Print this Article


අපරිහානීය ධර්ම තුළ පිළිබිඹු වන සහජීවනය

අපරිහානීය ධර්ම තුළ පිළිබිඹු වන සහජීවනය

අපරිහානීය ධර්ම හතක් පිළිබඳව කළ දේශනාවක් බුදු දහමේ සඳහන්ව ඇත. අපරිහානිය යනු නොපිරිහෙන යන අර්ථය ගෙන දෙන වචනයකි. සහජීවනය යන සංකල්පය ඒ තුළින් පිළිබිඹු වන බැවින් සමාජගත ජීවිතයේ දී, සහයෝගය , සුහදතාව සහ සහජීවනය පිළිබඳව අදහස මතුව එයි.

එක්ව විසීම, එකට ජීවත්වීම, අන්‍යයාගේ අදහස් හඳුනාගෙන ජීවත්වීම සහජීවන සංකල්පය ලෙස බුදුදහම අවධාරණය කරයි. එකම අදහසක් තුළ ජීවත්වීම මගින් තම අපේක්ෂාවන් මුදුන්පත් කර ගත හැකි ය. එනිසාම බුදු දහම සැම විටම අන්‍යයාගේ අදහස් එකවර ප්‍රතික්ෂේප නොකර කටයුතු කරයි

පරිහානිය ධර්මවලින් හුදෙක් සමාජ හිතකාමී බව සුරැකීමට අපේක්ෂා කරයි. අපරිහානිය ධර්මවල වැඩි අවධානය යොමු කරනු ලබන්නේ පොදු අර්ථය සාධනය කර ගැනීම උදෙසාම වන බැවින්, පුද්ගලයාට අවශ්‍ය වන සියලු කාර්යයන් පිළිබඳ මඟ පෙන්වීමක් අපරිහානිය ධර්ම තුළ දක්නට ලැබෙයි. පුද්ගල ස්වභාවයට අනුව මිනිසා නිතර නිතර වෙනස්වන සිතිවිලිවලින් සැදුම්ලත් ප්‍රපංචයකි. මෙබඳු මිනිසුන්ගෙන් ගොඩනැගෙන සමාජගත ජීවිතය වඩාත් සංකීර්ණ ය. සෑම පුද්ගලයකු තුළම පැවතිය යුතු ආගමික භක්තිය ඉතා වැදගත් ය. අපරිහානීය ධර්ම තුළ එම කාරණා පිළිබඳව අවධාරණය කර ඇත. අපරිහානීය ධර්ම ආරම්භ විය යුත්තේ තමාගෙන් ම ය.බොහෝ පිරිස් අන්‍යයා තුළ සහජීවනය පවතිනවා ද යන්න බැලීමට පුරුදු වී සිටී. පුද්ගල ජීවිතය ද, සමාජය ද වඩාත් සුන්දර වීමට නම් , එම සහජීවනය තමාගෙන් ම ආරම්භ කළ යුතු බවට බුදුදහම අවධාරණය කරයි.

