Print this Article


පූජාච පූජනියනං

 

උඩුමලගල ශ්‍රී මහින්ද මහ නා හිමි

මාතර, රන්දූපත ශ්‍රී රෝහණ උපෝසථාගාර මහා විහාරාධිපති, ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහානායක ගාල්ල කොට්ටවගම ශ්‍රී සුමනාරාම පුරාණ මහා විහාරය ඇතුළු විහාර පරපුරේ අධිපති විනය කීර්ති ශ්‍රී සද්ධර්මවාගීශ්වර, මහෝපාධ්‍යාය උඩුමලගල ශ්‍රී මහින්දාභිධාන මහානායක ස්වාමීන් වහන්සේ අනූවනවියට පා තැබූහ.

ගාලු දිසාවේ යක්කලමුල්ල අමුකනත්ත ග්‍රාමයේ විසු මාවනැල්ල කංකානම්ගේ නිකුලස් මහතාට හා වල්පිටිගොඩ ගමගේ කතිරිනාහාමි මාතාවට දාව 1929 මැයි 16 වන දින උපත ලද පින්වත් කුමරු පුරාකෘත පුණ්‍ය මහිමය නිසාම කොට්ටව ශ්‍රී සුමනාරාමය වෙත පැමිණ තත් විහාරාධිපති මාබොටුවන ශ්‍රී රතනසාර නාහිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස 1941 ජනවාරි 21 වන දින පැවිදි දිවියට ඇතුළත් විය.

ගෝනගල ශ්‍රී සුධර්මාකර පිරිවෙනට ඇතුළත්ව තත් පරිවේණාධිපති රාජකීය පණ්ඩිත යගිරල ශ්‍රී පඤ්ඤානන්දාභිධාන පහතරට ප්‍රධාන සංඝ නායක හිමියන් යටතේ උගතමනා බණදහමින් හා සපිරුණ විසිවසකින් යුක්ත වූයේ 1949 මැයි 12 වන දින සිරිමල්වත්තේ ශ්‍රී ආනන්දාභිධාන මල්වතු මහා නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් මල්වතු මහා විහාරයේ දී උපසම්පදාව ලබා ගත්හ.

කොට්ටව ශ්‍රී සුමනාරාමය මුල්කරගෙන ජාතික ආගමික ශාසනික මෙහෙවර ආරම්භ කළ මහානාහිමියෝ ගුරුදේව නාහිමියන් අපවත්වීමෙන් පසු විහාරාධිපති ධූරයට පත් වූහ. 1975 සිට 1991 දක්වා 16 වසරක් යක්කලමුල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ධූරය දරමින් ක්‍රියා කළ අතර පුරා විද්‍යා චක්‍රවර්ති මහාචාර්ය, කඹුරුපිටියේ ශ්‍රී වනරතනාභිධාන මහානාහිමියන් ඇරඹි ශ්‍රී රෝහණ මහා සංඝ සභාවට එක්ව සාමාජිකත්වය ලද මහා නාහිමියෝ 1990 දී විනය කීර්ති ශ්‍රී රතනසාර යන ගෞරව නාමය සහිත ගාලු දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවියෙන් පිදුම් ලැබූහ. 1992 දී ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ විධායක කාරක සංඝ සභික ධූරයටද පත් වූ අතර 2004 දී උපාධ්‍යාය ධූරයෙන් ද සම්මානිත වූහ. මහනාහිමියෝ මහාචාර්ය ගතාරේ ශ්‍රී ධම්මපාලාභිධාන අනුනා හිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී රෝහණ පාර්ශවයේ අනුනායක පදවියට එවකට මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ ත්‍රිංශද්වර්ගික විධායක කාරක මහා සංඝ සභාවේ ඒකමතිකත්වයෙන් පත්වූයේ 2011 වසරේ දී ය.

රාජකීය පණ්ඩිත, ත්‍රිපිටක විශාරද ගොම්බද්දල නන්දාරාමාභිධාන මහානාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී රෝහණ පාර්ශවයේ මහානායක ධූරයට 2015 වසරේ දී උන්වහන්සේ පත් විය.

ශතවර්ෂාධික කාලයක් සසුනඹරේ වැඩ වඩන්නට ශ්‍රී රෝහණ පාර්ශවයේ මහනාහිමියන් වහන්සේට දිගාසිරි ලැබේවා.


