොමැතිනම් තරගකාරි ස්වභාවයකිනි. නමුදු ධර්ම දානය සිදු කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය නිරාමිස පී‍්‍රතියක්ම විය යුතු ය. එය ආවාට ගියාට සිදු කළ නොහැක්කකි.

ධර්ම දානය වාචික හෝ ලිඛිත යන මාධ්‍යයෙන් සිදු කළ හැකි ය. වාචික වශයෙන් ගත් කල්හි බොහෝ දුරට ධර්ම දේශනා ක්‍රම ඔස්සේ ධර්මය බෙදා දීමට පුළුවන. එවිට ශ්‍රාවක පිරිසක් ද බිහි වනු ඇත. කාලීන වශයෙන් අද ඇතැම් තැනෙක “ධර්මය” ධර්ම දානයක් වශයෙන් සිදු කරන්නේ ද යන්න ප්‍රශ්නයකි. කීයෙන් කී දෙනෙක් එම ධර්මය ග්‍රහණය කර ගන්නේ ද යන්න පිළිබඳ සිතීමෙන් සෑහීමකට පත් වීමට නොහැක. එයට හේතුව එය ධර්ම දානයක් වශයෙන් සිදු නොවීම නොවේ ද? වරක් උදායි හිමියන් විසින් පිරිසකට දම් දෙසන අවස්ථාවක දී ආනන්ද හිමි ඒ බව බුදු හිමිට දැන්වූහ. එවිට බුදුහිමි අන්‍යයන් ට ධර්මදානය සිදු කිරම පහසු කටයුත්තක් නොවන බවත්, ඒ සඳහා කරුණු පහක් පිළිපැදිය යුතු බවත් දේශනා කළහ. එම කරුණු පහනම්,

1. අනුපිළිවෙළින් කතාවක් කරන්නෙමි’යි මෙරමාහට දම් දෙසිය යුතු ය.

2. ඒ ඒ අර්ථයට සෑහෙන කරුණු දක්වා කරන කථාවක් කරන්නෙමියි මෙරමා හට දම් දෙසිය යුතු ය.

3. අනුකම්පා නිසා කරන කථාවක් කරන්නෙමි’යි මෙරමාහට දම් දෙසිය යුතු ය

4. ආමිසයක් බලාපොරොත්තු නොවන කථාවක් කරමි’යි මෙරමාහට දම් දෙසිය යුතු ය.

5. අත්තුක්කංසන පරවම්භනාදියෙන් තමාගේ හා මෙරමාගේ ගුණ නොනසන කථාවක් කරමි’යි මෙරමාහට දම් දෙසිය යුතු ය.

ධර්ම බෙදා දෙන ඇතැම් අය තුළ මෙම ක්‍රමවේදයන් පවතී ද යන්න සැක සහිත ය. ගුවන් විදුලිය, රූපවාහිනිය තුළින් උදේ සවස ධර්ම දේශනා සිදු කළ ද ඇතැම්විට සැබෑ ධර්ම දානයක් සිදු නොවේ.

අනෙක් ධර්ම දානය ලබා දෙන ක්‍රමවේදය වන්නේ ලිඛිත මාධ්‍යය යි. ලේඛකයන් බිහිවන විට පාඨකයන්ද බිහි වේ. ධර්මය අධ්‍යයනය කර ඒවා පාඨකයාට වැටහෙන අයුරින් ලිහිල් බසින් පුවත්පත්, සඟරා. පුස්තක මාර්ගයෙන් ධර්ම දානය සිදු කළ හැකි ය. ධර්ම දේශනා ක්‍රමවේදයටත් වඩා අසීරු කටයුත්තකි. ලිපි ලිවීම ඒවා ටයිපින් කිරීම, දෙතුන් වතාවක් වැරැදි හැදීම, තැපැල් කිරීම, ෆැක්ස් ,ඊමේල් ආදි ක්‍රම වලින් යැවීම ආදි විශාල කැපකිරීමක් ඒ සඳහා කළ යුතු ය. එයද අද සමාජය තුළ බොහෝ ගිහි පැවිදි දෙපක්ෂය තුළින්ම සිදු කරනු ඇත.

ධර්ම දානය සියලු දානයන් අභිබවා ජය ගන්නවා යන්න සත්‍යයකි. එය සත්භාවයෙන්, පරිත්‍යාගයෙන් සිදු කරන්නා එම ජයග්‍රහණය භුක්ති විඳිනු ඇත. එය බාහිර ධන සම්පත් ,වත් පොහොසත්කම් අනුව තුලනය කළ නොහැක්කකි.

ද්වේෂය තිබීම තුළින් ධර්ම දානය කළ නොහැක. යමෙක් තව කෙනෙක් ධර්මදානය සිදු කරනවා දැක ඔහු පැරද විය යුතුය’යි සිතා දැඩි තරහෙන් වරක් දෙකක් ධර්මදානය කළ ද එය ප්‍රතිපත්තියක් වශයෙන් සිදු නොවනු ඇත. එයට හේතුව ඔහුගේ අරමුණ අනෙකා පැරදවීම හෝ මමත් ධර්ම දානය කළා හෝ කරනවා කියා ඇති කර ගන්නා වෛර චේතනාව යි.

