Print this Article


නිකෙලෙස් සිතිවිලි ගෙනදෙයි සැනසිලි

නිකෙලෙස් සිතිවිලි ගෙනදෙයි සැනසිලි

සබ්බාසව සංවර පරියායං වො
භික්ඛවෙ දෙසිස්සාමි තං
සුනාථ සාධුකං මනසිකරොථ
භාසිස්සාමාති

බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ සැවැත් නුවරදෙව්රමදී භික්ෂූන් වහන්සේ අමතා, කිසිවෙකුගේත් ආරාධනාවක් නැතිවයි. තමන් වහන්සේ විසින් ම කරන ලද දේශනාවක් නිසා මෙය, අත්තජිඣාසාය දේශනා ගණයට ඇතුළත් වෙනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා වදාරනවා, මහණෙනි! මම ඔබට සියලු ආශ්‍රව දුරලන, නැති කරන ක්‍රමය කියා දෙන්නම්. එය ඉතා හොඳින් ශ්‍රවණය කර සිත්හි දරාගන්න. ඒත් එය හැමෝටමත් නොවෙයි. නුවණින් විමසා බලා දැනගන්න තැනැත්තාට හා දැක ගන්න තැනැත්තාටයි , එනම් යෝනිසො මනසිකාරය දැනගන්න හා දැක ගන්න තැනැත්තාටයි. ආසව හෙවත් කෙලෙස් නැති කරන ක්‍රම පැහැදිලි කරන නිසා මේ දේශනාව සබ්බාසව සූත්‍රය නමින් හඳුන්වනවා.

පින්වතුනි, මුලින්ම අපි යෝනිසො මනසිකාරය පිළිබඳ අවධානය යොමු කරමු. ලොව පවතින අනිත්‍ය දේවල අනිත්‍ය බව , සත්‍ය වශයෙන් ම අවබෝධ කර ගැනීම යෝනිසෝ මනසිකාරයයි. නොයෙක් හේතු කාරණා නිසා අපට ලෝකයේ පවතින දේවල යථා ස්වභාවය වටහා ගැනීම අපහසු වෙලා තියෙනවා. එනිසාම අනිත්‍ය දේ නිත්‍යයැයි, සදාකාලික යැයි හිතනවා. ඒ වැරැදි සහගත දෘෂ්ටිය අයෝනිසෝ මනසිකාරයයි. මේ අයෝනිසෝ මනසිකාරය නිසා සසර ගමන තව තවත් ශක්තිමත් කරගන්නවා. අයෝනිසෝ මනසිකාරය ඇති තැනැත්තා සත්‍යය වටහා ගැනීමට උත්සුක වෙන්නෙ නැහැ. එනිසා ඔහුට සත්‍යය අවබෝධ කරදීම නිරර්ථක ක්‍රියාවක්. කෙලෙස් නසන ක්‍රමය තථාගතයන් වහන්සේ යෝනිසෝ මනසිකාරය ඇත්තන්ට පමණක් දේශනා කරන බව දක්වන්නේ ඒ නිසයි.

මේ දේශනාව තුළ දැක්වෙන්නේ ආශ්‍රව නැති කරන ක්‍රමය ගැනයි. ආශ්‍රව කියන්නේ කෙලෙස් හිත අපිරිසුදු කරන , එමෙන්ම හිතේ දීප්තිය නැතිකරන දුර්වල සිතිවිලි කෙලෙස් නමින් දක්වනවා. ආසව කියන වචනය ආයුර්වේදයේ අපට හමුවෙනවා. ඵලාසව, ගුළාසව, මධු ආසව ආදි වශයෙන්. මෙලෙස ආයුර්වේදයේ ආසව නමින් දක්වන්නේ, කාලයක් පල් කිරීමෙන් සාදාගනු ලබන බෙහෙත් විශේෂයක්. අප හැමදෙනා සතුව පවතින සිතත් භවයෙන් භවයට ගමන් කරන්නක්. ඒ හැම භවයක දී ම රැස්කර ගන්නා ලද කෙලෙස් හිතේ පවතිනවා. එනිසා කාලයක් තිස්සේ පල් වෙමින් පවතින නරක සිතුවිලි අපේ හිත්වල තියනවා. එනිසා ඒවා ආසව නමින් හැඳින්වීම ද සාධාරණයි. කාමාසව, භවාසව, දිට්ඨාසව හා අවිජ්ඣාසව යනුවෙන් දැක්වෙන්නේ ඒවායි.

