සමාහිත සිතක්
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක
ආචාර්ය
මිරිස්සේ
ධම්මික නා හිමි
බලවත් ලෙස යටපත්ව පවතින කාමරාගානුසය, පටිඝානුසය, විචිකිච්ඡානුසය, මනානුසය,
භවරාගානුසය, අවිජ්ජානුසය යන මේ අනුසය ධර්ම හතම විටින් විට මතුවිය හැකියි. මේවා පාප
ධර්මයි. අකුසල ධර්මයි. එසේ නම් අප විසින් කළ යුත්තේ කුමක් ද?
බලවත් ලෙස යටපත් වී පවතින පාපී අකුසල ධර්ම අප හඳුන්වන්නේ අනුසය නමිනුයි. අභාවිත
සිතකත්, භාවිත සිතකත් යම් වූ ද අරමුණු නිසා මේ අනුසය ධර්ම උඩට පැමිණ මතුවිය හැකියි.
දැනෙන්නට පටන් ගත හැකියි. භාවිත සිතක් ඇති තැනැත්තා ඒ අනුසය ධර්ම උඩට මතු වී ඇති බව
නොදැන එය යහපත් ලෙස සිතා හෝ එය දැනුණත් එය සංසිඳවා ගන්නට ඇති නොහැකියාව නිසා එය
වැඩෙන්නට ඉඩ දෙනවා. එසේ නැතිනම් එය තමා විසින් ම ඕනෑකමින් වර්ධනය කර ගන්නවා.
භාවිත සිතක් ඇති යමෙකුගේ සිතින් මේ බලවත් ලෙස යටපත් වී පවතින අනුසය ධර්ම මතු වන්නේ
නම් කුමක් සිදුවේ ද? අනුසය ධර්ම උඩට මතුවෙන අවස්ථාව ධර්මයේ හඳුන්වන්නේ “පරියුට්ඨාන”
ලෙසයි. අභාවිත සිත් ඇත්තා මේ අවස්ථාව හඳුනාගන්නේ නැහැ. ඒ නිසා රාග, ද්වේෂ ආදී
කෙලෙස්වලට වැඩෙන්නට ඉඩ හරිනවා. මුලින් සඳහන් කළා සේ එය යහපත් වූ දෙයක් හැටියට
සිතනවා. එසේ නැතිනම් එය පාපයක්, වැරැද්දක් හැටියට දැණුනත් එය සංසිඳුවා ගැනීමේ ඇති
නොහැකියාව නිසා ඉදිරියටත් වැඩෙන්නට ඉඩ හරිනවා. ඔහු හෝ ඇය සිතන්නේ මෙතනින් ගැලවීමට
වෙනයම් මාර්ගයක් නැත යනුවෙනි. මෙය මෙසේ ම කරගත යුතුය, යන හැඟීමයි.
නිදසුනක් ලෙස දැක්වූවොත් මේ වගෙයි. මෙය වැරැද්දක් වූවත් ඇලීමක් හෝ ගැටීමක් වූවත්
මගේ සිතට සැනසිල්ලක් ලැබෙන්නේ මෙය ඉටුකර ගැනීමෙනුයි. ඒ නිසා මම හොඳින් හෝ, නරකින්
හෝ, වැරැදි ආකාරයෙන් හෝ, ධර්මයෙන් හෝ, අධර්මයෙන් හෝ මෙය ඉටුකර ගන්නවා. මෙයින් තොර
ගැලවීමක් මට නැත. මේ අභාවිත සිත් ඇති පුද්ගලයන් සිතන ආකාරයයි. ඒ වගේ ම යම් කෙනෙක්
දැන දැනත් ඒ කෙලෙස් ධර්මයන්ට වැඩෙන්නට ඉඩහරින්නේ සසරේ ඇති භයානක බව අවබෝධ කර
නොගැනීම හා දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ ඇති වටිනාකම නොදැනීම නිසා ය.අරහත්
බෝධියට පත්වෙන තෙක් කෙලෙස් සම්පූර්ණ වශයෙන් ම පාරිශුද්ධත්වයට පත් වූ කෙනෙක් හැටියට