බද්දේගම සුමන නා හිමි

බද්දේගම සුමන නාහිමිපාණන් වහන්සේ මැයි මස 06 වැනි දින අපවත් වී වදාළහ.දක්ෂිණ ශ්‍රී ලංකාවේ, ගාල්ල බද්දේගම දී, 1935 අගෝස්තු 02 වැනි දින උපත ලද උන්වහන්සේගේ සදාදරණීය මව්පියන් වූයේ, පරලොව සැපත් එස්.පී.බී. ගුණතුංග මහතා සහ ඩබ්.පී. කරුණාවතී මහෝපාසිකාවයි. දූවරුන් නව දෙනෙකුගෙන් හා පුතුන් හය දෙනෙකුගෙන් සමන්විත පවුලේ ‘සිරිසෝම ගුණතුංග‘ කුමරුවා, 1949 අගෝස්තු 28 වැනි දින බද්දේගම සුමන යන ශාසනික නාමයෙන් ප්‍රව්‍රජ්‍යා භූමියට පත්විය.

ගනේගම පත්තිනිගෙදර ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික ගිහි අධ්‍යාපනය ලැබූ අතර, මීට 70 වසරකට පෙර, උතුරු කළුතර අශෝකාරාම මහා විහාරයේ දී ප්‍රව්‍රජ්‍යා භූමියට පත් වුයේ අපවත් වී වදාළ, දෙහිවල සේනානන්ද නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යරත්නයක් වශයෙනි. උන්වහන්සේ රත්මලාන පරම ධම්මචේතිය පිරිවෙනට ඇතුළත්ව ධර්ම ශාස්ත්‍රය ප්‍රගුණ කළ අතර, කලාසූරී මාපලගම විපුලසාර නාහිමියන් යටතේ බණ දහම් මෙන්ම කලා ශිල්ප ද හැදෑරීය. ඉන් පසුව පානදුර, පින්වත්ත සද්ධර්මාකර පිරිවෙනට ඇතුළත් වූ උන්වහන්සේ, 1963 දී කැලණි සරසවියෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, 1991 දී කල්කටා සරසවියෙන් ශාස්ත්‍රපති උපාධියත් ලබා ගැනීමට සමත් වූහ.

1964 ජූනි 29 වැනි දින අහංගම, ශ්‍රී විශුද්ධාරාම මහා විහාරස්ථ බද්ධසීමා මාලකයේ දී උපසම්පදාව ලැබූ උන්වහන්සේගේ උපාධ්‍යායන් වහන්සේ ලෙස, සිරිනිවාස මහ නාහිමියන් ක්‍රියා කළ අතර, පැවිදි ආචාර්යවරයා වූ දෙහිවල සේනානන්ද නාහිමියන් උපසම්පදාවේදීත් ආචාර්යවරයා ලෙස ක්‍රියා කළේ ය. දේශීය මෙන්ම විදේශීය සරසවිවලින් උසස් ලෙස සිය අධ්‍යාපන කටයුතු නිම කළ බද්දේගම සුමන නාහිමියෝ 1964 දී රජයේ පිරිවෙන් ගුරු සේවයට එක් වූයේ පානදුර, පින්වත්ත, සද්ධර්මාකර විද්‍යායතන මහ පිරිවෙනිනි. අපවත් වී වදාළ පින්වත්තේ ශ්‍රී දේවානන්ද අනු නාහිමිපාණන් වහන්සේ යටතේ විවිධ ජාතික, ආගමික හා ශාසනික සේවාවන්ට එක් වූ උන්වහන්සේගෙන් ධර්ම ශාස්ත්‍රය ප්‍රගුණ කළ ගිහි පැවිදි ශිෂ්‍ය සංඛ්‍යාව දහස් ගණනකි. ඒ අතර ධර්මධර, විනයධර මහ තෙරුන් වහන්සේලා මෙන්ම ගිහි ප්‍රභූන් රැසක් ද වෙති.

1965 දී පොතුපිටිය පූජාරාමයට වැඩම කළ උන්වහන්සේ එහි විහාරාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ පොතුපිටියේ සිරි සුධිරානන්ද නාහිමියන්ගේ ශිෂ්‍යරත්නයක් බවට පත් වූ අතර, එහි මිහිඳු දහම් පාසල ආරම්භ කළේ ය. එම විහාරස්ථානය මූලිකව දායක සභාව, විශාඛා කුලඟන සමිතිය, දහම් පාසල ආදී ශිෂ්‍ය සංගමය, “අපි ඔබ සුවපත් කරමු. සංවිධානය බිහි කළ අතර, ජන සෙත වැඩිහිටි සමිතිය, ධර්ම චක්‍ර භික්ෂු සංවිධානය ආදී සංවිධාන පිහිටුවමින් ඊට නායකත්වය ලබා දුන්හ. ප්‍රදේශයේ ශාසනාරක්ෂක බලමණ්ඩලය ඇතුළු සමිති සමාගම් රැසක ප්‍රධාන නිලතල මෙන්ම අනුශාසක පදවිය හොබවමින් උදාර ශාසනික යුග මෙහෙවරක් උන්වහන්සේ විසින් ඉටු කරන ලදී. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ එවකට පින්වත්ත සද්ධර්මාකර ආයතනයේ ධර්ම අධ්‍යක්ෂ ධූරයට ද උන්වහන්සේ පත් වූහ.