පින්වත! අපේ හිත්වල ආසව පවතින තුරු සසරින් එතෙර වෙන්න පුළුවන් කමක් නැහැ. මෙලොව ගත කරන ජීවිතය ද දුක් කම්කටොළුවලින් පිරුණු අවාසනාවන්ත ජීවිතයක් වෙනවා. මනුස්ස ජීවිතයක් ලබාගත්ත කාලය තුළ හිත අපිරිසුදු කරන, දුර්වල කරන ආසව යම් තරමකට හෝ ඉවත් කර ගතහොත්, එය අපේම යහපත පිණිස පවතිනවා. අපිරිසුදු වන ඇදුම් පැළඳුම්, අඟපසඟ පිරිසුදු කිරීමට යම් යම් දේ නිපදවා තිබුණත්, හිතේ අපිරිසුදු බව නැති කරන්න බෙහෙතක් සොයාගෙන නැහැ. ඒකට තියෙන එකම ඔසුව ධර්මයයි. සබ්බාසව සූත්‍රයේ හිතේ තියෙන කෙලෙස් නැතිකර ගැනීම සඳහා ක්‍රම හතක් උගන්වනවා. එනම් දස්සතා සංවරා, පටිසේවනා, අධිවාසනා, පරිවජ්ජනා, විනෝදනා හා භාවනා කියන ක්‍රම හතයි.

දස්සනා පහාතබ්බා කියලා කියන්නේ කරුණු කාරණා හරිහැටි අවබෝධ කර ගැනීම තුළින් ඇතැම් කෙලෙස් යටපත් කිරීමයි. බොහෝ දෙනෙක් හිතනවා මම අතීතයෙත් හිටියා. දැනුත් ඉන්නවා. අනාගතයේ දී ත් ඉන්නවා. මෙහෙම හිතලා මේ පිළිබඳ ස්ථීර අදහසක් ඇතිකර ගන්නවා. එය ආත්මදෘෂ්ටිය කියලා කියනවා. තමන් පිළිබඳ නොවෙනස් ස්ථිර අදහසක් ඇතිකර ගැනීම, වැරැදි සහිත ආත්ම දෘෂ්ටියක පිහිටීමක්. ඒ වැරැදි දැක්ම නිසාම ඔහු තුළ ආසව වැඩෙනවා. එහෙත් කරුණු තේරුම්ගත් තැනැත්තා මම යැයි ව්‍යවහාර කළත්, එය දැඩිව ගන්නේ නැහැ.එනිසාම ඔහු තුළ ආසව වැඩෙන්නෙ නැහැ. ඉන්ද්‍රියන් සංවර කිරීම තුළින් කෙලෙස් සිතිවිලි පාලනය කිරීම. සංවරා පහාතබ්බා කියලා කියනවා.

පින්වත! අපට ජීවිතය පවත්වා ගෙන යාමේ දී අත්‍යවශ්‍ය හා අවශ්‍යම දේ තියෙනවා .ආහාර පාන, ඇඳුම් පැළඳුම් , නිවාස, බෙහෙත්, මිල මුදල් ආදිය ඉන් කීපයකි. මේවා උපයා ගැනීමට, රැස්කර තබා ගැනීමට හා පරිභෝග කිරීමට දහමෙන් බාධාවකුත් නැහැ. ඒවා කිරීමේ දී හොඳ සිහියෙන් යුක්තව නොකළොත් හිතේ ඇතිවෙන කෙලෙස්වලට අප යටත් වෙනවා. ඇඳුමක් ඕන කරන්නේ විලි වසා ගැනීමටත්, ශීත උෂ්ණ ආදියෙන් ආරක්ෂා වීමට හා, මැසි මදුරු ආදී කෘමින්ගෙන් වන උවදුරුවලින් ආරක්ෂා වීමටත්ය. නමුත් අනුන්ට පෙනෙන්නට ලස්සනට, තව කෙනෙක් පරද්දන්ට ඇඳුම් අඳින්ට ගියොත් මොකද වෙන්නෙ. හිතේ කෙලෙස් උපදිනවා. සමහරු අනුන්ගේ ඇඳුම්වලට ඊර්ෂ්‍යා කරනවා. එසේත් නැතිනම් අඳින ඇඳුම නිසා අනුන් පහත් කොට සලකනවා. මේ හැම වෙලාවකම හිතේ ඇතිවෙන්නේ ආසව, යමෙක් ඇඳුම් ඇඳීමේ අරමුණු වටහා ගෙන, ඇඳුම් අඳින්නේ නම්, ඔහුගේ හිතේ ආසව. උපදින්නේ නැහැ. පටිසේවනා පහාතබ්බා යැයි කිව්වේ මේ ආකාරයට තම අවශ්‍යතා සපුරා ගැනීමේ දී සිතා බලා කටයුතු කිරීමෙන් ආශ්‍රව දුරලීමයි.

අධිවාසනා හෙවත් ඉවසීමෙන් ආශ්‍රව දුරලීම තවත් ක්‍රමයක්. අව්වැසි, ශීත උෂ්ණ ආදියෙන් ඇතිවෙන විපත් හා හිරිහැරත්, මැසි මදුරු සර්ප ආදින්ගෙන්ද, විපත්ති ඇතිවෙන විට සමහරුනට ඉවසීමක් නැති වෙනවා. තරහ ගන්නවා. බැණ වදිනවා. අතපය කපා ගන්නවා. මෙහෙම දේ කරන්නේ හිතේ ආසව ඇතිවූ නිසයි. ඉවසීම තියෙන කෙනාගෙ හිතේ අසාව ඇති වෙන්නේ නැහැ. ලෝක ස්වභාවය තේරුම් ගෙන ඉවසීම හුරු කිරීම තුළින්,ආසව මැඩ පැවැත්වීම, අධිවාසනයෙන් ආසව දුරලීමයි.