හඳුන්වන්නේ නැහැ. කෙසේ වෙතත් සෝතාපන්න වීමෙන් අනතුරුව ආර්ය පුද්ගලයෙක් හැටියට
හැඳින්විය හැකියි. ඔහු හෝ ඇය හැබෑවට ම යහපත් පුද්ගලයෙකුයි. හේතුව සතර අපායට මඟ සාදන
ප්‍රාණඝාත, අදත්තාදාන නම් වූ පස් පව්, දස අකුසල් ඔහු හෝ ඇය තුළින් සිදුවන්නේ නැති
නිසයි. භාවිත සිතක් ඇති අයෙක් හැකිතාක් දුරට සම්මත ලෝකය තුළත් සීලයේ පිහිටා
සද්පුරුෂයෙක් ලෙස, ගුණවතෙක් ලෙස, උපාසකයෙක්, උපාසිකාවක් ලෙසත්, භික්ෂුවක්,
භික්ෂුණියක් ලෙසත් යෙහෙන් ජීවිතය පවත්වනවා. එහෙත් තවමත් ආර්ය මාර්ගයට පත් නොවී
සිටින්නේ නම් යම් වූ අරමුණක් බලවත් ලෙස ගැටීමේ දී එනම්, ස්පර්ශ වීමේ දී යටපත්ව
පවතින කෙලෙස් මතුවිය හැකියි. භාවිත සිත් ඇත්තා ආරම්මණයන් සක්ඛාය දිට්ඨිය පෝෂණය වන
ආකාරයෙන් අරමුණු ගැනීමෙන්වන විපාකය පිළිබඳ අවබෝධයක් ඇත්තෙකුයි. ඒ නිසා තමා තුළ පහළ
වූ මේ අනුසය හඳුනා ගන්නවා. ඒ අවස්ථාව අප හැඳින්වූයේ ‘පරියුට්ඨාන’ අවස්ථාව ලෙසටයි.
භාවිත සිත් ඇත්තා මේ අවස්ථාවේ දී තමාට ඇති අවබෝධය අනුව උඩට මතුවෙමින් පවතින හෝ
මතුවී පවතින මේ රාගානුසය හෝ, පටිඝානුසය හෝ, විචිකිච්ඡානුසය හෝ, මානානුසය හෝ,
භවරාගානුසය හෝ, අවිජ්ජානුසය තදංග වශයෙන් හෝ යටපත් කිරීමට පළමු අවස්ථාවේ දී වීර්යය
දරනවා. වීර්යය ආරම්භ කරනවා. දෙවැනි අවස්ථාවේ දී නැවතත් බලවත් ලෙස යටපත් කොට තැබීමට
කැමැත්තක් ඇති කර ගන්නවා. එසේ ම වීර්යය පටන් ගන්නවා. උත්සාහයෙන් කටයුතු කරනවා.
ව්‍යායාම කරනවා. සිතේ ප්‍රධාන තැනක් ඒ වෙනුවෙන් දෙනවා. එයට සතර සතිපට්ඨානයෙන්
පුරුදු කරන ලද සිහියත් උපකාර කරගන්නවා. අවසන් වශයෙන් සමුච්ඡේද නම් වූ මුළුමණින් ම
ගලවා දැමීමට සිහිය පිහිටුවනවා.
නිදසුනක් ලෙස මෙසේයි. ‘මා මෙතෙක් යහපත් වූ අයෙක් ලෙස සිටියදීත් මේ අනුසය ධර්ම උඩට
මතු වී “පරියුට්ඨාන” අවස්ථාවේ මට දැනුනේ නම් තවමත් මාගේ සිත තුළ යටපත්ව කෙලෙස්
තිබෙනවා නොවේ ද යනුවෙනුයි.’ ඒ බව දැන තවදුරටත් සිහිය ප්‍රබල කරගෙන හැම ඉරියව්වක දී
ම පරමාර්ථ ධර්ම වශයෙන් ම අදහස් ගෙන සිහිය පවත්වාගෙන “වීථික්ඛම” හෙවත් නිදිගෙන උඩට
පැමිණි කෙලෙස් සිතෙන් වචනයෙන්, ක්‍රියාවෙන් ක්‍රියාත්මක වෙන්නට ඉඩ නොදී ඒවා
පරියුට්ඨාන අවස්ථාවේ දී ම නැතිකොට දැමීමයි. සංසිඳවා දැමීමයි.