ශ්‍රී ලංකා අමරපුර සිරි ධර්මයුක්තික (මාතර) මහා නිකායේ, කළුතර දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය හෙබ වූ උන්වහන්සේ, උදාර ශාසනික ප්‍රබෝධයක් ඇති කළ විචිත්‍ර ධර්ම දේශක හිමිනමක් ලෙසද ප්‍රකට ය. කවියෙකු ලෙස නමක් දිනා සිටි උන්වහන්සේ ‘කාව්‍ය ශිරෝමණී’ යන ගෞරව සම්මානයෙන් ද පිදුම් ලැබු මහ තෙර නමකි. දිවංගත ජේ.ආර්. ජයවර්ධන සහ ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස ජනපතිවරුන් සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් උදාගම් ව්‍යාපාරයේ නියමුවෙකු ලෙස ද උන්වහන්සේ කටයුතු කළහ. එමෙන්ම ජපානය, ජර්මනිය, ඉන්දියාව, නේපාලය, සිංගප්පූරුව, මැලේසියාව ආදී රටවලට වැඩම කරමින් ධර්ම ප්‍රචාරක කටයුතුවල ද නිරත විය.

බද්දේගම සුමන නාහිමිපාණන් වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා.


නිවුන්හැල්ලේ ධම්මරක්ඛිත නා හිමි

කුරුවිට බටතොට ශ්‍රී ආනන්ද ධම්ම විහාරාධිපති කුරුවිට ශාසනාරක්ෂක බලමණඩලයේ උප සභාපති නිවුන්හැල්ලේ ධම්මරක්ඛිත ස්වාමීන් වහන්සේ වෙත සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව මගින් සද්ධර්ම කීර්ති ශ්‍රී රේවත යන ගෞරව නාමය සහිතව කුරුවිට කෝරළයේ ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනමා ඇත.

උන්වහන්සේ 1950 ඔක්තෝබර් දහතුන්වන දින මීගොඩ කපුරාළලාගේ කරෝලිස් සිංඤෝ සහ මුහන්දිරම්ලාගේ ඇලිස් නෝනා දම්පතීන්ගේ පුත් රුවනක් ලෙස මෙලොව එළිය ලබා ඇත. සැදැහැයෙන් කටයුතු කළ එම දරුවා සසුන්ගතවීමට ඉතා ලැදිව සිටි බවත් 1968 අගෝස්තු හයවන දින ඔළබොඩුවේ ශ්‍රී රේවත ධම්මකීර්ති දිඹුලාගල තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක හිමිපාණන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට පත්විය. 1978දී පලිපානේ ශ්‍රී චන්ද්‍රානන්ද මහානායක ස්වාමීන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් උපසම්පදාව ලැබී ය.

ආනන්ද ධම්ම විහාරස්ථානය ඉතා කෙටි කලකින් අංග සම්පූර්ණ විහාරස්ථානයක් ලෙස ගොඩනැගී ය.

කුරුවිට ශාසනාරක්ෂක බලමණ්ඩලයේ උප සභාපති හිමි ලෙසත්, ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙසත් විවිධ කටයුතු සිදුකිරීම ප්‍රදේශයේ බෞද්ධ ප්‍රබෝධය ඇති කරවන්නට හේතු වී ඇත.

අභිනව නායක පදවිය පිළිබඳ අක්ත පත්‍ර ප්‍රදානය 2019 මැයි 25 දින පස්වරු 3.00 කෝට්ටේ රාජමහා විහාරස්ථ උපෝසථාගාරයේ දී සිදු කිරීමට නියමිත අතර අභිනව නායක ස්වාමීන්වහන්සේ පිළිගැනීම මැයි 26 දින පස්වරු 2.00 බටතොට විහාරස්ථානයේ දී සිදු කිරීමට නියමිත ය.

අභිනව නායක පදවිය ලද නිවුන්හැල්ලේ ධම්මරක්ඛිත නායක ස්වාමීන් වහන්සේට ලෝක ශාසනික කටයුතු සිදු කරන්නට නිදුක් නීරෝගී සුව ලැබේවා.