මෝහය නොහොත් මෝඩකම දැඩිව තිබුණහොත් එවැන්නන්ට ද ධර්ම දානය කළ නොහැකි ය. ඔවුන් නිතරම සිතන්නේ ඕවා කිරීමෙන් ඇති ඵලය කුමක් ද ආදි වශයෙන් ඒකට යොදන කාලයත් පංච ඉන්ද්‍රියන්ගේ සුඛ විහරණය සඳහාම යොදති.

ධර්ම දානය සිදු කිරීමේ දී කාලය කැප කිරීම අවශ්‍ය වේ. කාලය ඕනෑම කෙනෙකුට වටිනාම දෙයකි. බුදු හිමි ද දවස කොටස් හතකට බෙදාගෙන කාලය අපතේ නොයන අයුරකින් ලෝක සත්වයා සුවපත් කිරීමට වෙහෙසුණේ කාලයේ වටිනාකම හඳුනාගෙන ය.

අපට නිදාගැනීමට හෝ විවේක ගැනීමට හෝ නිකරුණේ කාලය කා දැමීමට හෝ තිබෙන කාලයෙන් කොටසක් අන්‍යයාගේ යහපත වෙනුවෙන් පරිත්‍යාග කිරීමට හැකිනම් එය මොන තරම් වටින්නේ ද? සැබෑ ලෙස ධර්ම දානය සිදු කරන්නන් තුළින් ඒ දේ සිදුවනු ඇත. මිනිසුන්ට කාලය මදි කියා කියන්නේ තමන්ගේ ශරීරය පෝෂණය කිරීමට හෝ ශරීරය වටා ගොඩනැගුණු භෞතික සම්පත් රැස් කිරීමට ය. එවැනි සමාජයක යමෙක් තමන්ට නින්දට හෝ තියෙන කාලයෙන් පැය දෙක තුනක් දෛනිකව ලෝක සත්වයාගේ යහපත උදෙසා කැප කරන්නේනම් ඔවුනට ධර්ම දානයෙන් ජය ගැනීමට පුළුවන්කමක් ඇත. විවිධ දානාදි දීමෙන් බොහෝ දුරට නැති ගුණ වර්ණනාත්මකව දේශකයන් තුළින් ශ්‍රවණය කොට කෙනෙක් මාන්‍යයක් ඇති කර ගනිති. නැතිනම් තම නම කොහේ හෝ පුවරුවක් මත ලියා ගනිති. නැත්නම් අන් මිනිසුන් අතර උස් අසුනක වාඩි වි අත්තුක්කංසන පරවම්භනය සිදු කර ගනිති. ආමිස දානයන් ද සැබෑ ලෙස කරන්නේනම් එයින් පින්සිදු වනු ඇත. අද යන රටාවයි මේ මතක් කළේ. ඒ සියලුම දානයන් වලට වඩා ධර්ම දානයම උතුම් වන්නේ ඇයි ද යන්න මෙම ගාථාව තුළින් පැහැදිලි වනු ඇත.

ධම්මං විනා නත්ථී පිතාච මාතා
තමෙව තාණං සරණං පතිට්ඨා
තස්මාහි භො කිච්ච මඤ්ඤප්පහාය
සුනාථ ධාරෙථ චරාථ ධම්මේ

(ධර්මය හැර සත්වයනට මවෙක් පියෙක් නැත. ඒ ධර්මයම සත්වයන්ට ආරක්ෂාව ය, පිහිට ය, එබැවින් අන් සියලු වැඩ නවත්වා ඒ දහම අසන්න, ධාරණය කර ගන්න, එම ධර්මයෙහි හැසිරෙන්න)

ඒ අනුව ධර්මයම පහුරක් කොට ගත යුතු ය. ධර්මයම ප්‍රදීපයක් කොට ගත යුතු ය. සත්වයා නිරන්තරයෙන් ගෙන යා නොහැකි දේ උදෙසාම වෙහෙසෙති. සටන් කරති. තමනට තමන්ගෙ ශරීරයවත් හිමි නොවුණ කල්හි කුමන සැපතක් ද? සියල්ල මිත්‍යාවකි. මායාවකි. ඉන්ද්‍රියන් පෝෂණය කිරීමටම වෙහෙසෙති. භෞතික සම්පත් සමඟම ගැටෙති. ඒවා ඔස්සේ නිරන්තරයෙන් රාග, ද්වේෂ, මෝහ, ව්‍යාධි, ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස ආදි එකොළොස් ගින්නටම හසු වී දැවි දැවි පිච්චි පිච්චි කල් ගෙවති.

එවැනි පරිසරයක් තුළ කෙනෙකු තම සුඛ විහරණයෙන් කොටසක් නොකඩවා අන්‍යයා වෙනුවෙන් කැප කිරීමට හැකිනම් එවැනි ඇත්තෝ තරමක් දුරට හෝ සැනසීම ලබන්මෝ වෙති. ඒ සඳහා ධර්ම දානය සිදු කිරීම ඉතා වැදගත් සත්ක්‍රියාවකි. එතුළින් ලැබෙන නිරාමිස පී‍්‍රතිය වෙන කිසිවකින් ලැබිය නොහැක. එතුළින් ලැබෙන විශ්ව ශක්තිය , ආරක්ෂාව, විශ්වාසය වෙන කිසිවකින් ලැබිය නෙැහැක. ඒ අනුව සියලු දානයන් පරදවා ධර්ම දානයම ජය ගන්නා බව සිතට ගෙන සැබෑ ලෙස ධර්ම දානය සිදු කිරීමට සියල්ලෝ ම වෙහෙසෙත්වා.