ලෝකයේ මොනතරම් හොඳ අයෙක් වූවත් අරහත් බෝධියට පත් නොවී ඇත්තේ නම් මේ සඳහන් කළ අනුසය
ධර්මයන්ගෙන් කුමන හෝ අනුසය ධර්මයක් උඩට මතු වී පරියුට්ඨාන අවස්ථාවේ පැවතිය හැකියි.
සෝතාපන්න ඵලයට පත්වීමේ දී බැහැරවන්නේ සක්ඛාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස
පමණි. සකදාගාමී වීමේ දී කාමරාග, පටිඝ සංසිඳෙනවා. අනුසය ධර්ම දෙකේ පළමුව දක්වන කරුණු
දෙක ම එහි පවතිනවා. අනාගාමීවීමේ දී කාමරාග, පටිඝ මුළුමණින් ම සංසිඳෙනවා. අරහත් වීමේ
දී රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ඡ, අවිජ්ජා යන්නත් මුළුමණින් ම නැතිවී යනවා. එසේ
නම් මේ අදහස් පෙළින් අප දකින්නේ කුමක් ද?
අඩුම තරමේ සෝතාපන්නවත් නොවී සිටින අයෙක් සමාජය තුළ, පිරිස් මැද, සම්මතය තුළ මොනතරම්
හොඳ කෙනෙක්, යහපත් කෙනෙක්, නිවැරැදි කෙනෙක් ලෙස සම්මතයේ සම්මානනයට, ගෞරවයට පාත්‍රව
සිටියත් ඔහුගේ හෝ ඇයගේ සිත තුළ මේ අනුසය නම් වූ පාප ධර්ම මතුවිය හැකියි. පරමාර්ථ
වශයෙන් භාවිත සිතක් නැත්තෙක් වූවොත් මේ සම්මානනීය පුද්ගලයා ගෞරවාදරයට ලක් වූ
පුද්ගලයා විනාශ විය හැකියි. ඒ සම්මානය නිග්‍රහයකට ලක්විය හැකියි. ප්‍රශංසාව,
ද්වේෂයකට, නින්දාවකට පත්විය හැකියි. ඒ වගේ ම හිරේ විලංගුවේ වැටීමකට හෝ මරණීය
දණ්ඩණයක් පැනවීමට තරම් වරදකට පෙළඹිය හැකියි.
අතීතයේ බුද්ධ කාලයේ වගේ ම වර්තමාන සමාජය තුළත් ලෝකය පුරා සම්මානනීය යම් පුද්ගලයන්
පසු කලෙක බලවත් ලෙස අවමානයට පත් වූ බව ඉතා පැහැදිලියි. මේ නිසා සරල වචනයෙන් සඳහන්
කරන්නේ නම් “හොඳයි”, “හොඳයි” “මම හොඳයි” කියන හැම කෙනෙක් ම පරමාර්ථ වශයෙන් ම දැකගෙන
සිත ගැන විමසා බලා කෙලෙස් සංසිඳවන ආකාරයට විදර්ශනාව පුරුදු නොකරන්නේ නම් කුමන හෝ
අවස්ථාවක ධර්ම මාර්ගය සඳහන් කරන අයුරින් බලවත් වූ විපත්තියකට පත්විය හැකියි. භාවිත
සිතක් ඇත්තෙක් සම්මානනීය පුද්ගලයෙක් හැටියටත්, ජීවිතය පවත්වන්නේ නම් භික්ෂුවක් හෝ
භික්ෂුණියක් හෝ වේවා උපාසකයෙක් හෝ උපාසිකාවක් හෝ වේවා සෝතාපන්නව නොවී සිටියත් තමාගේ
පුරුද්ද අනුව ලෞකිකව පවත්නා සම්මානනීය බව හා ප්‍රශංසනීය බව එසේ ම පවත්වාගන්නටත්