ආසව දුරලිය හැකි තවත් ක්‍රමයක් තමයි පරිවජ්ජනය. එනම් දුරු කිරීමෙන්, මග හැරීමෙන් කෙලෙස් නැති කිරීමයි. සර්පයින් , කොටි, වලසුන් වැනි සතුන් ගැවසේ නම් එතැන මගහැර යාමයි අපේ ක්‍රමය. ඒ ඇයි? ඒ සතුන්ගෙන් විපතක් හානියක් වෙතැයි යන බිය නිසයි. ඒවගේම අප ඇසුරේ සිටින සමහරුන්ගෙන් අපට විපතක් හානියක් ඇතිවෙන වෙලාවල් තියෙනවා .දෙව්දත් තෙරුන්ගේ ඇසුරට පත්වීම නිසා තමයි අජාසත් කුමාරයා පීතා ඝාතකයෙකු වුණේ. යහපත් ජීවිත ගත කරන සමහරු අසත්පුරුෂ ඇසුර නිසා පාප සහගත කටයුතුවල නිරත වෙනවා. මේ බව තේරුම්ගෙන, පාප මිත්‍ර සේවනයෙන් ඈත්ව, පවිටු වැඩ කරන ස්ථානවලින් ද ඈත්ව සිටීම පරිවජ්ජනයයි.

විනෝදනා යනුවෙන් අදහස් කරන්නේ. වැරැදි සිතිවිලි ඇතිකරගත හොත් එයින් සිදුවන හානිය ගැන හිතා ඒ සිතිවිලි ඉවත් කර ගැනීමයි. අපේ හිත්වල ඇතිවන ප්‍රභල නරක සිතිවිලි තුන් වර්ගයක් තියෙනවා. එනම් කාමය පිළිබඳ සිතිවිලි, හිංසනය පිළිබඳ සිතිවිලි හා ක්‍රෝධය පිළිබඳ සිතිවිලියි. මේවා හිතේ බලපැවැත්වීම නිසා එයින් වන හානිය නැතිකර ගැනීම පිණිස නිෂ්කාමය, මෛත්‍රිය වැනි යහපත් සිතිවිලි ඇති කර ගැනීම විනෝදනයෙන් ආසව නැති කිරීමයි.

භාවනාව නම් කුසල සිත් උපදවාගෙන සිත දියුණු කිරීමයි. බෝධි අංග ධර්ම නැතිවිට සිතේ කෙලෙස් සහගත සිතිවිලි මතුවෙනවා. මේ ඇතිවෙන ආසව නැතිකළ හැක්කේ බෝධි අංග වැඩීමෙනි. සති, ධම්මවිචය, විරිය ,පිති, පස්සද්ධි, සමාධි හා උපේක්ඛා යන සප්ත බෝධි අංග හුරු කරනවිට, කෙලෙස්වලට සිතට ඇතුල්වීමට අවකාශයක් නැහැ. එසේ වළකා ගැනීම භාවනාවෙන් ආසව නැති කිරීමයි.

වෙහෙස මහන්සි වෙලා පාත්තියක් සකස්කර, මල් පැළ කීපයක් රෝපණය කරනවා. සතියක් විතර ගතවෙන කොට මල් පැළවලට වඩා තියෙන්නේ වල් පැළයි. ඒවා කවුරුත් හිටෙව්වෙ නැති වුණාට පැළවෙලා තියෙනවා. අපේ හිතෙත් එහෙම තමයි. කෙලෙස් සිතිවිලි නිරායාසයෙන් ඇතිවෙනවා. හරියට වල් පැළ වගේ. නිකෙලෙස් සිතිවිලි වීර්යයෙන් උපදවා ගන්න ඕන.

කෙලෙස් නැති කිරීමට ක්‍රම හතක් දක්වා ඇති නිසා එයින් එක් ක්‍රමයක් භාවිත කිරීම ප්‍රමාණවත් යැයි කෙනෙකුට සිතෙන්නට පුළුවනි. එය ධර්මය නොදැන ඇතිකර ගත් මතයකි. මේ එක් එක් ක්‍රමයකින් නැති කළ හැක්කේ වෙනස් වෙනස් වූ ක්ලේෂයන් ය. මේ ක්‍රම හත ගැනම අවබෝධයක් ඇති තැනැත්තාට, හිතේ කෙලෙස් ඇතිවන අවස්ථාවන් හි දී ඊට සුදුසු ක්‍රමය අනුගමනය කරලා කෙලෙස් නැතිකර ගැනීමට හැකි වෙනවා. බුදු දහමේ මූලික අරමුණ සසර දුක නැති කිරීමයි. නිවන් අවබෝධයයි. ඒ සඳහා සසර දුක් ඇති කරවන කෙලෙස් හෙවත් ආසව නැති කළ යුතුයි. නිතර නිතර ඒ සඳහා ඔබ වීර්ය කරන්න. ඒ තුළින් සදා සැනසීම අත්කර ගත හැකියි.