1. නිතර රැස්වීම

2. එක්ව රැස්වීම, එකට නැගී සිටීම, එකට වැඩ කිරීම

3. නො පැනවූ නීති නොපැනවීම, පැනවූ නීති ආරක්ෂා කිරීම,

4. මහණ බමුණන්ට ගරු සැලකිලි කිරීම

5. කුල කතුන්, කුල කුමරියන් ආරක්ෂා කිරීම

6. රට තුළත්, ඉන් පිටතත් ඇති ආගමික ස්ථානවලට ගරුකිරීම

7. මහණ බමුණන් කෙරෙහි සැලකිලි දැක්වීම

ඉහත සඳහන් අපරිහානීය ධර්ම එකින් එක පරීක්ෂා කිරීමෙන් පැහැදිලි වන්නේ සහජීවනය සෑම කරුණකින් ම අපේක්ෂා කරන බව ය. සහජීවනය ආරක්ෂා කරගැනීමට නම්. නිතර නිතර රැස්වීම කළ යුතු ය. එසේ නොවන්නේ නම්, වෙනත් පාර්ශ්වයකට හෝ පුද්ගලයකුට අනවශ්‍ය මැදිහත්වීම් කළ හැකි බැවිනි. එසේම එකට රැස් වී, එකට එක් වී, මිත්‍රත්වයෙන්, සමගියෙන් යුතුව සාකච්ඡා කළ යුතු ය. එසේ නොමැතිව කෙතරම් රැස් වුව ද, පලක් වන්නේ නැත. මෙයින් පැහැදිලි වන්නේ පුද්ගල මානසිකත්වය තුළ පවත්නා වූ සාමයයි. අන්‍යයා විෂයයෙහි අවිශ්වාසය ඇතිකර ගැනීමෙන් පුද්ගල සමගිය ද සමාදානය ද බිඳී යනු ඇත. පීඩනය මෙන්ම සමාජය ද රුව ගුණවලින් අලංකාරවත් වීමට නම්, අදහස්වල එකමුතුකම වැදගත් වේ.

යම් කිසි ආයතනයක , සමාජයක , කිසියම් රටක පවතින ක්‍රමය කවුරුත් පිළිගත් ක්‍රමයයි. එය කාලයක් ගැටලු රහිතව පැවතුණ විට වෙනස් කිරීමට යාම , සුදුුසු නොවන අතරම, එසේ කරනු ලබන්නේ නම්, ඉතා හොඳින් නිවැරැදිව සිතා බලා සාකච්ඡාවට භාජනය කළ යුතු ය. නිවැරැදි ලෙස කටයුතු නොකිරීම තුළ සහජීවනයට බාධා පමුණුවයි. අපරිහානීය ධර්මවල සඳහන්වන නොපැනවූ නීති නොපැනවීමත්, පැනවූ නීති ආරක්ෂා කිරීමත් යන කාරණා තුළින් අදහස් කරනු ලබන්නේ එයයි. සමාජය තුළ එකී පරිසරය සහිත මිනිසුන් තුළ යම් පුරුද්දක් පැවතුණ ද, එය වැරැදි හෝ නිවැරැදි වුවත් එය වෙනස්කිරීම ලෙහෙසි පහසු නැත. කෙතරම් යහපත් ක්‍රියාවක් සිදුකළ ද, එයට විරුද්ධව නැගී සිටින මිනිසුන් සිටී. එනිසා එය කළ යුතු වන්නේ ඉතාම සීරු මාරුවෙන් කිසියම් ක්‍රමවේදයකට අනුව ය. මෙම අපරිහානීය ධර්ම තුළින් නිවැරැදි දැක්මක් ලබාදෙයි. පැනවූ නීති ආරක්ෂා කිරීමෙන් ද සමාජ යහපත උදාවෙයි.

බුදුරජාණන් වහන්සේ ගේ දේශනා තුළ සඳහන් වන්නේ ස්වකීය මනස සාමය සඳහා විවෘතව පැවතිය යුතු බවයි. එබඳු මනසකින් තොරව සිදුකරනු ලබන සාකච්ඡා පල රහිත ය. පුද්ගලයා විසින් යම් ක්‍රියාවක් කිරීමේ දී එම ක්‍රියාව සිදුකරන්නට පෙරාතුව එය කළ යුතුද, නැතිද යන වග තෙවරක් සිතා බැලිය යුතු ය. එනම්,

1. තමා කරන ක්‍රියාව තමාගේ හිතසුව පිණිස පවතී ද?

2. එම ක්‍රියාව සමාජයේ යහපත පිණිස පවතී ද?

3. උභය පක්ෂයේ ම යහපත පිණිස පවතී ද?

පුද්ගලයා තුළ සහජීවන සංකල්පය පැවතිය යුතු බව මින් අදහස් කෙරේ.

සමාජය යනු පුද්ගල සමූහයක එකතුවක් බැවින් එය ආරම්භ කළ යුත්තේ ද, ක්‍රියාත්මක කළ යුත්තේ ද පුද්ගලයා විසින් ම ය.