හැකියාවක් ලබනවා. එයට හේතුව යටපත්ව පවතින කෙලෙස් අනුසය ධර්ම උඩට මතු වී පරියුට්ඨාන
අවස්ථාවේ දැනෙන විට එහි ඇති ආදීනවය මෙනෙහි කොට එනම්, සියලු වස්තූන් සිතිවිලි ද
ඇතුළුව හට අරගෙන බිඳී යන බව, නැතිව යන බව අවබෝධයට ගෙන පාපී අකුසල ධර්මයන්ගේ ඇති
බියකරු බව නරක වූ බලවත් ආදීනවය ම මෙනෙහි කොට නැවතත් එම සිතිවිලි යටපත්ව පවත්වා
ගන්නට ඒවා සංසිඳුවන්නට ඒ සිතිවිලිවල ඇති ප්‍රබල බව අඩු කරන්න, බලවත් බව ඉවත් කරන්නට
අවබෝධයෙන් ම උත්සාහ කරනවා. දකිනවා. ඒ නිසා පරියුට්ඨාන අවස්ථාවෙන් උඩට නොයා, එනම්
“වීතික්කම” අවස්ථාවෙන් ක්‍රියාත්මක වෙන්නට ඉඩ නොදී බැහැර කර ගැනීමට තමා තුළ
සංසිඳීමක් ඇති කර ගැනීමට අවස්ථාවක් ලබනවා.
මෙන්න මේ නිසා අප විසින් සෝතාපන්න වන තෙක් මම ඉතා ම හොඳ කෙනෙක්ය යන, මම ඉතාම
නිවැරැදි කෙනෙක්ය යන අදහසින් බැහැරවිය යුතුයි. ධර්ම මාර්ගයට එකතුවීම වළක්වා ගැනීම
නොකළ යුතුයි. මොනතරම් සමාජ සම්මතයේ ගෞරවාදරයට පත් වූ අයෙක් වූවත්, මොන ආකාරයෙන්
සංවර වූ ශික්ෂාකාමී ඉරියව්, ඇවතුම්, පැවතුම් ඇති අයෙක් වූවත් ලෞකික වශයෙන් කුමන
ඤාණයක් පැවතුණත්, සිසුන් බොහෝ පිරිසකට උපදෙස් දෙන ආචාර්යවරයෙක් වූවත්, ප්‍රධාන
ආයතනයක ආයතන ප්‍රධානියෙක් වූවත්, රටක් රාජ්‍යයක් පාලනය කරන නායකයෙක් වූවත් සෝතාපන්න
නොවී සිටින්නේ නම් බලවත් ලෙස යටපත්ව පවතින ඒ පාපී අනුසය ධර්මයන්ගේ අනතුරේ සෙවනැලි
තමාට ලැබිය හැකි බව අමතක නොකළ යුතුයි. එය හරියට ඔඩොක්කුවේ සර්පයෙක් තබාගෙන සිටීම
වැනි ය.
හීලෑ නැති සර්පයා තමාට කරදරයක් නැති නිසා පහසුවෙන් සිටියත්, මොනයම් වෙලාවක හෝ
නැගිටිය හැකියි. මේ නිසා සියලුදෙනා ම සමාජ සම්මතයේ යහපත් වූ අයයි හඳුන්වන අය ද
පරමාර්ථ ධර්මය ම මුල් කොට විදර්ශනාව ඔස්සේ ම සිතත්, සිහියත් පවත්වා ගත යුතුමයි.
ලෞකික වශයෙන් පරියුට්ඨාන අවස්ථාවට පැමිණ දැනෙන වේලාවේ ම ඒවා “වීථික්ඛම” ලෙස
ක්‍රියාත්මක වන්නට ඉඩ නොදී එනම් පස් පව්, දස අකුසලයන් ලෙස ක්‍රියාත්මක වෙන්නට ඉඩ
නොදී සමාහිත බවක් සිත තුළ ඇතිකර ගත හැකියි.
- දීපා පෙරේරා |